ලෙස්ටර් අද දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ ලකුණ බිහිකළ අසහාය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද (2018 මැයි 02) සන්ධ්‍යාවේ දැයෙන් සමුගනී.
මීට සති කිහිපයකට පෙර එනම් අප්‍රේල් 5 වනදා ඔහුගේ 99 වන ජන්ම දින සැමරීම සිදු කළ අතර එම අවස්ථාවට ජනපති අගමැති ප්‍රමුඛ අය සහභාගි වීම ද විශේෂයකි.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකීය සිනමාකරුවා ලෙස ඔහු හඳුන්වනු ලැබේ.
හෙතෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණ අතර, රේඛාව – 1958,  සංදෙශය – 1960, ගම්පෙරළිය – 1963, දෙළොවක් අතර – 1966, රන්සළු – 1967, ගොළු හදවත – 1969, අක්කර පහ – 1970, නිධානය – 1972, දෑස නිසා – 1975, The God King – 1976, මඩොල්දූව – 1976, වීරපුරන්අප්පු – 1978, අහසින් පොෙළාවට – 1978, බැද්දෙගම – 1981, කලියුගය – 1983, යුගාන්තය – 1985,  අවරගිර – 1995, වෑකන්ද වලව්ව – 2003, අම්මාවරුනෙ – 2009 වැනි සිනමා නිර්මාණ වෙති.

 

ලෙස්ටර් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. ඔහුගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.
1919 අප්‍රේල් 5 දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා ස්කොට්ලන්තයේ දී ඉගෙන ගත් වෛද්‍යවරයෙකි. ඔහුට, එරිකා, අයිවන් සහ නොයෙල් ලෙස සහෝදරයන් කීපදෙනෙකි.
පීරිස් පවුල ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුණු රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. ලෙස්ටර් කිසිදු දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වී නොමැත. ඔහුට ප‍්‍රසිද්ධ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වීමට ද කිසිදු අදහසක් තිබී නොමැත. එමෙන්ම එකල ලංකාවේ ජාතික චිත‍්‍රපට කර්මාන්තයක් ද තිබී නැත.
කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත් ඔහු පසුව වයස අවු 17 දී ඔහුගේ ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගත්තේය. ඔහු වෘත්තිය වශයෙන් ඩේලි නිව්ස් පුවත් පතේ හා ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පතෙහි සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට පිළිබඳව දැනුම පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.
1947 දී එංගලන්තයට ගොස් එහි කලා ශිෂ්‍යත්වයක් හැදෑරූ ඔහු 1952 දී නැවතත් ලංකාවට පැමිණ ඊට වසර 3කට පසුව රජයේ චිත‍්‍රපට අංශයේ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව වෘතාන්ත චිත‍්‍රපටයක් කිරීමට අදහස් කළේය. ඒ අනුව ගැමි තේමාවක් වස්තු විෂය කොට ගත් සිංහල සිනමාවේ

 

සංධිස්ථානයක් ඇති කළ ‘රේඛාව’ චිත‍්‍රපටය 1956  බිහි විය.
ඒ දක්වා ඉන්දියන් කොපි හා ඉන්දියන් චිත්‍රාගාර ආශ්‍රිත චිත්‍රපට පැවති හෙළ සිනමාව රේඛාවෙන් වෙනසකට ලක්විය. එය පළමු වරට චිත්‍රාගාරයෙන් පිටතට, එළිමහනට සිනමා කැමරාව ගෙනගිය ප්‍රථම ලාංකික සිනමාපටය වශයෙන් සලකනු ලබයි.
ඔහුගේ මේ විප්ලවීය වෙනස නිසා ශ්‍රී ලාංකීය සිනමාවට ලාංකික මුහුණුවරක් ලැබුණි.
දේශීය හා විදේශීය වශයෙන් ඔහු සම්මාන රැසකට හිමිකම් කියූ අතර ලංකාවේ නම අවස්ථා ගණනාවකම බැබලවූයේ ය. ලෙස්ටර් ඔබ අප රටට ගෙනා  ගෞරවය සදා අමරණීය ය.

මනෝජ් රූපසිංහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *