ගෝඨාභයගේ විනය සූත්‍රය – සම්පත් අමරසිංහ
2019 පෙබරවාරි 24 ලංකා පුවත් පතෙහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පළ වී තිබුණේ එම සම්මුඛ සාකච්ඡාව වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා වන නිසා පමණක් නොවෙයි ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරණ සමයේ රටේ ආරක්ෂක ඇමතිවරයා සහ විධායක ජනාධිපතිවරයා වූයේ ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා ද වන නිසාද නොවේ. අමෙරිකානු පුරවැසිකම නිසා පුරවැසිභාවය පිළිබඳ ප්රශ්නය කෙසේ විසඳාගනු ඇති ද යන ප්රශ්නය තිබියදීම ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පොහොට්ටු පක්ෂයේ හෝ පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගෙන බව කියන සන්ධානයේ හෝ 2020 ජනාධිපති අපේක්ෂකයා විය හැකි ගෝඨාභය රාජපක්ෂ මහතා ය යන මතයක් ඔවුන්ගේ හිතවාදීන් අතර මේ වනවිට පවතින බැවිනි.
ඉහත සම්මුඛ සාකච්ඡාවේ දී අදාළ මාධ්‍යවේදියා ලසන්ත වික්‍රමතුංග ඝාතනය එක්නැලිගොඩ අතුරුදහන් කිරීම භාරත ලක්ෂ්මන් ඝාතනය වූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා එකල මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බලන්නට යාම, රතුපස්වල ආදී ඝාතන සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. එකී ප්‍රශ්න වලට ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති පිළිතුර අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිලිබඳ ඔහුට වැටහීමක් පවා නැති තරම් ය. එක්නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තත්ත්වයද එසේමය. රතුපස්වල ආදී සිදුවීම් අදාළ රාජ්‍ය සේවකයන්ගේ ක්‍රියාකාරකම් මිස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් හෝ දැනුවත් බවක් ඒවාට නැත. වැදගත් කතාව වන්නේ භාරත ලක්ෂමන් ඝාතනය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ දුමින්ද සිල්වා මහතා මුණගැසීමට ගොස් ඇත්තේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නිසාය.
ඉහත කරුණු එසේ උපුටා දක්වන්නට ආසන්නතම හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ඉංග්රීිසි පුවත්පතකට සපයා තිබූ සම්මුඛ සාකච්ඡාවකි. එහිදී ඒ මහතා කියා තිබුනේ විනයෙන් තොර නිදහසින් පලක් නොවන බවයි. විනයෙන් තොර නිදහසෙන් පලක් නැති නම් නිදහසෙන් තොර විනයයෙන් ඵලක් තිබේද යන ගැටලුව තිබියදීම, ගෝඨාභය රාජපක්ෂ මහතා කියන ඔවුන්ගේ කාලයේ රටේ පැවැති, අද නොමැති විනය කුමක්ද යන්න විමසා බලන්නට පුරවැසියන්ට අයිතිය තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සමග තමන් ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ රටේ පැවතියේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන විනය සංසන්දනය කර බලන්නට පුළුවන.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් දැනුවත්ව සිටියා වුවද, නැති වුවද, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සහ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් වීමට ගෝඨාභය මහතාගේ සම්බන්ධය තිබුණා වුවද, නැති වුවද, එවැනි සිද්ධීන් දෙකක් එකල මේ රටේ සිදු විය. ඒ බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්විය. විනයගරුක ආණ්ඩුවක් එකල පැවතියේ නම් සිදුවිය යුතුව තිබුණේ වහාම එකී ඝාතන සහ අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා දඩුවම් ලබාදීමය. එහෙත් ඒ වෙනුවට සිදු වූවේ නන් දොඩවමින් සහ ලසන්තට එක්නැලිගොඩට විවිධ ලේබල් අලවමින් ඝාතනය සහ අතුරුදහන් කිරීම් සාධාරණීකරණය කරන්නට හෝ යටපත් කර දමන්නට උත්සාහ කිරීමය.
භාරත ලක්ෂ්මන් ඝාතනයේ තීරණය සනාථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ සඳහන් වූයේ 2011 ඔක්තෝබර් පළාත් පාලන මැතිවරණය පැවති දිනයේ, දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විරුද්ධ දේශපාලනයේ නියුතු වූවන්ට හිරිහැර කරමින්, නීති විරෝධීව හැසිර ඇති බවයි. අවසානයේ ලේ හැලීමක් ඝාතනයක් දක්වා වර්ධනය වූයේ එකී හැසිරීමයි. දුමින්ද සිල්වා මහතා යනු මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පමණක් නොවේ. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී වරයෙකි.
භාරත ලක්ෂ්මන් මහතා යනු ද සාමාන්‍ය පුරවැසියකු නොවේ. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ පැරණිම සමීපතම දේශපාලන හිතවතෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකි. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශක තනතුරක කටයුතු කළ අයෙකි. එවැනි තැනැත්තෙකුට එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකුගෙන් එල්ල වූ පීඩනය එතරම් නම්, රටේ පොදු ජනතාව කෙරෙහි බල පැවැත්වූ ආන්ඩුවේ විනය කෙතරම්දැයි වටහා ගැනීම අසීරු නැත.
ආරක්ෂක අමාත්යාාංශයේ අධීක්ෂණ මන්ත්‍රී වරයෙකු විසින් තම පක්ෂයේ ප්‍රබලයකු ඝාතනයකර ඇති විට ඔහු රටේ ජනාධිපතිවරයා වන තම සොහොයුරාගේ සමීපතමයකු වූ විට, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කළේ, වින්දිතයා අමතක කොට චුදිතයගේ දුක සැප විමසීම නම් ආරක්ෂක ලේකම්වරයාගේ විනය පිළිබඳ සිතා ගැනීම අසීරු නැත.
භාරතගේ ඝාතනයෙන් පසුව පවා අවම වශයෙන් නීතිය දෙපැත්තටම සාධාරණ ආකාරයෙන් ක්රියාවේ යෙදවීම පවා පවා සිදුවූයේ නැත. ආණ්ඩුව පැහැදිලි ලෙසම කළේ දුමින්ද සිල්වා මහතාට බර තබා කටයුතු කරන පිළිවෙතක් දිගින් දිගටම අනුගමනය කිරීමය.
ඒ එකල දේශපාලන බල පුළුවන්කාරයන් ලෙස හැසිරුණු ආකාරය ය. දේශපාලන පොඩ්ඩන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද අවශ්‍ය නම් මතක් කිරීමක් හෝ දෙකක් කරන්නට පුළුවන. ගුරුවරුන් දනගැස්වීම, අගවිනිසුරුවරියට අපහාස කරවීම, හැරුණුකොට තවත් එවැනි සිදුවීම් තිබේ.
තංගල්ල සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය සමුහ දුෂණයට ලක් කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදි ඔහුගේ සොහොයුරා ජනාධිපති ධුරය දරද්දීය. එකී ඝාතනයටත් දූෂණයන්ටත් වගකිව යුතු වූයේ ඔවුන්ගේ ප්‍රාදේශීය දේශපාලන සහචරයෙකු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. බ්‍රිතාන්‍ය රජයේ බලපෑම නොතිබෙන්නට එම ඝාතනයේත් දුෂනයේත් සැකකරුවන් අත්අඩංගුවට පවා ගැනීමට නොගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබුණි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ප්‍රාදේශීය සභා සභාපතිවරයාට කෙටිකලකින් ඇප ලැබුණා පමණක් නොවේ.
ඔහු යළිත් ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයුරයට ද පත් කරන්නට යෙදුණි. දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිවේ අදාළ තරුණිය පහර දීමට ලක් වූවා මිස දුෂණයට ලක් නොවූ බවයි. ඔවුන් තමන්ගේ හිතවතුන් ආරක්ෂා කරන්නට කටයුතු කළ ආකාරයයි. හම්බන්තොට චෝගම් සමුළුවට පැමිණීම් වර්ජනය කිරීමට රටවල් රැසක් කටයුතු නොකළේ නම්, අදාළ ඝාතනයෙත්, දූෂණයේත් විත්තිකරුවන්ට නඩු පැවරීම් පවා සිදු නොවන්නට ඉඩ තිබුණි.
නූරි වතුයායේ අධිකාරීවරයා යනු එසේ ආණ්ඩුවේ ප්‍රාදේශීය බලවතෙකු අතින් ඝාතනය වූ තවත් සිවිල් පුරවැසියෙකි.ඒ ඝාතනය පිටුපස ඇත්තේ දේශපාලන බලය යොදවා කළ ඉඩම් කොල්ලයකි.
අපරාධ සියට සීයක් නතර කරන්නට කවර රටක කවර ආණ්ඩුවකටත් කළ හැකි වන්නේ නැත. එහෙත් අපරාධ වලට එරෙහිව නීතිය නිදහස්ව සහ සාධාරණව ක්‍රියාත්මක වන තැනට කටයුතු කරන්නට කවර රටක වුවද පුළුවන. ගෝඨාභය මහතා විනය පැවති බව කියන ඔවුන් ගේ ආණ්ඩුව යටතේ කෙරුනේ ඔවුන්ගේ සහචරයන්ට නීතිය කිසිලෙසකින්වත් ක්‍රියාත්මක නොවන අතර විරුද්ධ මතධාරීන්ට කැලෑ නීතිය ක්‍රියාත්මක වීමය.
පවතින ආණ්ඩුවේ වැරදි තිබේ. නමුත් ඒ වැරදි ආරක්ෂා කරන්නට තවම ආණ්ඩුව ඉදිරිපත් වී නැත. අවම වශයෙන් වරද පෙන්වා දීමෙන් පසුව ගැලවීම සඳහා වත් නීතිය ක්රියාවේ යෙදවේ. මහා බැංකු බැඳුම්කර සිද්ධියට නඩු පවරා තිබේ. පොලීසියට පහර දුන් මන්ත්‍රීවරයා උසාවිය හමුවට කැඳවිණි.
මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරු පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතී. 2013 වසර අග සිදුවූ, එතෙක් මෙරට සිදුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේදී බුද්ධ ශාසනය ද භාරව සිටි, අගමැතිවරයා කලේ ඒ කන්ටේනරය නිදහස් කරන්නැයි ලිපි ඉදිරිපත් කිරීම්යි. එදාත්-මෙදාත් අතර වෙනස එසේය.
කරුන්කා ගම්මිරිස් ගනුදෙනුව ආදිය පිළිබඳ චෝදනා වත්මන් ආණ්ඩුවටත් තිබේ. ඒ පිළිබඳ නීතිය කඩිනම් නොවීම ද වරදකි. එහෙත් එහිදී අවශ්‍ය වනු ඇත්තේ පවතින තත්වත්වය යහපත් දිශාවට යොමු කරන වැඩසටහනකි. එසේ නොමැතිව ලසන්ත ඝාතනය මා දන්නේ නැතැයි කියන ආරක්ෂක ලේකම්වරයෙකුට රටේ පා පාලනය භාර කිරීම නොවේ.
