නාමල් කුමාර ගැන සී.අයි.ඩී.යෙන් විමර්ෂන

ජානාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හේතුවෙන් පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධියක් නිර්මාණය වූ අතර එම හෙළිදරව්ව සිදු කළ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යුද හමුදා පුහුණුවෙන් පලා ගිය අයෙකුබව අද අධිකරණයේ දී හෙළිදරව් විය. එසේම ඔහු යුධහමුදාවේ හා ගුවන් හමුදාවේ සේවය බැඳීම සඳහා ව්‍යාජ අධ්‍යාපන සහතික පත්‍ර ඉදිරිපත් කර ඇති බවත් හෙළි වී ඇත.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර හෙළිකළ අදාල නඩුව (2) අදත් කොටව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගැණුන අතර එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබූවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට ඔහු සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි මගින් අනාවරණය වීම නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය.

එම ඝාතනය සිදු කළ යුතු ආකාරය අඩංගු තොරතුරු මුද්‍රා තැබූ ලියුම් කවරයක බහා නාමල් කුමාර වෙත එවන බවට නාලක ද සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් ද ඔවුන් අතර වු දුරකථන සංවාද වල දී පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පනී සිටි සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා එහිදී මහේස්ත්‍රාත් වරයාට පෙන්වා දෙන ලදී.

එමෙන්ම එම සිද්ධිය වෙනුවෙන් පැමිණිලි කළ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා යුධ හමුදාවේ සේවයට බැඳී පුහුණුව ලැබූ අයෙකු බවත් ඔහු එම සේවයට බැඳීමේ දී අදාල ආයතන වලට ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දෙනු ලැබීය.

නාමල් කුමාර 2002 වර්ෂයේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී අධි සම්මාන දෙකක් සහ සම්මාන තුනක් සහිතව විෂයයන් දහයෙන්ම සමත් වු බවට යුද හමුදාවට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික අනුව පෙනී ගියද ඒවා සම්බන්ධයෙන් සිදු කළ විමර්ෂණ වල දී හෙළිදරව් වී ඇත්තේ ඔහු සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඇත්තේ විෂයයන් තුනක් පමණක් බවයි.

ව්‍යාජ සහතික ගුවන් හමුදාවට හා යුද හමුදාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවන් හා යුද හමුදාවෙන් පැන යාම සම්බන්ධයෙන් නාමල් කුමාරට එරෙහිව පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂ දෙපාර්ත මේන්තුව අධිකරණයට දැනුම් දෙනලදී.

නාමල් කුමාරගේ දුරකථනයේ මකා දමා තිබූ සංවාද අතරින් හොංකොං රාජයෙන්  ප්‍රතිඋප්පාදනය කිරීමේ දී දුරකථ සංවාද 427ක් හා විඩියෝ දර්ශන 26ක් සහ ඡායාරූප 4321ත් පටිගත වී ඇති බව ද අනාවරණය වී ඇති බව ද අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව එහි දී පෙන්වා දෙන ලදී.

අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව එම දුරකථන සංවාද අතරින් ප්‍රධාන කොට විනාඩි හැටක කොටස් ඇතුළත් සීඩී පට තුනක් රජයේ රස පරීක්ෂක වරයා වෙත ඉදිරිපත් කර එම දුරකථන සංවාද වල ඇත්තේ නාලක කුමාරගේ කට හඬ හා හිටපු නියෝජ්‍ය පොලිස් පති නාලක ද සිල්වාගේ කට හඬදැයි සනාථ කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්ත මේන්තුව අද දිනයේ දී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ සඳහා අධිකරණය අවසර ලබා දෙනු ලැබීය.

මේ අතර පළවෙනි සැකකාර නාලක ද සිල්වාට අධිකරණයෙන් යළි ඇප ඉල්ලා සිටි අතර ඒ ඇප ඉල්ලීම පිළිබඳ ලිඛිත දේශන සතියක කාලයක් ඇතුළත ගොනු කරන ලෙස විත්තියේ නීතිඥවරයාට නියෝග කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට අත්අඩංගුවටගත් ඉන්දීය ජාතිකයා සහ හිටපු පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන දහසය වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *