මහින්දගේ පුස් වෙඩි – භාතිය බරුකන්ද

එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂ කල්ලිය විසින් පසුගිය 21 වැනිදා කතානායක කරු ජයසූරිය මහතාට භාර දුන් බව මාධ්‍ය වාර්තා කළා. මාධ්‍ය වාර්තා අනුව සුපුරුදු ලෙසම මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා නැහැ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් 51 දෙනකු සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිප දෙනකු ඇතුළත් 55 දෙනකු පමණයි විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙන්නේ. ඒ අතර ශ‍්‍රීලනිපය නියෝජනය කරන කිසිදු කැබිනට් ඇමැතිවරයෙකුත් මේ සඳහා අත්සන් තබා නැහැ. මේ තත්ත්වය තුළ අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ මේ විශ්වාසභංග යෝජනාව ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ තවත් පුස් වෙඩිල්ලකින් ඔබ්ට නොයන එකක් පමණක් වනු ඇති බවයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය තෙවසර පුරාම අඛණ්ඩව මේ ආකාරයේ පුස් වෙඩි පත්තු කළා. දැවැන්ත පාගමන් ගියා, ආණ්ඩු පෙරළන දවස් ගැන දින දුන්නා. ඒ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු තවත් වටයකින් ආණ්ඩුව හොල්ලන්න උත්සාහ කළා. ඒත් ඒ කිසිදු උත්සාහයකින් ආණ්ඩුවට දැනෙන බලපෑමක් කළ නොහැකි වුණා.
ගමේ ගොඬේ භාෂාවෙන් ප‍්‍රකාශ කළහොත් ‘‘කොච්චර බල්ලෝ බිරුවත් තවළම යනවා’’ වාගේ විටින් විට පත්තු වූ මේ පුස් වෙඩි හමුවේ ආණ්ඩුව අඛණ්ඩව හා දැක්මක් සහිතව තම ඉලක්කය වෙත ගමන් කරමින් සිිටිනවා. අපට මනාව පැහැදිලි වන ආකාරයට අගමැතිවරයා මේ කිසිදු දෙයක් ගැන තැවීමකින් හෝ කළකිරීමකින් තොරව තමන් විසින් සැලසුම් කළ තිරසර දේශපාලන, ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ ඇතුළත් ගමන යමින් සිටිනවා.
කිසිසේත් බහුතර ඡුන්දයකින් සම්මත කරගත නොහැකි මේ ඊනියා විශ්වාසභංගයෙන් අගමැතිවරයාට හෝ ආණ්ඩුවට අබමල් රේණුවකවත් හානියක් සිදු කළ නොහැකි බව දැන දැනත් ඒකාබද්ධ විපක්ෂය විසින් මේ ආකාරයෙන් අගමැතිවරයාව ඉලක්ක කරගත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ඇයි ? ඔවුන් එමගින් අපේක්ෂා කළේ කුමක්ද ? මේ ගැන ජනතාව අතර දැඩි උනන්දුවක් වගේම යම් ආකාරයක තැති ගැන්මක් තිබෙනවා.
සැබෑ අරමුණ වටහා ගැනීම
ඒකාබද්ධ විපක්ෂයේ හොරණෑකරුවන් ප‍්‍රකාශ කරන ආකාරයට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව තුළ කරුණු 14ක් ඇතුළත්ව තිබෙනවා. ඒ අතර ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බව කියන බැඳුම්කර වංචාව ප‍්‍රමුඛ බවයි ඔවුන් සඳහන් කරන්නේ. ප‍්‍රධාන චෝදනාව එය නම් මෙවරත් ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව මගින් බොරදියේ මාලූ බෑමක් අපේක්ෂා කරන බවක් ඉතාම පැහැදිලිව හඳුනා ගත හැකියි. ඒ අගමැතිවරයා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර දේශපාලන සංහිඳියාව බිඳ දැමීම සඳහා ඇටවිය හැකි පහසුම උඟුල වන්නේ බැඳුම්කර සිදුවීම වීමයි.
ඒකාබද්ධ විපක්ෂයේ මේ උඟුල ගැන ඉතාම පැහැදිලි විග‍්‍රහයක් පසුගිය දා යටවල්දෙණියේ මේධංකර හිමියන් විසින් කර තිබුණා. එහිදී උන්වහන්සේ අවධාරණය කර තිබුණේ විශ්වාසභංගයේ අරමුණ වන්නේ එජාපය හා ශ‍්‍රීලනිපය භේද කිරීම බවයි.
‘‘මෙරට දේශපාන ක්ෂේත‍්‍රයේ සිටින පරිණතම දේශපාලනඥයෙකු වන රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසභංගයක් ගෙන එමින් ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් නිර්මාණය කර තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමටයි. මෙය ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශ‍්‍රීලනිප ඇමැතිවරු විසින් නිවැරදිව තේරුම්ගත යුතුයි. ඊළඟ මැතිවරණයකදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස විසින් මෙහෙය වන පොහොට්ටු පක්ෂය ඉදිරියට ගෙන ඒමට නම් අනිවාර්යයෙන් ම එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රීලනිපය අතර අර්බුදයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. විශ්වාසභංගය ඔවුන් ඒ සඳහා ප‍්‍රවේශයක් වශයෙන් ගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍යව තිබෙන්නේ විශ්වාසභංග යෝජනාව ජය ගැනීම නොවෙයි. ඔවුන් මේ තුළින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර ද ගැටුමක් නිර්මාණය කර ඔවුන් ද භේද කිරීමට උත්සාහ කරනවා’’ යටවල්දෙණියේ මේධංකර හිමියෝ අවධාරණය කරන, හෙළි කරන කරුණ ගැන බහුතරයක් අතර තිබෙන්නේ පොදු එකඟතාවයක්. ඔවුන් විසින් ද අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ අටවන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකුම මරාගත හැකි උඟුලක් බවයි. එනම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර භේදයක් නිර්මාණය කිරීම සහ විශ්වසභංගයට සහාය ලබාදිය යුතු ද ? නැද්ද ? යන ප‍්‍රශ්්නය මත ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අතර බෙදීමක් නිර්මාණය කිරීම බවයි.
අර්බුදයට මුල කටු ඔටුන්නද ?
මහින්ද රාජපක්ෂ මහතාගේ දිගු කාලීන අරමුණ වන්නේ ආණ්ඩුවට නායකත්වය දෙන ප‍්‍රධාන පක්ෂ දෙක අතර යළි එක්කළ නොහැකි බිඳීමක් නිර්මාණය කර ඉදිරි පළාත් සභා මැතිවරණයෙන් ආරම්භ වන මැතිවරණ රැුල්ල තමාට වාසිදායක ලෙස හසුරුවා ගැනීම බව මේ අනුව අපට පහසුවෙන් වටහා ගත හැකියි. එහෙත් මේ සමග පැන නගින ප‍්‍රශ්න වන්නේ හැකි මුළු වැර යොදා සටන් කරමින් සිටියදී පවා ජනතාව හමුවේ පිටපිටම දෙවතාවක් විශ්වංසයභංග කරගත් හිටපු ජනාධිපතිවරයා මේ ආකාරයෙන් යළි ශක්තිමත්භාවයක් අත්පත් කර ගනිමින් සිටින්නේ කුමන රහසක් නිසාද ? යන්නයි.
මේ සම්බන්ධයෙන් මෙම ලේඛකයා සමග අදහස් දැක්වූ දේශපාලන විශ්ලේෂකයින් කිහිප දෙනකුම අවධාරණයෙන් පෙන්වා දුන්නේ මේ දේශපාලන ව්‍යාකූලත්වයට ශක්තිය හා සුජාතභාවය ලබා දුන් තීරණාත්මක දේශපාලන සාධකය වූයේ නිර්පාක්ෂිකයෙකු වශයෙන් සමස්ත ජනතාවගේම කැමැත්ත දිනාගෙන ජනාධිපති පදවියට පත් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය නමැති කටු ඔටුන්න පැළඳ ගැනීමට ගත් තීන්දුව මේ සියලූ අර්බුදයන්ගේ හා විකෘතීන්ගේ පදනම වශයෙන් සැලකිය හැකි බවයි.
‘‘මහින්ද රාජපක්ෂ කියන්නේ බෙදා පාලනය කිරීම ගැන ලෝක වාර්තා තිබ්බ නායකයෙක්. ඔහුගේ පාලන සමයේ කිසිම පක්ෂයක් භේද කිරීමෙන් ගැළවුණේ නැහැ. ඒ නිසා තමයි 2005 ජනාධිපතිවරණයෙන් සියයට එකකටත් වඩා අඩු ඡුන්ද ප‍්‍රතිශතයක් ගත්ත මහින්ද රාජපක්ෂ මහතා ඉතාම කෙටි කාලයකින් සමස්ත දේශපාලන යාන්ත‍්‍රණයම දැඩි ග‍්‍රහණයකට ගත්තේ මේ බෙදා පාලනය කිරීම මගිනුයි. මිත‍්‍රභේදය මේ අතරේ ඉහළින්ම තිබුණ දෙයක්. 2007 වන විට ආණ්ඩුව ගෙන යන්න බැරි තරම් හිරවෙන කොට ඔහු කළේ එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම එමගින් දේශපාලන සංහිඳියාවක් ඇතිකර ගැනීම. ඒත් ඊළඟ මොහොතේ සිදු වුණේ කුමක්ද ? රාජපක්ෂ මහතා ඒ ගිවිසුම ගැන කිසිදු ගරුත්වයක් නොදක්වා එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවට එක්කර ගත්තා. ඊට පස්සේ එජාපයේ තරුණ මන්ත‍්‍රීවරු පිරිසක් හරහා එජාප නායකත්වයට එරෙහිව කෘත‍්‍රීම කැරැුල්ලක් නිර්මාණය කළා. ඊට දැවැන්ත මාධ්‍ය සහායක් ලබා දුන්නා. මහින්ද රාජපක්ෂගේ දිගු කාලීන දේශපාලන අරමුණ වුණේ විපක්ෂයක් නැති ඒකපක්ෂ පාලනයක් දක්වා ගමන් කිරීමයි. මේ සියලූම සැලසුම් බිඳ වැටුණේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තම දේශපාලන අනාගතය ගැන නොව රටේ අනාගතය ගැන හිතලා ක‍්‍රියාකළ නිසයි. 2015 ජනවාරි 08 වෙනසේ තීරණාත්මක හා වර්ණවත්ම සාධකය වන්නේ එජාප නායකයාගේ නිර්ලෝභී දායකත්වය මිස වෙන දෙයක් නොවෙයි. එජාප නායකත්වය ගැන මේ රටේ සුළුජාතීන්, සුළු ආගමිකයින් තබා තිබෙන නොබිඳෙන විශ්වාසය හා ගරුත්වය නිසයි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සුළුජාතීන්ගේ පූර්ණ සහයෝගය හිමි වන්නේ. මෛත‍්‍රී – රනිල් සුසංයෝගය නොවන්න රාජපක්ෂ රෙජිමය පරාජය කිරීම කිසිදා කළ නොහැකි දෙයක් බවට පත් වෙන්න තිබුණා. ඒ වගේම ජනවාරි 08 න්‍යාය පත‍්‍රය නොබිඳී පවත්වා ගෙන යාමට හැකියාව ලැබුණා නම් මෛත‍්‍රී- රනිල් දේශපාලන සංහිඳියාව ගැන ජනතාව අතර සැක සංකා මතු වෙන සිදුවීම් සිදු නොවුණා නම් ලංකාවේ දේශපාලන වාතාවරණය මීට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙන්න තිබුණා. එසේ වුණා නම් අද දේශපාලනයේ උඩුතලයේ දැකිය හැකි මේ කැළඹීම් හා අවිනිශ්චිතතාවයන් ඇති නොවීමට තිබුණා. මේ සියලූ ධනාත්මක දේවල් අභියෝගයට ලක් වුණේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිපය සභාපතිකම ලබාගත් නිසයි. ඒ හරහා එතුමාගේ බලයට හා ප‍්‍රතිපත්තිවලට හිමිව තිබුණු සුජාතභාවය වගේම ගරුත්වයත් අහිමි වුණා. අපි වටහා ගත යුතේ ජනවාරි 08 දා ජනතාව පරාජය කළේ මහින්ද රාජපක්ෂ පමණක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දුන් සමස්ත දේශපාලන වැඩපිළිවෙළම, යාන්ත‍්‍රණයම පරාජය කළා. ඒකට ප‍්‍රාදේශීය සභාවේ සිට කැබිනට් මණ්ඩලය දක්වා අන්තර්ගත වුණා. ඒත් යම්කිසි කරුණක් නිසා අවසානයේ මේ පරාජය මහින්ද රාජපක්ෂ මහතා වටා පමණක් නාභිගත වුණා. මේ සියල්ලට ජීවය දුන්න, රැුකවරණය දුන්න, ඉවසා ගෙන සිටිමින් අනුබලය දුන්න, ඒ හරහා බල අපයෝජනය කළ සියලූ දෙනාම සුරක්ෂිත වුණා. ඒක සිදු වුණේ කොහොමද ? ඒ හරහා ඇති වූ දේශපාලන විකෘතීන් මොනවාද කියලා අපි දැන් මනාව වටහා ගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත් සැලසුම් සගතව ජනාධිපතිවරයාට ශ‍්‍රීලනිපය සභාපතිකම භාරදීම දේශපාලන උඟුලක් අටවලා ඉතාම කෙටි කාලයක් නිහඬව හිටියා. ඊට පස්සේ වඩාත් තියුණු ආකාරයෙන් තමන් ඇට වූ උඟුල හිර කරන්න පටන් ගත්තා. ඒ දේශපාලන ප‍්‍රතිවිපාකවල වන්දි තමයි අද 62 ලක්ෂයක් ජනතාව කිසිම අඩුපාඩුවකින් තොරව භුකිත් විඳිමින් ඉන්නේ’’ දේශපාලන විශ්ලේෂකයින් කිහිප දෙනකුම පොදුවේ ඉහත සඳහන් කරුණු අවධාරණය කළා.
මහින්දගේ දහං ගැට
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය භාරගැනීමේ ඓතිහාසික තීන්දුව ගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එදා අවධාරණය කළේ දේශපාලන, විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කඩිනම් කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහාය ලබා ගැනීමට (ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය 3/2ක බලය ලබා ගැනීමට* තමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාගත් බවයි. එදා ජනාධිපතිවරයා අවධාරණය කළ මෙම කරුණට මතවාදී පදනමක් ද ලබා දෙන ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබූ හෙයින් තදබල විවේචන මධ්‍යයේ පවා ජනාධිපතිවරයාගේ මේ තීන්දුවට යහපාලන බලවේගවල අනුමැතිය හිමි වූ බව අපට මතකයි. ඒ සමගම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ දැඩි නායයාමකට හා පිරිහීමකට ලක්ව තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමේ හදිසි සහ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ගැන ද ජනාධිපතිවරයාගේ අවධානය ලක් වූ බව අපට මතකයි.
මේ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය භාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉතාමත් තාර්කික මෙන්ම සද්භව චේතනාවක් තිබූ බවත් එය කිසිසේත් පටු අවස්ථාවාදය හෝ බල ලෝභය මත පදනම් වූවක් නොවන බවත් පැහැදිලියි. එහෙත් ප‍්‍රශ්නය වූයේ මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ කල්ලියට එවැනි සද්භාවයක් හෝ පුළුල් අරමුණක් නොවීමයි. අද අපට මනාව පැහැදිලි වන ආකාරයට ජනවාරි 08 වෙනස වෙනුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ශ‍්‍රීලනිපයෙන් එළියට පැමිණි දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න, චම්පික රණවක ඇතුළු කිහිප දෙනා සහ පසුව ජනාධිපතිවරයා සමග එක් වූ තවත් කිහිප දෙනකුට හැරෙන්න යහපාලන ආණ්ඩුව හෝ එහි අරමුණු ගැන ආදරයක් හෝ ගරුත්වයක් දැකිය නොහැකියි. ‘වාසි පැත්තට හෝයියා’’ යන අවස්ථාවාදී න්‍යාය අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෙවනට පැමිණි මේ පිරිස පසුගිය තෙවසර තුළ කටයුතු කළ ආකාරයත්, වත්මන් විශ්වාසභංග යෝජනාව හමුවේ හැසිරෙන ආකාරයත් දැන් ජනතාවට මනාව දැකගත හැකි හෙයින් මහින්ද රාජපක්ෂ මහතා විසින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලබා දුන් පක්ෂ නායකත්වයේ රහස වටහා ගත හැකියි.
ශ‍්‍රීලනිපයේ නායකත්වය භාර ගත් නමුත් එමගින් ඉටුකර ගැනීමට අපේක්ෂා කළ කිසිදු සාධනීය කරුණක් නිසි පරිදි ඉටුකර ගැනීමට පසුගිය තෙවසර තුළ ජනාධිපතිවරයාට හැකියාවක් ද ලැබුණේ නැති බව පැහැදිලියි. අලූත් ව්‍යවස්ථාක් නිර්මාණය කිරීමේ කටයුත්ත මේ දක්වා සාර්ථක අවසානයක් කරා ගෙන යාමට නොහැකි වී ඇති අතර දේශපාලන ප‍්‍රතිසංස්කරණ ද එකතැන පල්වෙන ස්වභාවයක් දැකිය හැකියි. රාජපක්ෂ යුගයේ ¥ෂිතයින්ට හා ඝාතයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීමට ද මේ දේශපාලන බැඳීම් තීරණාත්මක බලපෑමක් කර තිබෙන බව ඇතැම් දේශපාලන විවේචකයින් අවධාරණය කරනවා. ඒ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජනාධිපතිවරයා විසින් දියත් කළ සාධනීය ප‍්‍රතිසංස්කරණ ද කොතරම් දුරට ඵලදායී වූවාද යන්න ගැන වෙනම විමසීමකට යා යුතුව තිබෙනවා.
මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ අද ආණ්ඩුවට එරෙහිව ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින දේශපාලන පිළිලයේ පදනම ඉතාම සැලසුම් සහගතව දියත් වූ දේශපාලන උඟුලක් මිස වෙන යමක් නොවන බවයි. ඒ නිසා අද මේ උඟුලෙන් ආණ්ඩුව සේම මෙරට ජනතාවත් ගළවා ගැනීම ආණ්ඩුවේ ප‍්‍රබලයින් හමුවේ පවතින වගකීමක් බව බහුතරයක් ජනතාව විශ්වාස කරනවා. මන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ උඟුල ගැස්සුණොත් ගෙළ සිරවන්නේ ආණ්ඩුවේ නායකයින්ගේ පමණක් නොවෙයි. ඒ මොහොතේම පසුගිය තෙවසර තුළ අසීරුවෙන් දිනාගත් සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණවල ද ගෙළ සිරවෙනවා.
රනිල් රැුක ගත යුත්තේ ඇයි ?
මෙයත් මේ මොහොතේ බොහෝ දෙනකුට තිබෙන බරපතළ ප‍්‍රශ්නයක්. විශේෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ඉතාම සංවිධානාත්මකව දියත් වූ රනිල් විරෝධී කුමන්ත‍්‍රණය මගින් කාලයක් අළුයට ගිනි සේ තිබූ රනිල් විරෝධයට යළි ජවයක් ලැබුණා.
රනිල් වික‍්‍රමසිංහ රැුක ගත යුතු ඇයි ? කියන ප‍්‍රශ්නය ගැන ඉතාමත් ප‍්‍රශස්ත විග‍්‍රහයක් පසුගිය මාර්තු 19 වැනිදා දිනමිණ පුවත්පතේම පළව තිබුණා. ඒ නිසා යළි ඒ ගැන විමසීමකට යාම අවශ්‍ය නැහැ. ඒත් තව දුරටත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ යම් කිසි ආකාරයකින් රනිල් වික‍්‍රමසිංහ පරාජයට පත් වුවහොත් එය මේ රටේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ සේම ජාතික සංහිඳියාවේ ද අවසානය වනු ඇති බවයි.
එයට හේතුව ඉතාම පැහැදිලිව සේම තර්කානුකූල එකක්. ඉන් ප‍්‍රධාන වන්නේ විශේෂයෙන්ම මේ රටේ ජාතික සංහිඳියාව බිහිකළ හැකි වඩාත් ප‍්‍රබලම නායකයා වගේම විශ්වාසනීයම නායකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිබඳ සුළු ජනතාව තබා ඇති විශ්වාසයයි. ඔවුන් දැවැන්ත අභියෝග හා තර්ජන මාධ්‍යයේ පවා 1994 සිට අඛණ්ඩව රනිල් වික‍්‍රමසිංහ මහතා ගැන විශ්වාසය තබා තිබෙන බව අප අමතක නොකළ යුතුයි.
අනෙක් කාරණය වන්නේ නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය ගැන වික‍්‍රමසිංහ මහතා තුළ පවතින පුළුල් හා විශ්වාසනීය දැක්මක්. සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණය පක්ෂය තර කිරීමේ මෙවලමක් ලෙස භාවිත කරමින් රාජ්‍යය සමානයි පක්ෂය යන දේශපාලන සූත‍්‍රය සැමදාම පිටුදැක්ක දේශපාලන පක්ෂ නායකයෙක් වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිවන්නේ ප‍්‍රමුඛතාවක්. ඒ බව දශක දෙකකට පසුව බලය ලැබුණු අවස්ථාවේ පවා වික‍්‍රමසිංහ මහතා ක‍්‍රියාකරන ආකාරයෙන් මනාව පැහැදිලි වෙනවා. මේ දියුණු දැක්ම හේතුවෙන් අගමැතිවරයා දේශපාලන වශයෙන් සැලකිය යුතු වන්දියක් ගෙවා ඇතත් ඒ ගැන අගමැතිවරයාගේ විස්සෝපයක් නැති බව අපට දැකිය හැකියි.
රනිල් වික‍්‍රමසිංහ නමැති නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදියා, යහපාලනිකයා රැුක ගත යුතු අනෙක් වැදගත්ම කරුණු වන්නේ ශ‍්‍රී ලංකාව නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් වෙත රැුගෙන යා හැකි ආකාරයේ පුළුල් දැක්මක් සහිත නායකත්වය ඔහු සතු වීම තුළයි. මේ සියලූ කරුණු අතර අප විසින් අමතක නොකළ යුතුම වැදගත් කරුණක් තිබෙනවා. ඒ මෛත‍්‍රී – රනිල් දේශපාලන සංහිඳියාව රැුක ගැනීම මේ සියල්ලටම අත්‍යවශ්‍ය වන බවයි. ඒ 2020 න් ඔබ්බටත් මෛත‍්‍රී – රනිල් දේශපාලන සුසංයෝගයෙන් තොර දේශපාලන හා සමාජ සංහිඳියාවක් බිහිවීම යථාර්ථයක් නොවන නිසයි. ඒකාබද්ධ විපක්ෂයේ ඊනියා විශ්වාසභංගය හමුවේ අප හමුවේ මතු වන අභියෝගය වන්නේ යළිත් මේ දේශපාලන සංහිඳියාව ශක්තිමත් කර ගන්නේ කෙසේද ? යන්නයි.

සටහන

භාතිය බරුකන්ද

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *