කළ දේ හා නොකී දේ – භාතිය බරුකන්ද
මහා දේශපාලන කුණාටුවක් හමාගෙන ගිහින් තාවකාලිකව ඇති වුණ මේ නිසංසල තත්ත්වය තුළ ආණ්ඩුව කළ කී දේ සහ රාජපක්ෂවරු ඇතුළු මාධ්‍ය සඟවන දේ ගැන විවේක බුද්ධියෙන් කල්පනා කිරීමට ජනතාවට අවස්ථාවක් ලබාදිය යුතුයි. එසේ වුණොත් තවදුරටත් රාජපක්ෂ තුරුළේ සැනසෙන ජනතාවට යථාර්ථය වටහා ගැනීමට අවස්ථාව උදාවිය හැකියි.
දේශපාලන වශයෙන් වගේම සමාජයීය වශයෙන් ද නිහඬ සමයක් ගත වෙමින් තිබෙනවා. ආණ්ඩුව පෙරැළීම, අාර්ථිකය බිඳ වැටීම, රට අරාජිකවීම වැනි පසුගිය කාලය තුළ ජනතාව නිරන්තරයෙන් පීඩනයට පත් කළ භීතින් වෙනුවට පසුගිය සති කිහිපය තුළ ජනතාව කණස්සල්ලට පත් වුණේ රට පුරා වේගයෙන් පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්රචණ්ඩ ක්‍රියා රැල්ල ගැනයි. සැලකිය යුතු හානියක් (ආර්ථික හා මානසික වශයෙන්) සිදුවීමෙන් පසුව ආණ්ඩුවට මේ ප්රචණ්ඩත්වය පාලනය කර ගැනීමට අවස්ථාව ලැබුණා. එසේ නොවුණා නම් තවත් අපකීර්තිමත් කළු ජූලියක නීරස අත්දැකීම්වල රස බැලීමට ලංකාවට සිදුවන බව සහතිකයි.
දේශපාලන හා ආර්ථික වශයෙන් පවතින මේ නිහඬ සමයේ ආණ්ඩුව ගැන, ආර්ථිකය ගැන, රාජ්‍ය පාලනය ගැන ඒකාබද්ධ විපක්ෂය ප්රමුඛ කල්ලිය විසින් ව්‍යාප්ත කළ මිත්‍යාවන් ගැන එසේ නොමැති නම් බිල්ලන් ගැන විමසීමක යෙදිය හැකියි.
ගොවි ජනතාවට කළ අසහාය මෙහෙවර
“අපි කළ වැඩ ගැන ජනතාවට හරියට සන්නිවේදනය වුණේ නැහැ” මේ පසුගිය කාලය පුරාම ආණ්ඩු පාර්ශ්වයෙන් කියවුණ ප්‍රකට කතාවක්. මේ කතාව ආණ්ඩුව පමණක් නොවෙයි ආණ්ඩුව දෙස විවේචනාත්මකව බලන පාර්ශ්ව පවා පිළිගන්නා එකක්. වත්මන් ආණ්ඩුව පසුගිය තෙවසරකට අධික කාලය තුළ රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ දැවැන්ත වැඩසටහන් පිළිබඳ තොරතුරු ජනතාවට නිසි පරිදි සන්නිවේදනය නොවීමේ ප්‍රතිවිපාක අපි පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් ඉතාම පැහැදිලිව දැක්කා.
උදාහරණයක් විදිහට ආණ්ඩුව, විශේෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ මේ රටේ ගොවි ජනතාවගේ දියුණුව, සුබසිද්ධිය වෙනුවෙන් සුවිශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඒ අතර සුවිශේෂ වුණේ මෙරට දැවැන්තම වාරියෝජනා ක්‍රමය වන මොරගහකන්ද ව්‍යාපාරයයි. ඒ මගින් සියවස් ගණනාවක සිට ජල හිඟයෙන් බැටකමින් සිටින රජරට ප්‍රදේශවලට අඛණ්ඩ වාරි ජල සැපයුමක් තහවුරු වුණා. ඒ අතර “පිබිදෙමු පොළොන්නරුව” වැනි ඍජුව ගොවිජනතාව ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් රජරට ප්‍රදේශවල වේගයෙන් පැතිර යමින් තිබෙන “මූලය හඳුනා නොගත් කාලික වකුගඩු රෝගය” පිටුදැකීම සඳහා සහ එම රෝගයට ගොදුරු වූවන්ගේ සුබසාධනය සඳහා ආණ්ඩුව දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහාම “වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකාය” නමින් ඉතා ශක්තිමත් ආයතනයක් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ වගේම මෙරට ගොවිජනතාවගේ සහ සාමාන්‍ය ජනතාවගේ දීර්ඝ කාලීන සුබසිද්ධිය ඉලක්ක කරගත් “වස විස නැති කෘෂිකර්මයක්” නම් සුවිශේෂ වැඩපිළිවෙළ ද පසුගිය කාලය තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ හරහා මෙරට ගොවිජනතාව ප්රතිලාභ ලබමින් ද සිටිනවා. ඒත් මේ කිසිවක් මේ ප්‍රදේශවල ජනතාවගේ විශේෂ ඇගයීමට ලක් වූ බවක් අපට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දකින්න නොහැකි වුණා. ඒ වෙනුවට රජරට ගොවිජනතාව ඊනියා පොහොට්ටු කල්ලිය විසින් නිර්මාණය කළ බිල්ලාගේ ගොදුරක් බවට පත් වුණා. මේ තත්ත්වය ඇති වුණේ රාජපක්ෂ කල්ලිය විසින් පසුගිය කාලය පුරා අඛණ්ඩව සමාජගත කරමින් සිටින මිත්‍යා ප්‍රබන්ධ නිසා බවට අපට පහසුවෙන් වටහා ගත හැකියි.
ප්රදර්ශනකාමී සංවර්ධනය වෙනුවට තිරසර සංවර්ධනය
“මේ ආණ්ඩුව කරන්නේ අපි හැදුව දේවල් විකුණා ගෙන කන එක” මේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම විසින් සමාජගත කරන තවත් ජනප්‍රිය මිත්‍යාවක්. ඇත්තටම රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ මොකක්ද ? ඒ ගැන ජනතාව දක්වන ප්‍රතිචාරය කුමක්ද ?
ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළහොත් පසුගිය ආණ්ඩුව තමන්ගේ ප්රමුඛ අවධානය යොමු කළේ හම්බන්තොට කේන්ද්‍රකර ගත් දැවැන්ත සංවර්ධනයකට පමණයි. ඒ අනුව තමයි හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ කියන රාජපක්ෂ සංවර්ධනයේ උපරිමය බිහි වන්නේ. ඒත් ඇත්තටම මේ දැවැන්ත ව්‍යාපෘති දෙක රටට උරුම කර දුන්නේ මොනවද කියලා මේ රටේ සාමාන්‍ය ජනතාව අතර අදහසක් තිබෙනවාද ? මේ ලේඛකයාගේ අදහස අනුව නම් නැහැ. හම්බන්තොට වරායට මංගල දියවර පිරවූ දා එය නැරඹීමට ගොස් ලුණු වතුර බෝතලයක් රැගෙන විත් අල්මාරියේ තියා ගත්ත රාජපක්ෂවාදීන්ට අදත් හම්බන්තොට වරාය ගැන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒත්තු ගැන්වූ අදහසමයි. මේ වරාය, ගුවන්තොටුපොළ හරහා රටේ ආර්ථිකය මකර කටට ගෙන ගිය ආකාරය ගැන අවබෝධයක් අදත් ඔවුන්ට නැහැ. ඒ නිසා “මහින්ද මහත්තයා හැදුව දේවල් රනිල් විකුණාගෙන කනවා” කියන ජනප්‍රිය කතාව මේ මොහොතේදීත් තිබෙනවා.
මේ තත්ත්වය හම්බන්තොට ඊනියා සංවර්ධනයට පමණක් සීමා වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාව උත්කර්ෂයට නංවන්නේ ඒ මහතා විසින් “කොළඹ ලස්සන කළ නිසා” බවයි. මේ රාජපක්ෂවාදීන් කියන්නේ ඇවිදින මංතීරු හදමින්, ආකේඩ් වැනි ස්ථාන ගොඩනගමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කොළඹ අලංකාර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව පිළිනොගැනීම දේශපාලන කුහකකමක්. ඒත් ප්රශ්නය වන්නේ මේ සංවර්ධනය රටට කොතරම් ඵලදායී වුණාද ? ජනතාවට කොතරම් ප්‍රතිඵල ලබා දුන්නාද ? යන්නයි. උදාහරණයක් ලෙස බොහෝ ප්‍රදේශවල ගොඩනැඟූ අැවිදින මංතීරු මේ රටේ පොදු ජනයාගේ භාවිතයෙන් තොර දෙයක් බව අපට පැහැදිලිව දැකිය හැකි වෙනවා. ඒ වගේම කොළඹ පාවෙන වෙළෙඳපොළ, ආකේඩ් වැනි ස්ථාන අද වෙන කොට තවත් සුදු අලියෙක් බවට පත්වෙලා තිබෙනවා.
රාජපක්ෂ ආණ්ඩුව විසින් මහත් ආදරයෙන් හදාවඩා ගත් මේ සුදු අලි වැඩක් ගත හැකි අලි බවට පත්කර ගැනීම කෙරෙහි තමයි පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ දැඩි අවධානය යොමු වුණේ. හම්බන්තොට වරාය මෙහෙයුම් ආණ්ඩුව සහ චීන සමාගම අතර හවුල්කාරිත්වය (රාජ්‍ය – පෞද්ගලික) ක්‍රමවේදයක් අනුව සිදු කිරීම ඒ සඳහා ආණ්ඩුව ගත් ප්‍රශස්තම පියවරයි. එහෙත් මේ ගැන මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ පිරිස වෙතින් එල්ල වූ දැඩි විරෝධය හා බාධාකිරීම් නිමක් නැත. ඔවුන් අඛණ්ඩව උත්සාහ කළේ ආණ්ඩුවේ මේ සංවර්ධනය සැලසුම කඩාකප්පල් කරමින් ආණ්ඩුව අර්බුදයකට යැවීමටයි.
මේ සමඟ අපි ආණ්ඩුව විසින් පසුගිය තෙවසරක කාලය තුළ රටේ තිරසර සංවර්ධනය වෙනුවෙන් ගත් සාධනීය පියවර ගැන අපේ අවධානය යොමු කළ යුතුයි.
මෙහිදී සුවිශේෂ ප්‍රවේශයක් වශයෙන් අපට හඳුනා ගත හැකි වන්නේ ජනතාවට වඩාත් උපයෝගී, ආර්ථික කාර්යයන් සමඟ ඍජුව බද්ධ වන මාර්ග සංවර්ධනය කෙරෙහි ආණ්ඩුව මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළයි. විශේෂයෙන් රාජගිරිය ගුවන් පාලම, පොල්ගහවෙල හා එඬේරමුල්ල ගුවන් පාලම් මේ අතරින් ප්රමුඛයි. මෙහිදී අපි අවධානයට ගත යුතු කරුණ වන්නේ හම්බන්තොට නගරයේ පමණක් ගුවන් පාලම් 40ක් ඉදිකළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තම දස වසර තුළ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මාර්ග සංවර්ධනය සඳහා කිසිදු ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකළ බවයි.
මේ අතර වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන මධ්‍යම අධිවේගී මාර්ගය, මෙගා පොලිස් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගැන එකදු වචනයක් (නිශේධනීය හෝ) නොකියන ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රාජපක්ෂවාදී ජනමාධ්‍ය දිගින් දිගටම අවධාරණය කරමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව යටතේ රාජපක්ෂ යුගයේ මෙන් ජනතාවට දැනෙන ආකාරයේ කිසිදු සංවර්ධනයක් සිදු නොවන බවයි. ජනතාව විසින්, විශේෂයෙන් ආණ්ඩුව විසින් මේ ඍණාත්මක තත්ත්වය මනාව හඳුනාගත යුතුයි. මන්ද මේ සියලු මතවාද සමාජගත කිරීම්වල අවසාන ප්‍රතිඵලය වන්නේ ජනතාව ආණ්ඩුව වෙතින් ඉවත් කිරීම නිසයි. මේ ඍණාත්මක තත්ත්වය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මනාව ප්‍රදර්ශන වූ බව ද අප විසින් අමතක නොකළ යුතුයි.
ග්‍රාමීය ජනතාව ඉලක්ක කරගත් සංවර්ධනය
“මේ ආණ්ඩුවෙන් ගමේ මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැ” මේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට ගමේ බලය ඉල්ලා සිටීමට ඉදිරිපත් කළ තවත් ප්‍රවාදයක්.
ඇත්තටම මේ ආණ්ඩුව ගමේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ආකාරයක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැද්ද ? මේ ප්රශ්නය කාට වුණත් ඇතිවිය හැකියි. ඊට හේතුව වන්නේ තම දේශපාලන හෙංචයියන්ගේ සාක්කු පුරවපු “ගම නැඟුම, මඟ නැඟුම, පුර නැඟුම” වැනි ප්රදර්ශනකාමී වැඩ මේ වන විට සම්පූර්ණයෙන් නතර කර ඇති නිසයි. ඒත් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ඉතාම ශක්තිමත් හා ඵලදායී සංවර්ධන වැඩපිළිවෙළක් මේ වන විට රටපුරා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ග්‍රාමීය වැව් 2300ක් ප්‍රතිසංස්කරණය කිරීම, පිබිදෙමු පොළොන්නරුව වැනි ව්‍යාපෘති සේම “වයඹ ඇළ” වැනි වාරි සංවර්ධන ව්‍යාපෘති හරහා ක්‍රියාත්මක වෙන්නේ ඉතාම පැහැදිලිව ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘතියි.
මේ අතර ග්‍රාමීය ජනතාවගේ සුබසිද්ධිය සඳහා වඩාත් ඵලදායී වැඩපිළිවෙළක් පසුගිය තෙවසර තුළ වැඩි ප්‍රසිද්ධියකින් තොරව රටපුරා ක්‍රියාත්මක වුණා. නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් රටපුරා ක්‍රියාත්මක කර ඇති නිවාස සංවර්ධන වැඩසටහනයි. පසුගිය පාලනය විසින් සම්පූර්ණයෙන් නොසලකා හැර තිබූ ග්‍රාමීය ජනතාවගේ නිවාස ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීම මේ මගින් අපේක්ෂා කරනවා.
විරැකියාව ජය ගැනීම
“රටේ විරැකියාව වැඩි වෙලා. කොල්ලන්ට රස්සා නැහැ” මේ චෝදනාව කරන්නේ කොන්ක්‍රීට් සංවර්ධනය ගැන මිස රටේ තිරසර සංවර්ධනය ගැන කිසිදු අවධානයක් යොමු නොකළ හිටපු පාලකයෝ. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අහිමිකර ගනිමින්, විදේශ ආයෝජන නොලබමින් ගත කළ පාලන සමය ගැන කිසිදු පාපොච්චාරණයක් සිදු නොකරන හිටපු පාලක කල්ලිය දැන් ජනතාව අතර අවධාරණය කරමින් සිටින්නේ වත්මන් පාලනය තුළ රටේ විරැකියාව වේගයෙන් වර්ධනය වන බවයි. රැකියා දස ලක්ෂයේ ඉලක්කය ජය ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ සියලු සැලසුම් පුස්සක් බවට පත් වෙමින් තිබෙන බවයි.
ඒත් ඇත්තටම රටේ සිදුවෙමින් පවතින්නේ මේ ක්රියාවලියද ? උත්තරය ඉතාම පැහැදිලියි. පරාජිත කල්ලිය විසින් වපුරන මිත්‍යාවට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයේ තත්ත්වයක් රටේ සිදුවෙමින් තිබෙනවා. ඒ ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින විදේශ ආයෝජන හරහා, විශේෂයෙන් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය, කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාවය හරහා නව කර්මාන්ත හා රැකියා අවස්ථා බිහිවීමයි. මේ අතර සංචාරක ව්‍යාපාරය තුළ සිදුවෙමින් තිබෙන වේගවත් වර්ධනය රැකියා බිහි කිරීමට ප්‍රබල උත්තේජනයක් ලබා දෙමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුව සැලසුම් කළ ආකාරයේ දැවැන්ත කර්මාන්ත ව්‍යාපෘති මේ වන විට මේ භූමිය තුළ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාප බල ප්‍රදේශයේ මේ වන විට ඉදිකරමින් තිබෙන ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව දැක්විය හැකියි. මෙහිදී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා හෙළි කරන්නේ පසුගිය තෙවසර තුළ රටේ අලුත් රැකියා අවස්ථා ලක්ෂ 5ක් පමණ අලුතින් බිහිවී ඇති බවයි. මේ අතර තවත් රැකියා අවස්ථා ලක්ෂ තුනකට පමණ ශ්‍රමිකයන් නොමැතිවීමේ අභියෝගයකුත් රට හමුවේ පවතිනවා. විශේෂයෙන් ඉදිකිරීම් අංශය තුළ සිදුවන වේගවත් සංවර්ධනයට සමගාමීම ඒ සඳහා වන ශ්‍රමිකයන්ගේ එක්වීම පිළිබඳ බරපතළ අර්බුදයක් රටේ තිබෙනවා.
ජීවත් වෙන්න බැහැ කියන්නේ ඇත්තද?
හාල් සේරුව, පාන් ගෙඩිය හා පොල් බෑයට ලංකාවේ ආණ්ඩු පෙරළන්න තිබෙන හැකියාව ගැන මේ මොහොතේත් සැකයක් නැහැ. අපි පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේදීත් මේ “පොල් බෑයේ දේශපාලනය” සිදුවන ආකාරයට අපූරුවට දැක්කා. එදා මේ පොල් බෑයේ දේශපාලනය කරමින් පොහොට්ටු කල්ලිය ජනතාව හමුවේ අවධාරණය කළේ “ජනතාවට එදාවේල සොයා ගන්න බැරි තරමට” රට ආර්ථික අර්බුදයකට ගමන් කර ඇති බවයි. “ළමයි බඩගින්නට කෝවක්කා කාගා මැරෙන තරමට රට බංකලොත් වෙලා” යැයි විමල් වීරවංශ වේදිකාවක් වේදිකාවක් ගානේ කියමින් ගියේ මේ නිසයි.
ඒත් රාජපක්ෂ කල්ලිය හා රාජපක්ෂවාදී ජනමාධ්‍ය විසින් වසං කළ සැබෑ තත්ත්වය වුයේ ආණ්ඩුව අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා තම උපරිම උත්හාසය හා කැපවීම දැක් වූ බවයි. ඒ මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කර ගනිමින් ජනතාවට දරාගත හැකි ආකාරයට පවත්වා ගෙන යාමට හැකියාව ලැබුණු බවයි. මේ තත්ත්වය තුළ කාලයක් පුරා පැවැති දැඩි නියං තත්ත්වයේ හමුවේ ඉහළ ගිය දේශීය සහල් සහ පොල් මිල මගින් සිදුවන බලපෑම පාලනය කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. මේ තත්ත්වය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන මගින් ද තහවුරු වුණා.
මෙහිදී අපි තවත් කරුණක් දෙස අවධානය යොමු කළ යුතුයි. ඒ වත්මන් ආණ්ඩුවේ “දින සියයේ වැඩසටහන” මගින් පහත දමන ලද ඛනිජ තෙල්, ගෑස්, බස් ගාස්තු ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් එකී අගයන් තුළම ස්ථාවරව පවත්වා ගෙන යාමට ආණ්ඩුව සමත් වූ බවයි. මේ අතර පසුගිය කාලය තුළ අහස උසට නැඟ තිබූ අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල ගණන් විශාල වශයෙන් පහළ දැමීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඒත් මාධ්‍ය විසින් සහ අහේතුවකට ආණ්ඩුව විසින් මේ ධනාත්මක ප්රවණතා ජනතාව හමුවට ගෙන ගියේ නැහැ. එහිදී සිදු වුණේ නිවැරදි තොරතුරු නොලබන ජනතාව රාජපක්ෂ කල්ලියේ ගොදුරු බවට පත්වීමයි.
දේශීය හා විදේශීය ජයග්‍රහණ
“රට දෙකඩ කරනවා” “රට බටහිර කොළනියක් කරනවා” “දිනාගත් මාතෘ භූමිය පාවා දෙනවා” පසුගිය දිනවල රට දෙවනත් කරමින් කී මේ කතා මේ දිනවල රාජපක්ෂ කල්ලියේ හමස් පෙට්ටියේ තබා ගෙන සිටියත් ඉදිරි පළාත් සභා මැතිවරණය සමඟ මේ බිල්ලා වහාම එළියට ගන්න බව අපි අත්දැකීමෙන් දන්නවා. ඒ ඊනියා දේශප්‍රේමී බිල්ලා ගෙනත් තොර පැවැත්මක් මේ කල්ලියට නොමැති නිසයි. රට ආපස්සට ගෙන යමින් පසුගිය දිනවල මෙරට මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වුණ ප්රචණ්ඩ රැල්ල මෙහි එක් අවතාරයක් පමණයි.
ඒත් ප්රශ්නය වන්නේ මේ කල්ලිය පසුගිය දශකය තුළ අඛණ්ඩව වමරා කෑ මේ කතාවලට තවමත් රටේ ඉල්ලුමක් තිබීමයි. දමිළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඉතාම පැහැදිලිව හෙළි කළ ආකාරයට මේ ජාතිවාදී, ආගම්වාදී බිල්ලා තවදුරටත් සමාජය තුළ නිදැල්ලේ හැසිරීම ජාතික සංහිඳියාවට සේම ආණ්ඩුවේ පැවැත්මටත් යහපත් නැහැ.
වත්මන් ආණ්ඩුව බටහිර රටවල ගුබ්බෑයමක් වනු වෙනුවට අපි මේ වන විට දකින්නේ රට වේගයෙන් ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්පත් කොට ගනිමින් සිටින බවයි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන කෘතහස්ත නායකත්වය විශේෂ ඇගයීමට ලක්විය යුතුයි.
පසුගියදා රජය විසින් මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය සඳහා ප්රවේශවීම අත්හිටුවීමට ගත් තීරණය මේ ඊනියා මාධ්යප්රේමීන්ගේ දැඩි විවේචනයට හේතු වෙලා තිබෙනවා. මහා මාධ්‍ය මර්දනයක් ගැන ඔවුන් අද කිඹුල් කඳුළු හෙළනවා. ඒත් අපි මේ කල්ලිය රට පාලනය කළ යුගයේ මාධ්‍ය මර්දනයේ උපරිමය වගේම මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයට දැඩි සීමා කිරීම් පනවන ආකාරය දැක්කා. ඒ අතර ලංකා ඊ නිවුස් ඇතුළු අන්තර්ජාල අඩවි රැසක් වාරණය කළා. අන්තර්ජාල මාධ්‍ය ලියාපදිංචි කළ යුතු බවට නියෝග පැනෙව්වා. ඒත් අද එවැනි තත්ත්වයක් නැහැ. ජාතිවාදී ගින්න ඇවිළු නව මාධ්‍ය තාවකාලිකව පාලනය ගැන සාධනීය තත්ත්වයක් බොහෝ දෙනකු අතර තිබෙනවා.
මහා දේශපාලන කුණාටුවක් හමාගෙන ගිහින් තාවකාලිකව ඇති වුණ මේ නිසංසල තත්ත්වය තුළ ආණ්ඩුව කළ කී දේ සහ රාජපක්ෂවරු ඇතුළු මාධ්‍ය සඟවන දේ ගැන විවේක බුද්ධියෙන් කල්පනා කිරීමට ජනතාවට අවස්ථාවක් ලබාදිය යුතුයි. එසේ වුණොත් තවදුරටත් රාජපක්ෂ තුරුළේ සැනසෙන ජනතාවට යථාර්ථය වටහා ගැනීමට අවස්ථාව උදාවිය හැකියි.

