ජාතිවාදය වගේ මතවාද වලට තිබුණු ජනප්‍රියභාවය ක්‍රමයෙන් අඩුවීම නිසා මහින්ද, ගෝඨාභයගේ ජනප්‍රිය භාවය අඩුවෙමින් තියෙනව – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

 

 මේ වසර මැතිවරණ වසරක් වශයෙන් හඳුන්වනවා. කෙසේ වුවත් තව වසර එකහමාරක් ඇතුළත මේ රටේ ප්‍රධාන මැතිවරණ දෙකක් පැවත්වෙන්න නියමිතයි. ඒ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය. පළාත් සභා මැතිවරණයත් මේ අතරට එයි. මේ වන විට රටේ ප්‍රධාන දේශපාලන කඳවුරු කෙසේ පෙළගැහිලා තියෙයිද?

දැනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණක් තියනව. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියනව, ඒ වගේම  පොහොට්ටුව ලාංඡනයෙන් සංවිධානයක් ගොඩනැගිලා තියෙනව. මේ දෙක එක බලවේගයක් වෙන්නත් පුළුවන්. ඒත් යම් ගැටළුකාරි තත්ත්වයක් තියනව. ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළුව වමේ පෙරමුණක් ගොඩනැගීවේ සක්‍යතාවයක් තියෙනව. ඒකට වමේ කේන්ද්‍රය, අලුත් පියාපත්, ජාතික විද්වත් සංවිධානය වැනි මෑතදි මතුවු ප්‍රගතිශීලි සංවිධාන රාශියක් එකතු වෙන්න ඉඩ තියෙනව.

දැන් ප්‍රධාන සංවිධාන තුනක් ගැන සඳහන් කෙරුවා. මේ තුනෙන් වඩිය ඡන්ද පදනමක් තියෙන්නේ මොන කණ්ඩායමටද?

ඒ පිළිබද තවම නිගමනයකට එන්න අමාරුයි. තත්ත්වයන් වර්ධනය වෙන විදිහට තමයි ජනතාව කුමන කඳවුර වටා පෙළගැහෙයි ද කියල කියන්න පුළුවන්.

මේ වන විට ලෝකයේ සමාජවාදය කියන ව්‍යපාරය, නැත්නම් පොදු ව්‍යවසාය අර්ථක්‍රමය අවලංගු වෙලා තියෙන බව කියනව.

නැහැ. සමාජවාදය කියන අර්ථක්‍රමය නැති වෙලා නැහැ. සෝවියට් දේශයේ තිබුණ ධනය සම්පූර්ණයෙන්ම ජනයා සතුයි. නිෂ්පාදන ක්‍රියාවලියේ හිමිකාරත්වය රජය පමණයි. කියන සංකල්පය තුරන් වෙලා තියෙනව. ඒ වගේම ගෝලීය ධනවාදය, නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමයත් අසාර්ථක වෙලා තියෙනව. යල්පැන ගිහින් තියනව. මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තමයි රනිල් වික්‍රමසිංහ වගේ පිරිස් උත්සාහ කරන්නෙ. ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ. දැන් මේ තියන තත්ත්වයේ හැටියට අපි ධනවාදි ආර්ථික ක්‍රමයේ එක් නියෝජනයකුත් ඕනැ කරල තියනව. විදේශ ආයෝජකයොත් අපිට ඕනැ කරල තියෙනව. අන්තර් ජාතික ශ්‍රම විභජනයක් අවශ්‍ය වෙනව. ඒ වගේම අන්තර්ජාතික වෙළද පොළක් සඳහා නිෂ්පාදනය කිරීමට අපිට සිද්ධ වෙනව. ඒ වගේම මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඒ අනුව නිෂ්පාදනය කරන වෙ‍ළඳපොල ආර්ථිකයක් නිර්මාණය කරගත යුතු වෙනව. කෙටියෙන් කියනව නම්, සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් තමයි දැන් අපිට ඕනැ කර තියෙන්නෙ.

මේකට දැනට තියන හොඳම ආදර්ශය, ලෝකයේ දැනට සාර්ථක වෙලා තියෙන්නෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයයි. නෙදර්ලන්තය, ලක්සන්බර්ග්, පින්ලන්තය, නෝර්වේ, ස්විඩන් වගේ රටවල් සෑහෙන දුරට සාර්ථක වෙලා තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි මාර්ගයට එක මගක් විවෘත කරල ති‍බීමෙන්. මෙතනදි වැදගත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගනීම, මානව හිමිකම් රැකගැනිම, මිනිස්සුන්ට අවශ්‍ය නිදහස ලබාදීම ඒ වගේම නිෂ්පාදනය වැඩි කර ගැනීමට ක්‍රියා කිරීම. මේක ධනපති පංතිය වගේම වැඩ කරන ජනතාවත් තේරුම් ගත යුතුයි. වැඩකරන ජනතාව පැත්තෙනුත් මේකට දායකත්වයක් බලාපොරොත්තුවිය යුතුයි. වැඩ වර්ජනය කරන පිරිසක් වශයෙන් නෙමෙයි නිෂ්පාදනයට සහභාගි වෙන පිරිසක් වශයෙන් මානසිකත්වයක් හදාගත යුතුයි. අපිත් මේ නිෂ්පාදනයේ හවුල් කාර පිරිසක්. අපිත් මේ නිෂ්පාදනය වැඩි කරගැනීමට හවුල් වියයුතුයි කියන චේතනාව ඇති කර ගත යුතුයි. අපේ රටට විදේශ ආයෝජන ලබා ගැනීමටත් මෙය ඉතාමත්ම වැදගත් වෙනව.

කොහොම වුණත් ඔබේ විග්‍රහය අවසානයේ එහි හරය ගෙන බලපුවාම පෙනෙන්නේ එතන තියෙන්නෙත් ධනවාදි අර්ථක්‍රමය බවයි පෙනෙන්නේ.

ධනවාදය කියල කියන්න ආමරුයි ඒක. ඒකෙ හරි විග්‍රහය නම් සමාජවාදි ප්‍රජාතන්ත්‍රවාදය. ඒක තමයි වඩාත් නිවැරදි හැඳින්වීම. මෙතනදි මිනිසුන් විනයගරුක විය යුතුයි, සදාචාරාත්මක වියයුතුයි. ඒ අතර ආදායම් පරතරය හැකි තරම් අඩුවිය යුතුයි. දැන්ට තියෙන විශාල ආදායම් පරතරය අඩු කළ යුතුයි. ඒක ඉතාමත් වටිනා සාධකයක්. එකෙන් තමයි සමාජ සාධාරණත්වය ඇති කරන්නෙ. ඒ වගේම අපිට බහු ආගමික බහු සංස්කෘතික සමාජ ක්‍රමයක් ගැන තමයි අපිට අවධානය යොමු කරන්න තියෙන්නෙ.

කොතරම් කැපවීමක් කළත් ප්‍රාග්ධන හිමියට නේද ලාබය යන්නේ. ශ්‍රමිකයාට හිමිවන්නේ වැටප නේද?

එහෙමම කියන්න අමාරුයි. ප්‍රාග්ධනය යොදවන අය ධනවත් වෙන්න පුළුවන්. නමුත්, ඒකෙ සීමාවක් තියනව. හොදම උදාහරණය තමයි ඇමරිකා එක්සත් ජනපදයේ 1997 විතර කා‍ලයේ තිබුණ තත්ත්වය. ඒ කා‍ලයේ ධනපති පංති සාමාජිකයන් කොයි තරම් අන්තයකට ගියාද කියල කියනව නම්, ෂවර් කර්ටන් (නාන කාමර තිර රෙදි) එල්ලන්න රත්තරන් වලින් මුදු දැම්ම කියල කියනව. ඒ වගේ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේ අධිසුඛෝපබෝගිත්වය ප්‍රති‍ක්ෂේප කෙරුවොත්, සාධාරණ  වැටුප්, සාධාරණ මිලට නිෂ්පාදන ‍අලෙවිය ඇති කෙරුවොත් ඉහත සඳහන් කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙනව. නිෂ්පාදකයාටත්, සේවකයාටත්, පාරිභෝගිකයාටත් සාධාරණයක් ඇති කළ යුතුව තිබෙනව. ඒ වගේම ජනතාවගේ සුබසාධන පහසුකම් උපරිම තෘප්තියක් ලබා දෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු වෙනව.

මේ ලඟදි ඉඳල, ලක්සැන්බර්ග් වල මුළු මගී ප්‍රවාහන කටයුතු නොමිලේ සපයන්න අත්හදා බැලීම් කරන බවට වාර්තා වෙනව. පින්ලන්තය උත්සාහ කරනව රැකියාවක් කළත් නොකළත් සියලු දෙනාටම වැටුපක් දෙන්න. මේවා තියෙන්නේ තවම අත්හදා බැලීම් තත්ත්වයේයි. මේ දෙසට තමයි ලෝකය ගමන් කරන්නේ. සමාජ සාධාරණත්වය සහිත සාර්ථක සමාජයක් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ.

රොනල්ඩ් රේගන් ඇමරිකාවේ, මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයේ නායකත්වය දරණ කාලයේ තිබුණු විවෘත ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන්ම දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙනව. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙහි රජයේ මැදිහත් වීම පිළිගන්න තත්ත්වයකට පත්වෙලා තියෙනව.

මහින්ද රාජපක්ෂ සිය ඡන්ද පදනම හදාගැනීමේ ප්‍රධාන සාධකය වශයෙන් හැමවිටම පාහේ යොදා ගත්තේ ජාතිවාදය. එයට යොදා ගත්තා සිංහල බෞද්ධ පදනම හා රණවිරුවන් රැකගැනීම යන කරුණු දෙක. පසුගිය කාලයේ කෙරුණු විවෘත සංවාද නිසා ජනතාව යම්තරමකට දියුණුවක් ලබමින් ජාතිවාදයෙන් හා ආගම් වාදයෙන් ඈත් ඔවුන් වෙමින් යන බවක් පෙනෙන්න තිබෙනවාද?

මම හිතන්නේ පසුගිය දින 52 කලබැගෑනියෙන් ලැබුණු එක ප්‍රයෝජනයක් තමයි, ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීම වගේම ජාතිවාදය වගේ මතවාද වලට තිබුණු ජනප්‍රියභාවය ක්‍රමයෙන් අඩුවීම. ඒක නිසා මහින්ද,ගෝඨාභයගේ ජනප්‍රිය භාවය අඩුවෙමින් තියෙනව. උතුරු නැගෙනහිර ඇතුළු සෙසු පළාත්වල වෙසෙන ජනතාව සමග සුහදව කටයුතු කළයුතුයි කියන හැඟීමක් ජනතාව තුළ ඇති වෙලා තිබෙන බවයි පෙනෙන්න තියෙන්නෙ.

පාර්ලිමේන්තු කලබගෑනියෙන් වගේම ගංවතුර වැනි ස්වාභාවික විපත් වලිනුත් ජාතික සමගියට ආශිර්වාදයක් ඇති වී ඇති බවක් පෙනෙන්න තියෙනව නේද?

මේ ගංවතුර උවදුරේදී පමණක් නෙවෙයි සුනාමිය ඇති වුණු වෙලාවෙදිත් හමුදාව කැපවීමෙන් කටයුතු කළා. එයට වසර 14ක් පිරුණා. උතුරේ මේ සැරේ ඇති වුණු ගංවතුර තත්ත්වය අවස්ථාවේ දී දකුණේ සිංහල ජනතාව උතුරේ සහ නැගෙනහිර ජීවත් වෙන්නේ සහෝදර ජනතාවක් ලෙස සලකා ඔවුන්ට විපතේ දී උදව් කිරීමේ මානසික තත්ත්වයක් ඇති වී තිබෙන බව පේනවා. මල්වතු අස්ගිරි විහාර වලින් පවා ආධාර උතුරට යැවූ බවට පුවත් විකාශය වුණා. ආගමික නායකයන් පවා මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන බව පේනවා.

මේ වන විට රටේ දේශපාලනය යම් නිහඬතාවයක ගිලී තියෙන බව පේනවා. නිහඬ තාවය භයානකයි කියලත් කියමනක් තියෙනව. විධායකය ව්‍යවස්ථාදායකය, අධිකරණය කලබගෑනියකින් තොරව ඉස්සරහට කටයුතු කරයිද?

මේ අවස්ථවේ දී විධායකය ව්‍යවස්ථාදායකය, අධිකරණය කෙසේ හැසිරෙයිද කියන එක එක එල්ලේ පිළිතුරු දීමට අපහසු වුවත්, ජනතාව අධිකරණය පිළිබඳ පූර්ණ විශ්වාසයක් තැබුව කියල කියන්න පුළුවන්. ඒක ඉදිරියටත් එහෙම්ම සුරැකෙයි. ව්‍යවස්ථාදායකයට, පාර්ලිමේන්තුවට උගතුන් බුද්ධිමතුන් ඇතුළත් විය යුතුයි කියන මතයක් පැතිරිලා තියෙනව. එකට දාමරිකයො හොරු නොයැවිය යුතුයි කියන අදහසක් ඇතිවෙලා තියෙනව. විධායක ජනාධිපති ක්‍රමය නම් අහෝසි කළ යුතුමයි කියල තව දුරටත් තහවුරු වුණා.

මහින්ද රාජපක්ෂගේ දුර්වල වීම ගැන ඕනෑවට වඩා හිතන්න අවශ්‍ය නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය ගැන ඕනැවට වැඩිය හිතන්න හොඳත් නැහැ. අපේ අවධානය යොමු විය යුතතේ වඩා සාධාරණ සමාජ ක්‍රමයක් සඳහා අපි කොහොමද රට ගෙනියනනෙ කියන එකයි හිතන්න ඕනෙ. මෙතනදි මම හිතන්නෙ ටී.එන්.ඒ. එකේ ක්‍රියාකාරිත්වය මුස්ලිම් පක්ෂවල හැසිරීම් ඉතාමත් වැදගත් වෙනව. ඒ වගේම ආගමික නායකයන්ගෙ අදහස්වලටත් ඇහුම්කන් දෙන්න ඕනෙ.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ගොඩ නැගෙමින් තිබෙන සන්ධානයකින් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කළො‍ත් එ.ජා.ප. අපේක්ෂකයා හා ඊට විරුද්ධ පක්ෂ අපේක්ෂකයා අතර තරඟයකින් එ.ජා.ප. අපේක්ෂකයාගේ ඡන්ද ප්‍රමාණයක් කඩා ගනු ලැබුවහොත් මෛත්‍රි රාජපක්ෂ පිලේ අපේක්ෂකයාට වාසි සහගත වෙන්න පුළුවන් නේද?

ඒක අද කියන්න පුළුවන් කමක් නැහැ. ඉදිරියේ දී ඇති වෙන තත්ත්වයන් මත තමයි එය සලකා බැලිය යුතු වන්නේ. දැන් අලුතෙන් පත්වුණු කැබිනට් මණ්ඩලයේ හැසිරීම ඉතාමත්ම වැදගත්‍ වෙනව, විශ්වාසය ඇති කරගැනීමටත්, සාමකාමී තත්ත්වයක් ඇති කරගැනීමටත් නව රජය වහ වහා ක්‍රියාත්මක විය යුතුයි. එමෙන්ම නිශ්චිත වැඩපිළිවෙලක් අනුව කටයුතු කිරීමේ අවශ්‍ය තාවය තියෙනව.

හිටියගමන් බුදු පිළිමවලට පහර දීමේ සිද්ධින් කිහිපයක් වාර්තා වෙනව. මේ සිද්ධිය යළි ජාතිවාදි කෝලාහළයකට මුල පිරීමක් ද?

මේ සිද්ධියෙන් පස්සෙක් පිරිසක් කියන්න ගත්ත මහින්දගෙ ආණ්ඩු‍ව දිගටම තිබුණා නම් මෙහෙම වෙන්නෙ නැහැ කියල. අනිත් අතින් ජාතිවාදය ඇවිස්සීමේ පසුබිමක් තිබුණත් මිනිස්සු ඉස්සර වගේ මේ වැනි සිද්ධීන් වලින් කලබල වෙන්නෙ නැහැ.

බලහත්කාර ආණ්ඩුවන් මහින්ද එළියට විසිවුණාට පසුව සමහරු කියන්න ගත්තා, ඉහළටම නැගලා හිටිය මහින්ද පෙරේතයා පොළවෙ ගැහුවා වගේ මිමට සමතලා වුණු කියලා. එහි සත්‍යතාවයක් තියනවද?

ඇත්ත වශයෙන්ම ඔව්. තිබුණු තත්ත්වයේ හැටියට ‘මේ ආණ්ඩුව කිසිම දෙයක් කෙරුවෙ නෑ’ කියන තත්ත්වයේ තමයි තිබුණෙ. ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණා තමයි. මාධ්‍ය නිදහස ඇති වුණා තමයි. නමුත් ජාතික සමගිය ඇති කිරීමේ ව්‍යාපාර ඒතරම් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් ඒ නිසා ඇති වෙලා තිබුණු අප්‍රසාදය මේ සිද්ධියෙන් තරමක් දුරට යට ගියා වගෙයි පෙ‍්න්නෙ.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *