බළලුන් ලවා කොස් ඇට බා ගැනීම – භාතිය බරුකන්ද
අපි තවත් සුවිශේෂ කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. යහපාලන ආණ්ඩුව පසුගිය තෙවසර පුරා මහත් සකසුරුවම්කමින් යුතුව වර්ධනය කළ ආර්ථික සංවර්ධනයේ අස්වැන්න නෙළා ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටියදී පොහොට්ටු කල්ලිය අනවශ්‍ය දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් එම අස්වැන්න සොරා කෑමට ගන්නා කූඨ උත්සාහය ගැනත් අපි මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතුයි. මන්ද අගමැතිවරයාම පසුගිය 18 වැනිදා මහනුවරදී ප්‍රකාශ කළ ආකාරයට ආණ්ඩුව පසුගිය කාලයේ මහත් කැපවීමෙන් ගොඩනැඟූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල සේම මනාව කළමනාකරණය කළ ආර්ථිකයේ ද ප්‍රතිඵල නෙළා ගැනීමට ඉදිරියේ දී අවස්ථාව උදාවෙනවා. ඒ හරහා ජනතාව පසුගිය කාලය තුළ කැප කිරීම්වලට ඵලදායී ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. රැකියා අවස්ථා නිර්මාණය වෙනවා.
මේ තත්ත්වය තුළ ආණ්ඩුවට සැලසුම් සහගතව 2020 ජනාධිපතිවරණයට පමණක් නොවෙයි ඉදිරි පළාත් පාලන මැතිවරණයට නොබියව ඉදිරිපත් විය හැකියි. අද බන්දුල ගුණවර්ධනලාට වුවමනා වී ඇත්තේ ආණ්ඩුව වැපිරූ අස්වැන්න නෙළා ගැනීමට පෙර අවස්ථාවාදීන්ට මුවාවී ආණ්ඩුව අර්බුදයකට ලක්කිරීමටයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නේ නම් තමන් ඒ සඳහා සහයෝගය ලබාදීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළා. බන්දුල ගුණවර්ධන හදිසියේම නුවණ පහළ වූවා සේ මෙවැනි ප්‍රකාශයක් කිරීමට පදනම් හේතුව වුණේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ කාලයේ කළ ප්‍රකාශයක්. එහිදී ජවිපෙ කියා සිටියේ ජනවාරි 08 න්‍යාය පත්‍රය , පොරොන්දු ප්‍රකාරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් තමන් ඒ පිළිබඳව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන ඒමට සූදානම් බවයි.
විශ්වාසභංගයේදී ජවිපෙ සමඟ යළි කරට අත දා ගැනීමට ලැබුණු අහඹු අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය ගන්නා මේ අවස්ථාවාදී ප්‍රවේශය ගැන සේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පොහොට්ටු කල්ලියට හදිසියේම ඇති වූ වුවමනාව ගැනත් අපි සැලකිල්ල යොමු කළ යුතුයි. එවිට අපට පහසුවෙන්ම බන්දුල ගුණවර්ධනගේ මල්ලේ සිටිනා බළලාගේ සැබෑ ස්වරූපය පහසුවෙන් ම හඳුනා ගත හැකියි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට ඇති වුවමනාව සහ අයිතිය සමඟ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන අවශ්‍යතා සහ න්‍යාය පත්‍රය එකට සිට ගන්නේ කෙසේද ? යන්න මෙහිදී අපට ප්‍රථමයෙන්ම ඇති වන සරලම ප්රශ්නයයි. ඊට හේතුව වන්නේ විධායක ජනාධිපතිවරයා සතු බලතල දැඩි ලෙස සීමා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය දියාරු කිරීමට ඍජුව දායක වී ඊට පසුව විධායක ජනාධිපති ක්‍රමය රැක ගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි ඒකාබද්ධ විපක්ෂයට හදිසියේම ඥානය පහළ වීම සැකයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් වන නිසයි.
මුට්ටිය දා බැලීම
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහයෝගය දෙන්නේ කොන්දේසියක් මත බව බන්දුල ගුණවර්ධන මහතා මේ සමඟ ප්‍රකාශ කළ බව අපි මොහොතකටවත් අමතක නොකළ යුතුයි. බන්දුල ගුණවර්ධන ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මේ කොන්දේසිය වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් ඉතාම වැදගත් වගන්තියක් යළි සංශෝධනය කර ගැනීමයි. ඒ පාර්ලිමේන්තුව තේරී පත් වූ දින සිට වසර 4 2/1ක් ගත වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවට වන වගන්තියයි. මෙහිදී බන්දුල ගුණවර්ධන කියන්නේ මේ වගන්තිය සංශෝධනය කිරීමට පියවර ගන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබා දෙන බවයි.
ප්‍රායෝගික දේශපාලනය අනුව බන්දුල ගුණවර්ධනගේ මේ ප්‍රකාශය සැලකිය හැකි වන්නේ ‘මුට්ටිය දා බැලීමක්’ ලෙසයි. එහිදී ජවිපෙ සමඟ යළි දේශපාලන සහයෝගයක් බිහිකර ගැනීමට ඇති හැකියාව විමසා බැලීම වගේම කඩිනම් මහ මැතිවරණයක් ලබා ගෙන යළි රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා වන ඒකාබද්ධයේ දේශපාලන න්‍යාය පත්‍රය ද මේ හදිසි පෙරැළිය සමඟ ඒකාබද්ධ වී තිබෙන බවයි අපට පැහැදිලිව පෙනී යන්නේ. ඒ අතර යහපාලන ආණ්ඩුවේ ප්රමුඛ පොරොන්දු ඉටු කිරීම සඳහා වන කැමැත්ත, සූදානම ද මේ හරහා සමාජ සංවාදයට ලක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට පහසු අවස්ථාවක් ලැබෙන බවක් දැකිය හැකියි. බන්දුල ගුණවර්ධන මහතාගේ මේ හදිසි සත්ත්ව කරුණාව ගැන සේම මේ යෝජනාව පිටුපස සැඟවී ඇති අවස්ථාවාදී දේශපාලන අනතුර ගැන ද අප සියුම්ව විමසා බැලිය යුතුයි.
යළි අතීතයට යා යුතු ද ?
ජනවාරි 08 යහපාලන න්‍යාය පත්‍රය ප්‍රකාරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ කරමින් ආණ්ඩුව විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ විට එහි තිබූ ප්‍රබලත්වය හා අදාළත්වය ඒකාබද්ධ විපක්ෂය විසින් ඉතාමත් සැලසුම් සහගතව දියාරු කළ බව අතීතය මතකයේ ඇති ජනතාව විසින් යළි මතකයට නගා ගත යුතුයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වහාම හැකි සියලුම දහංගැට යොදමින් එය කඩාකප්පල් කිරීමට හෝ දියාරු කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් උත්හාසයේ කූඨප්රාප්තිය සටහන් කළේ සුපුරුදු පරිදි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාම සමඟයි. එහිදී විධායකයේ හෝ වෙනත් පාර්ශ්වයන්ගේ බලපෑමට ලක් නොවූ (18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දිවිනැඟුම පනත මෙන්) ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව ලබා දෙමින් කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයෙන් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවයි. කඩිනම් ජනමත විචාරණයකට යාමට ඇති ප්රායෝගිත දුෂ්කරතා හමුවේ ආණ්ඩුවට තෝරාගත හැකි විකල්පය වුණේ ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයෙන් සම්මත කළ ආකාරයට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි සකස් කිරීමයි. මේ ප්රවේශයේ දී පනත සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතර බලය ලබාදීම සඳහා ඊනියා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිස් ආණ්ඩුවට විවිධ කොන්දේසි ඉදිරිපත් කළ බව අපට මතකයි. ඒ සියලු බලපෑම්, කඩාකප්පල් ක්‍රියා හමුවේ අපේක්ෂිත මට්ටමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත නොහැකි වුවත් එහි වඩාත්ම ශක්තිමක් හා අත්‍යවශ්‍ය සංශෝධනයක් වශයෙන් සැලකුණේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ අත්තනෝමතික බලය සීමා කිරීමයි. එය විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හැසිරවීමට තිබූ අසහාය හැකියාව ප්‍රබල ලෙස සීමා කළා පමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීමට ද හේතුවක් වුණු විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබිය යුතු සංවරණය හා තුලනය ශක්තිමත් කිරීමට මේ හරහා හැකියාව ලැබුණා.
පාර්ලිමේන්තුව තේරී පත් වී වසරකට පසු ජනාධිපතිවරයාට අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ඇති හැකියාව නිසා රටේ ප්රජාතන්ත්රවාදය සේම පාර්ලිමේන්තුවේ ගරුත්වය ද හානියට ලක් වූ අපකීර්තිමත් ඉතිහාසයක් ලංකාවේ අපට තිබෙන බව අමතක නොකළ යුතුයි. දෛවෝපගත ආකාරයෙන් මේ ප්‍රථම අත්දැකීමටත් මුහුණ දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. 2001 දෙසැම්බර් 05 මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වසර දෙකක් පමණ ගත වූ පසු (එජාපය ආසන 109ක් සහ එජාපය සමඟ එක්ව තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 05ක්) විසුරුවා හැරීමට එම මැතිවරණයෙන් ආසන 77ක් පමණක් ජයග්‍රහණය කළ පොදුජන එක්සත් පෙරමුණේ නායිකාව වූ විධායක ජනාධිපතිනියට හැකියාව ලැබුණේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපතිවරයාට හෝ වරියට පවරා දුන් මේ අත්තනෝමතික බලය නිසයි. එදා එජාප ආණ්ඩුව විසුරුවා හැරීමේ ප්රජාතන්ත්ර විරෝධී පියවර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ද ජනාධිපතිනියට බලපෑම් කළ බව අප සිහියට නඟා ගත යුතුයි. (2004 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජවිපෙ තරග කරමින් මන්ත්රධූර 39ක් දිනා ගත්තා)අද බන්දුල ගුණවර්ධනලාට අවශ්‍යව ඇත්තේ 2004 දී ගත් ඒ අවස්ථාවාදී ප්‍රවේශය වෙත යළි ගමන් කිරීමට බව අපට පහසුවෙන් වටහා ගත හැකියි. ඒ නිසා ජවිපෙ සමඟ හාදකම් යළි තහවුරු කර ගැනීමට පොහොට්ටු කල්ලිය දකින සිහිනය සිහිනයක් ම බවට පත් කිරීමට සියලු ප්රජාතන්ත්රවාදී බලවේග පියවර ගත යුතුයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ මේ ඊනියා අවස්ථාවාදී ප්‍රවේශ ගැන වඩ වඩාත් සංවේදී විය යුතුයි. ජවිපෙ පොහොට්ටු කල්ලියේ ඊනියා මුට්ටි දැමිල්ල ගැන සංවේදී විය යුතු බව අප අවධාරණය කරන්නේ ඔවුන් 2004 දී එජාප ආණ්ඩුවට කළ අපරාධයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල වන්දියක් 2004-10 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පළමු කාලය තුළ ගෙවා දැමූ නිසයි. තම පක්ෂයෙන් හා පාක්ෂිකයන්ගෙන් ද අවශ්‍ය තරම් වන්දි ගෙවා දැමූ නිසයි.
පොහොට්ටුව ජනාධිපතිවරණකට බය ඇයි ?
මීළඟට අප විමසිය යුතේ ඒකාබද්ධ පොහොට්ටු කල්ලියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කැක්කුමක් මේ හදිසියේ ඇති වූ අනෙක් වැදගත් කාරණය කුමක්ද ? යන්නයි. මෙහිදී අපට ප්‍රථමයෙන්ම පැහැදිලි වන්නේ ඒකාබද්ධ විපක්ෂය , පොහොට්ටුව තුළ කාලයක් තිස්සේ මෝරා එමින් තිබෙන බැසිල් – ගෝඨා බල අරගලය සමඟ 2020 විධායක ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව අතිශයින් සීමා සහිත බව මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ප්රබලයන්ට අවබෝධ වෙමින් පවතින බවයි. මේ බව පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ඩිව් ගුණසේකර මහතාට කළ බව කියන ප්‍රකාශයෙන් ද මනාව තහවුරු වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැති නම් අමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වී 2020 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට තමා සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ජනමාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ගැන හිටපු ජනාධිපතිවරයාගෙන් ඩිව් ගුණසේකර මහතා කළ විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතා අවධාරණාත්මකව පවසා ඇත්තේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වීමට නොහැකි බවයි. ඒ සඳහා වන හේතු මහින්ද රාජපක්ෂ මහතා ඩිව් ගුණසේකර මහතාට ප්‍රකාශ කොට නැතත් ඒකාබද්ධ විපක්ෂයේ සහ පොහොට්ටු පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ තෝරා ගැනීම වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවයි. මේ තත්ත්වය තුළ පොහොට්ටු පක්ෂය තුළ ගොනුව සිටින බැසිල් – ගෝඨාභය පිළ අතර පැහැදිලි අරගලයක් පවතින අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධ වීම තුළ ද බැසිල් – ගෝඨා බල අරගලය උග්‍ර වෙමින් පවතින බවක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි.
අනෙක් අතට බැසිල්ට හෝ ගෝඨාභය රාජපක්ෂට රාජ්‍ය බලය හිමිවීම සම්බන්ධයෙන් මහින්ද – ශිරන්ති කුටුම්භය තුළ ද විශේෂයෙන් ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ පාර්ශ්වයෙන් දැඩි විරෝධයක් පවතින බව ද දේශපාලන අංශවල සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
නාමල් රාජපක්ෂගේ අනාගතය සුරක්ෂිත වන දේශපාලන ප්‍රවේශයක් ඔවුන් වඩාත් උනන්දු වන බවයි මෙහිදී විමසුමට ලක්ව තිබෙන්නේ. මේ තත්ත්වය තුළ 2020 ජනාධිපතිවරණය 1982 ජනාධිපතිවරණය හා සමාන වනු ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරනවා.
පොහොට්ටු කල්ලිය ජනාධිපතිවරණකට බියවීමට බැසිල් – ගෝඨා බල අරගලය පමණක් නොවෙයි භූ දේශපාලන යථාර්ථය ද ප්‍රබල හේතුවක් වී තිබෙනවා.
ඒ අතර ප්‍රධාන කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දුන් 2005, 2015 ජනාධිපතිවරණවලදී සේම පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ද ඒකාබද්ධ විපක්ෂයට ජාතික මැතිවරණයකින් බලය ඇල්ලීමට තරම් ප්‍රමාණවත් නොවීමයි. විශේෂයෙන් මුළු රටම එකම මැතිවරණ කොට්ඨාසයක් වන ජනාධිපතිවරණයකදී සුළුජන ඡන්දවලට ලැබෙන අසීමිත වටිනාකම ගැන එහිදී පොහොට්ටු පක්ෂය භීතියට පත්ව තිබෙන බවක් දැකිය හැකියි. 2010 දී මෙන් දැවැන්ත රාජ්‍ය බලයක් හා මර්දනයක් ද යෙදවිය නොහැකි අසීරු තත්ත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන පෞද්ගලික ජනප්රියභාවය මත යළිත් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කළ නොහැකි බව අවධාරණාත්මකව ප්‍රකාශ කළ හැකියි. උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෙටි කාලීන ආණ්ඩුව විසුරුවා හැර පැවැත් වූ 2004 අප්‍රේල් මහ මැතිවරණයෙන්ද ජයග්‍රහණය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට 2005 ජනාධිපතිවරණයේදී ලබාගත හැකි වූයේ එජාප අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සියයට 1.86ක් (ඡන්ද 180, 786) වැනි අතිශයින් දුර්වල ජයග්‍රහණයක් බව අප වටහා ගත යුතුයි.
මේ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දකුණේ බහුතරයක් ආසන හා දිස්ත්‍රික්ක ජයග්‍රහණය කර තිබුණත් එදා යම් ආකාරයකින් උතුරේ, යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ට (ආසන්න වශයෙන් ලක්ෂ 7ක් පමණ වූ) තම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමි වූයේ නම් මේ මැතිවරණයේ වැඩි ප්‍රතිශතයක් රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගන්නා බව සහතිකයි. මේ තත්ත්වය ම 2015 දී මනාව සනාථ වුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට යා හැකි උපරිම සීමාව ගැන ඉතාම පැහැදිලි තක්සේරුවක් ලැබුණා.
මේ තත්ත්වය තුළ සුළුජන ඡන්ද අහිමිව, අසීමිත රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් නැති හුදකලා තත්ත්වයක් තුළ සුළුජන පක්ෂ සහාය ලබන එජාපය සමඟ කරට කර සටනක් දිය නොහැකි බව පොහොට්ටුවේ ගණන් බැලීම වී ඇති බව පැහැදිලියි. අද පොහොට්ටු කල්ලිය ජනාධිපතිවරණය හමුවේ හොර ගල් අහුලන්නේ මේ භූ දේශපාලනික යථාර්ථය මැනවින් දන්නා නිසයි.
මහ මැතිවරණයක් ලබා ගැනීම
මිනී පෙට්ටියක් සමඟ නොමිලේ මල් මඩමක් ලබා දෙන බව කියන මල්ශාලා හිමියා සේ අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දඩමීමා කර ගනිමින් පොහොට්ටු කල්ලිය කඩිනම් මහ මැතිවරණයක් ඉල්ලා සිටින්නේ ඉහත සඳහන් කළ පරිදි ජනාධිපතිවරණයක් හමුවේ ලබන පරාජය නියත බව මනාව දන්නා නිසයි. ඒ වෙනුවට ඔවුන් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඊනියා ජයග්‍රහණය හමුවේ වල්මත් වී මහ මැතිවරණයක් ඉල්ලා සිටීම ගැන අප පුදුම විය යුතු නැහැ. ඒ සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සේම බන්දුල ගුණවර්ධන මහතා ද දක්වන පුදුමාකාර නොහැකියාව නිසයි. ඒ නිසා කඩිනම් මහ මැතිවරණයකින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙන් නිරපේක්ෂ ජයග්‍රහණයක් ලබාගත හැකි වෙතැයි සිතමින් බන්දුලලා ඉල්ලන මහ මැතිවරණය ලබාදීමට ආණ්ඩුව කිසිසේත් බිය නොවිය යුතුයි. ඒ සමඟ ආණ්ඩුව මැතිවරණ භීතියකින් නොපෙළෙන බව ජනතාව හමුවේ අවධාරණය කළ යුතුයි.
වැපිරූ අස්වැන්න නෙළා ගැනීමට පෙර
මේ අතර අපි තවත් සුවිශේෂ කරුණක් ගැන අවධානය යොමු කළ යුතුයි. යහපාලන ආණ්ඩුව පසුගිය තෙවසර පුරා මහත් සකසුරුවම්කමින් යුතුව වර්ධනය කළ ආර්ථික සංවර්ධනයේ අස්වැන්න නෙළා ගැනීමට ආණ්ඩුව සූදානමින් සිටියදී පොහොට්ටු කල්ලිය අනවශ්‍ය දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් එම අස්වැන්න සොරා කෑමට ගන්නා කූඨ උත්සාහය ගැනත් අපි මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතුයි. මන්ද අගමැතිවරයාම පසුගිය 18 වැනිදා මහනුවරදී ප්‍රකාශ කළ ආකාරයට ආණ්ඩුව පසුගිය කාලයේ මහත් කැපවීමෙන් ගොඩනැඟූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල සේම මනාව කළමනාකරණය කළ ආර්ථිකයේ ද ප්‍රතිඵල නෙළා ගැනීමට ඉදිරියේ දී අවස්ථාව උදාවෙනවා. ඒ හරහා ජනතාව පසුගිය කාලය තුළ කැප කිරීම්වලට ඵලදායී ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. රැකියා අවස්ථා නිර්මාණය වෙනවා.
මේ තත්ත්වය තුළ ආණ්ඩුවට සැලසුම් සහගතව 2020 ජනාධිපතිවරණයට පමණක් නොවෙයි ඉදිරි පළාත් පාලන මැතිවරණයට නොබියව ඉදිරිපත් විය හැකියි. අද බන්දුල ගුණවර්ධනලාට වුවමනා වී ඇත්තේ ආණ්ඩුව වැපිරූ අස්වැන්න නෙළා ගැනීමට පෙර අවස්ථාවාදීන්ට මුවාවී ආණ්ඩුව අර්බුදයකට ලක්කිරීමටයි. ආණ්ඩුව වැපිරූ දේ (2004 දී මෙන්ම) සොරා කෑමටයි. ජනතාව මේ අවස්ථාවාදීන්ගේ මේ උපාය මාර්ග මනාව තේරුම් ගත යුතුයි. එමෙන්ම යළි අවස්ථාවාදයේ අතකොළු නොවීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඉදිරිගාමී බලවේග වගබලා ගත යුතුයි. බන්දුල ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ කල්ලිය මේ බලන්නේ“ බලලුන් ලවා කොස් ඇට බා ගැනීමට” බව වටහා ගත යුතුයි.
සටහන –
භාතිය බරුකන්ද
දිනමිණ

