කඳුළු දෙකක වෙනස – සම්පත් රණසිංහ

කඳුලක බර තවත් කඳුළකින් යටපත් කර හැකිද යන ගැටළුව මට මතු වූයේ පසුගිය දිනක පිවිතුරු හෙළ උරුමයේ වේදිකාවක මහේෂිකා උඩගෙදර මහත්මිය කඳුළු සලන ආකාරය දුටු විටය. මහේෂිකා උඩගෙදර යනු සුදේෂ් උඩගෙදර නමැති බුද්ධි අංශ නිලධාරියාගේ බිරිඳය. සුදේෂ් කුමාර මහතා අත්අඩංගුවට ගනු ලබන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අත්අඩංගුවට ගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. ඔහු ගිරිතලේ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකු වන අතර පසුගිය අගෝස්තු මාසයේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරුණු අතර මේ වන විට ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටී.

තම සැමියා 2009 ට පෙර නැගෙනහිර සේවය කළ බවත් 2009 පටන් ගිරිතලේ හමුදා කඳවුරේ සේවය කළ බවත් ඇය කියයි. එසේම ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය තම සැමියාගෙන් අවස්ථා තුනකදී ප්‍රකාශ ලබාගත් බවත් ඒ අවස්ථාවල දී පොලීසිය තම සැමියාට එක්නැලිගොඩ මහතා පසුපස ගිය බව පිළිගන්නට බලකළ බවත් උඩගෙදර මහත්මිය පවසයි.

ඇය කියන ආකාරයට නම්, පොලීසියට අවශ්‍ය දේ සුදේෂ් කුමාර මහතාගෙන් සහ ඔහුගේ බිරිඳවන තමාගෙන් කියවා ගන්න බලවත් උත්සාහයක් ගෙන තිබේ. ඒ අනුව උඩගෙදර මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ අසාධාරණ ආකාරයටය.

මහේෂිකා මහත්මියගේ ප්‍රකාශය සහ කඳුළ පිවිතුරු හෙළ උරුමය වේදිකාවට එන්නේ නිකමට යැයි කෙනෙකු සිතන්නේ නම් එය වරදවා වටහා ගැනීමකි. ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම පිලිබඳ පොලිස් පරීක්ෂණ මේ වන විට සැලකිය යුතු තරමේ ප්‍රගතියක් ලබා ඇති බව ද ඒ ඔස්සේ පරණ ආණ්ඩවේ නිරුවත අධිකරණය හමුවේත් රට හමුවේත් නිරාවරණය වන්නට නියමිත බව ද පිවිතුරු හෙළ උරුමයේ නායකයන්ටත් ඒකාබද්ධ විපක්ෂටත් ආණ්ඩුවේ අවශ්‍යතාව හෝ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ අවශ්‍යතාව අනුව ඊට නායකත්වය අනුබල දුන් සැමටත් මේ වන විට සැකයකින්තොරව තහවුරු වී ඇතිබව සැකයක් නැත.

ඒ අනුව දැන් අදාළ තැනැත්තන් උත්සාහ කරන්නේ පොලීසිය බොරු කරන්නේය, යන මතයක් සමාජයේ පතුරුවා උසාවියේ කටයුතු සම්බන්ධයෙන් වෙනත් අදහසක් සමාජ ගත කරන්නට බව ඉතා හොඳින් පැහැදිලිය.

පොලීසිය විසින් සුදේෂ් කුමාර උඩගෙදර මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුණේ දීර්ඝ පරීක්ෂණයකින් පසුව යන කරුණ වසං කරන්නට දැන් උදය ගම්මන්පිලලාට අවශ්‍යව තිබේ.

එහෙත් ඇත්ත තත්ත්වය නම්, එක්නැලිගොඩ මහතා පළමුව පැහැරගත් දිනයේත් දෙවනුව පැහැරගෙන අතුරුදන් කළ දිනවලත් සුදේෂ් කුමාර උඩගෙදර මහතා ගිරිතලේ හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් රාජකාරීයෙ යෙදී සිටි බවයි. ගැටලුව වන්නේ ඔහු එම කඳවුරේ සේවය කිරීම නොවේ. අදාළ කාලයේ එම කඳවුරේ සේවය කළ එකම බුද්ධි අංශ සාමාජිකයා ද සුදේෂ් කුමාර මහතා නොවේ. එහෙත් අනිකුත් නිලධාරින්ට නැති ප්‍රශ්නයක් සුදේෂ් කුමාර මහතාට ඇති වී තිබේ. ඊට හේතුව ඔහු එක්නැලිගොඩ මහතා පිටුපස ගොස් කොළඹ දී බුද්ධි අංශ කණ්ඩායමකට එක්නැලිගොඩ මහතා පෙන්වීමය. සුදේෂ් මහතා එසේ කළේ ඉහළින් ලැබුණු නියෝගයකට අනුවය. ඉහත තොරතුරු දුරකථන දත්ත මගින් තහවුරු වී තිබේ. සුදේෂ් කුමාර මහතා අත්අඩංගුවට ගැනුනේ දුරකථන තොරතුරු ද පදනම් කරගෙනය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද වසර ගණනක් තිස්සේ සිය සැමියා වෙනුවෙන් කඳුළු සලමින් සිටින්නියකි. අගේ කඳුළ මහේෂිකා උඩගෙදර මහත්මියගේ කඳුළට වඩා බරපතළ වන්නේ උඩගෙදර මහත්මියගේ සැමියා ඇගේ නෙත් මානයේ පෙනෙන්නට හිඳිමින් අධිකරණ ක්‍රියා මාර්ගයකට මුහුණ දෙමින් සිටින නමුත් එක්නැලිගොඩ මහත්මියගේ සැමියා එසේ පියවි ඇසින් දකින්නට කොතැනකවත් ඇත්තේ නැති බැවිනි.

මහේෂිකා මහත්මියගේ කඳුළට වටිනාකමක් දෙන්නට උත්සාහ කරන පිරිසට අවශ්‍යව ඇත්තේ මහේෂිකාගේ කඳුළ පෙන්වා සන්ධ්‍යාගේ කඳුළ නිශේධනය කර දමන්නටය. ඒ අනුව මහේෂිකාගේ සැමියා (බොරු හෝ) නඩුවක පටලැවීමට තරම් සන්ධ්‍යාගේ සැමියාගේ අතුරුදන් වීම බරපතළ නැත. පිවිතුරු හෙළ උරුමයේ පිවිතුරුකම ගැන අදහසක් එයින්ම පොදු ජනතාවට ලබා ගැනීමට පුළුවන.

උදය ගම්මන්පිලලා ආණ්ඩු කරවූ සමයේ අත්අඩංගුවට ගනු ලැබූ නොව පැහැර ගැනුණු ප්‍රගීත් එක්නැලිගොඩ මහතාටත් අද සුදේෂ් කුමාර උඩගෙදර මහතාට මෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට නතු කොට ඔහුට විරුද්ධව චෝදනා තිබුණේ නම් ඒවා නීත්‍යානුකූලව ඔප්පුකොට දඬුවමක් පැමිණවූයේ නම් මහේෂිකා මහත්මියටත් සන්ධ්‍යා මහත්මියටත් කඳුළු සලන්නට සිදු වන්නේ නැත.

මේ මොහොතේවත් පිවිතුරු හෙළ උරුමය සන්ධ්‍යාගේත් මහේෂිකාගේත් දෙදෙනාගේම කඳුළු වෙනුවෙන් එක්වර සටන් කරන්නේ නම් යම් පමණකට හෝ ඔවුන්ගේ සටන වෙනුවෙන් පෙනී ඉන්නට සාධාරණය අගයන ජනතාවට පුළුවන් වෙනවා ඇත. එහෙත් සිදු වන්නේ අනෙකකි. සන්ධ්‍යා එක්නැලිගොඩලා දහසක් කුඳුළු සැලුවත් උදය ගම්මන්පිලලාට ප්‍රශ්නයක් නැත. තම බලය හා අරමුණු සාධනය වෙනුවෙන් අලුතින් සන්ධ්‍යාවරියන් තවත් දහසක් වුවත් හඬවන්නට ඔවුන් පසුබට වන්නේද නැත. නාවුක හමුදාවෙන් අතුරුදන් කළ තරුණ පිරිස සම්බන්ධව ද එකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිසත් ඔවුන්ගේ අනුගාමිකයනුත් අනුගමනය කරන පිළිවෙත වන්නේ ද එයමය.

තමන්ගේ බලය රැකගන්නටත් බලය ගන්නටත් කප්පම් ගන්නටත් මිනිසුන් අතුරුදන් කළ හැකිය. මරා මුහුදේ ගිල්වන්නටත් හැකිය. ඒ ඉරණමට ලක්වූවන්ගේ කඳුළ කඳුළක් නොවේ. දුක දුකක් නොවේ. එහෙත් කඳුළු නම් රණවිරුවන්ගේ කඳුළුය. ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ගේ කඳුළුය. සාධාරණය යනු සන්ධ්‍යාලාට උරුම දෙයක් නොවේ. අතුරුදන් වූ සැමියා වෙනුවෙන් හඬන සන්ධ්‍යාට හිමිවිය යුත්තේ අපහාස උපහාස ගල්මුල්ය. රිමාන්ඩ් බාරයේ සිටින සුදේෂ් වෙනුවෙන් හඬන බිරිය මහේෂිකා වෙනුවෙන් සැ‍වොම එක්ව වැළපිය යුතුය.

සම්පත් රණසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *