ජාතික ආණ්ඩුවක් යන වචනයට මා එකඟ නෑ. බලකේන්ද්‍ර 3නේ උවමනාවන් අතර පරතරය විශාලයි.
රට ඉදිරියේ ඇති මුලික ප්‍රශ්න, එනම් ප්රජාතන්ත්රවාදය, ජාතික ගැටළුව සහ ආර්ථික ප්රශ්නය විසද ගැනීමට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. තවත් විටෙක එය සම්මුතිවාදි ආණ්ඩුවක් ලෙස ද හැඳින්වේ. ඒ කෙසේ නමුත් ජාතික ආණ්ඩුවක් යන වචනයට මා එකඟ වන්නේ නැත. එයට යම් වටිනාකමක් ලැබෙන්නට නම් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ එකඟත්වය එයට අවශ්‍ය ය. ලංකාවේ දේශපාලන ක්ෂේත්රය පාලනය කරන මධ්‍යස්ථාන 4ක් ඇත. මේ මධ්‍යස්ථාන 4 කිසියම් හෝ එකඟතාවයක් ඇතිකරගන්නේ නම් පමණයි සීමිත අර්ථයෙන් හෝ මෙය ජාතික ආණ්ඩුවක් වන්නේ. සිදුවීමට ඉඩ ඇත්තේ සන්ධානයේ පිරිසක් පැමිණ ඇමති තනතුරු ලබාගැනීම ය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් ඇතිවීමට පුළුවන. විමල් වීරවංශ, වාසුදේව සහ දිනේශ් ගුණවර්ධන ඇතුළු මහින්දවාදී පිරිසට රාජපක්ෂට තරම්වත් මේ සමඟ එකඟවන්නට නොහැක. ඒ අය මේ තුළ කිසියම් අර්බුදයකට ගමන්කරනු ඇත. සාමාන්‍ය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ආණ්ඩු බලය සමඟ සිටීමට කැමතිවනු ඇත. ජනවාරි 8 පසු මහ මැතිවරණය වෙනතුරු තව අවස්ථාවක් තිබෙන බවට වූ අපේක්ෂාවක් තිබුණි. එය අවසන් වූ පසු තව වසර ගනනාවක් බලාගෙන සිටිමට දේශපාලන ප්‍රභූන් මේ කාලයේ එතරම් කැමති නැත. ආරක්ෂිත මාර්ගයක් සකස්කර ගෙන මේ පැත්තට ඒමට ඒ අය වඩාත් කැමති වනු ඇත.
කෙසේ නමුත් බල තරඟයේ දී මේ රටේ පවතින දේශපාලන කඳවුරුවල හැසිරීම කෙසේ සිදුවේ ද යන්න තේරුම් ගැනීමට පසුගිය මැතිවරණය උපයෝගිකර ගත හැක. ජයග්‍රහණය සහ පරාජයට ඒ ඒ කඳවුරුවල දේශපාලන හැසීරීමට බල පෑ ආකාරයට අමතරව එවායේ ඉදිරි ප්රවනතාවයන් පිළිබඳව දළ වශයෙන් සාකච්ඡා කිරීමට පුළුවන.
මැතිවරණ ප්‍රතිඵල දෙස බලන විට වැදගත් ප්රවනතාවයන් ගනනාවක් දක්නට ලැබේ. රාජපක්ෂ ක්‍රමය මෙයින් එකකි. රාජපක්ෂ පරාජය වූයේ වී නමුත් රාජපක්ෂ ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වී නැත. මැතිවරණ දෙකක දී පරාජය වී සිටින්නේ වී නමුත් දකුණේ සිටින ආකර්ෂණිය ම නායකයා වන්නේ ඔහු ය. සාමාන්‍යයෙන් පරාජයට පත්වූ පසු කළ වැරදී හා නොපනත්කම් පිළිබඳව ජනතාව අතර මතයක් තිබුණාට, රාජපක්ෂ කඳවුරට අවම තරමේ ආපසු හැරී බැලීමක්වත් නැත. සංසන්දනයක් කළහොත්, ඔවුන් අතර තදබල ස්වයං විවේචනයක් නැති නමුත්, ජේ. ආර්ගේ කාලයේ දී එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම ගැන ඔවුන් අතර විවේචනාත්මක ප්‍රවේශයක් තිබේ. වෙනත් ආකාරයට පවසන්නේ නම් ඒ පැරණි ක්‍රියාවන් වෙනුවෙන් එජාපය පෙනී සිටින්නේ නැත. ජවිපේ විවේචකයින්ට කැමති තරම් ඔවුන් විවේචනය නොකරගන්න බව සත්‍යයක් වන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ද 90ට පෙර ක්‍රියාවන් ගැන ඒ අයට තක්සේරුවක් ඇත. එසේ නත්නම් ඔවුන්ට එය අතීතයට අයත් කොටසකි.
නමුත් රාජපක්ෂලා එසේ කරන්නේ නැත. අපි දන්නා ආකාරයට එජාපය සෑහෙන කාලයක් බලය නැතිව සිටියේ ය. ඒ කාලය තුළ ඒ අය යම්කිසි ආකාරයකට තමාව වෙනස් කරගත්තේ ය. යමෙකුට සම්පූර්ණයෙන්ම එය එසේ නොවේ යැයි ප්‍රතික්ෂේප කළ හැක. එහි ද ඇත්තක් තිබේ. මක් නිසා ද කිසිම දේශපාලන ව්‍යාපාරයක් ඒ ආකාරයටම වෙනස් වෙන්නේ නැති නිසා ය. මා පවසන්නේ කාලයක් පුරාවට බලය අහිමි ව සිට කිසියම් ප්‍රමාණයකට අළුත් තත්ත්වයන්ට ඒ අය හැඩගැසී ඇති බව ය.
94 දී පොදු පෙරමුණත් සමඟ සිටි පක්ෂවලට අයත් නැති බලවේග සියල්ලම පාහේ තමන් සමඟ එක්කර ගැනීමට රනිල් වික්‍රමසිංහ නැත්නම් එජාපයට හැකි විය. එජාපයේ කිසියම් පරිවර්තනයක් සිදු වී ඇති බව මෙයින් පෙන්නුම් කෙරේ. ඇතැම් සිදුවීම් පෙන්වා දෙමින් මේ ගැන ප්‍රශ්න මතු කළ හැකි නමුත් මා මේ පවසන්නේ පාරිශූද්ධත්වයට පත්වීමක් නොව සාමාන්‍ය පරිවර්තනයක් වූ බව පමණි.
නමුත් එක්සත් ජනතා නිදහස් සංධානය මෙහි අනික් පැත්ත නියෝජනය කෙරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වූයේ මධ්‍යස්ථ ජාතිකවාදී පක්ෂයක් ලෙසට ය. සුළු ජන කොටස්වලට එහි කිසියම් ආයාචනයක් තිබුණි. සිංහළ ජාතිකවාදි බලවේග සමඟ ඉතා සමීප ව ක්‍රියාකරන කාලයේ දී පවා එයට සාමාන්‍ය 40%ක පමණ දෙමළ ඡන්ද පදනමක් තිබුණි. 94 චන්ද්‍රිකාගේ කාලයේ එය 80වක් පමණ ඉහළ අගයක් ගන්නට ඇත. පසුව එය අඩු වූ නමුත් 40% මට්ටමේවත් පැවතුන බව පෙනේ. නමුත් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ලබාගැනීම, එසේ නැත්නම් දැඩි සිංහළවාදි බලවේගය ශ්රිලපනිපයේ කේන්ද්‍රයට පැමිණිමත් සමඟ ඒ සුළු ජාතික ඡන්ද පදනම සිඝ්රලෙස සේදි ගියේ ය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිබරල් අගයන් වන ප්රජාතන්ත්රවාදී අයිතීන් කෙරෙහි දැක් වූ නැඹුරුව අතහැර දැමීය. මහින්ද රාජපක්ෂ ද ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ දී ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිට සිය දේශපාලන පෞර්ශය ගොඩනගාගත් අයෙක් බව ද අපි දනිමු.
නමුත් රාජපක්ෂ, නායකයා වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු අර ප්‍රති රූපය සම්පූර්ණයෙන්ම වෙනස් වූවා පමණක් නොව ජාතිකවාදයේ එක්තරා පිටපතක් එම පක්ෂයේ ප්‍රධාන කේන්ද්‍රය බවට පත්විය. වෙනත් ආකාරයට පවසන්නේ නම් 19වන ශතවර්ෂයේ මතු වූ අර සිංහළ බෞද්ධ ජාතිකවාදය යටතේ ගොඩනැගුනු මනස්තුෂ්ඨියේ සෘජු ප්රකාශනයක් බවට එය පත්විය.
අතුරු කථාවකින් මෙය පැහැදිළි කරගන්නේ නම් ලංකාවේ දේශපාලන කථිකාවලට ප්‍රධාන මූල ධර්ම තුනක් තිබේ. එකක් වන්නේ ජාතිකවාදයයි. අනික ප්රජාතන්ත්රවාදය, මානවහිමිකම් වැනි දේ ඇතුලත් ලිබරල්වාදය වේ. අනික තමයි ඔය වම කථාකරන සමාජ සමාජ සාධාරණය වැනි අංග ඇතුලත් සමාජ ප්රජාතන්ත්රවාදය. මෙය සුපිරි ආකාර බෙදීමක් නොවන බව ද සිතාගත යුතු ය.
මේ කථිකාවන් 3න් ජාතිකවාදය තමයි මෙතන තිබෙන ගැටළු සහගත කථිකාව. මක්නිසා ද යත් එය යෝජනා කරන්නේ කිසියම් කොටසක අනන්‍යතාවයක් පදනම් වූ දේශපාලනයකි. ලිබරල්වාදය සහ සමාජ ප්රජාතන්ත්රවාදය යන ඒවා සාර්වික දේවල් ලෙස සැළකිය හැක. ඒ අය පොදු මානව වර්ගයාට මිසක් ස්ථිර සාමුහික අන්‍යතා කණ්ඩායමකට ආමන්ත්‍රණය කරන්නේ නැත. නමුත් ජාතිකවාදය එසේ නොවේ. සමාජයේ සිටින වාර්ගික ආගමික කණ්ඩායම් වලටයි එය ආමන්ත්‍රණය කරන්නේ. මෙහි බරපතල සීමාවන් ඇත. බණ්ඩාරනායක පවා එය අවබෝධකරගෙන තිබුණි. ඔහු ජාතිකවායත් සමඟ සම්බන්ධයක් තිබුණේ වී නමුත් එහි සීමාවක් ඇතිබවට වූ අවබෝධයක් ඇතිවයි පසු වූයේ.
නමුත් මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ජාතිවාදයට සේන්දු විය. රාජපක්ෂයේ සාර්ථකත්වය මෙන් ම අසාර්ථකත්වය ඇත්තේ ද ඒ තුළ ය. ඒ අනුව එම අන්ත ජාතිකවාදයෙන් ගැලවීමට ඇති නොහැකියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන අර්බුධය ලෙස තේරුම්ගත යුතු ය. රාජපක්ෂවාදය ශ්‍රීලනිපයේ දැන් පිළිකාවක් ලෙස ඔඩුදුවා ඇත. රාජපක්ෂගෙන් පරිබාහිරව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පරිකල්පනය කළ නොහැක. බණ්ඩාරනායකලාගෙන් බාහිරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතන්නට නොහැකිය යන අදහස් කාලයක තිබුණි. නමුත් බණ්ඩාරනායකලා නැතිව ශ්‍රී ලංකා නිදහස්පක්ෂයට හිතන්නට පුළුවන් බව පසුව ඔප්පුකර ඇත. නමුත් විශේෂයෙන් රාජපක්ෂලාගෙන් පිටත එසේ කළ නොහැකි බවකුයි දැන් පෙනෙන්නේ. මහින්ද සමග නැගිටිමු කියන සටන් පාඨය ගත්තත් එය මනාව පැහැදිළි වේ.
ඒ නිසා ම විවේචනාත්මකව ආපසු හැරී බලන්නට ඒ අයට ඇති හැකියාව ද අහිමි කර ඇත. ආපසු නොහැරී බැලිමට ඒ අයට ඇති උපකාරයක් තමයි දකුණේ යම්කිසි ආකර්ෂණයක් රාජපක්ෂලාට තිබීම. ඒක සැළකිල්ලට ලක්විය යුතු දෙයක් වන අතරම එය දුර්වල වෙමින් තියෙන දෙයක් බව ද තේරුම්ගත යුතු ය. මැතිවරණ පදනම් ගත්තත් ඒ බව මනාවට පැහැදිළි ය. මුලදී සුළු ජනවර්ග ඒ අයට සම්පූර්ණයෙන්ම අහිමි විය. නමුත් එයට හිලව්වන්නට යුධ ජයග්‍රහණයත් සමග දකුණේ ඒ අයගේ ඡන්ද පදනම වැඩුණි. නමුත් බොදු බලසේනා සංසිද්ධිය නිසා මුස්ලිම් පමණක් නොව දෙමළ, ක්‍රිස්තියානි ඡන්ද පදනම ද බිඳ වැටුණි. එපමණක්ම නොව සිංහළ බෞද්ධ කොට්ඨාශ වලින් ද පතුරු ගැලවෙන ප්රවනතාවයක් පෙනෙන්නට ඇත. තවමත් පවතින් නේ එම පතුරු ගැලවීමේ ප්රවනතාවය වේ. මොනරාගල සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ද මෙය දක්නට පුළුවන. සම්ප්‍රදායික ශ්‍රීලනිප බලකොටු වල ද මේ තත්ත්වය වෙනස් නැත. දැන් ඉතින් බලය නැති තත්ත්වයක් තුළ ඒ බලය වර්ධනය කර ගැනීමට හැකි වේ යැයි සිතන්තට නොහැක. ඉදිරි පලාත් පාලන මැතිවරණ වලදී මෙයද ඛාදනය වෙන්නට නියමිත ය. මේ මැතිවරණයේ එක් සාධකයක් වන්නේ එයයි.
එජාපය ගතහොත්, මේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම එජාපයේ ම ජයග්‍රහණයක් යැයි කිව නොහැක. සාමාන්‍යයෙන් 1977 ජේ. ආර්. ගේ ජයග්‍රහණය බැලූවොත්, එය සමගි පෙරමුණු ආණ්ඩුවේ පරාජයක් පමණක් නොව ජේ. ආර්ගේ ජයග්‍රහණයකි. ඒ කාලයට සාපේක්ෂව වෙනස් ආර්ථික චින්තනයක් තමයි එතන ජයග්‍රහණය කළේ. නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයට පදනමක් ඇති ප්‍රදේශවල එම පක්ෂයේ ජයක් වූවාට පොදුවේ එම පක්ෂයේ ම ජයග්‍රහණයක් යැයි කිව නොහැක. ඒ අනුව මෙය පොදුවේ ගත් කළ රාජපක්ෂගේ ව්‍යපෘතියට එරෙහිව මතු වූ ව්‍යාපාරයක ජයග්‍රහණයක් ලෙස තේරුම් ගැනීමේ වරදක් නැත. මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඉදිරිපත් වූ අදහස් ගත්කළ සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂ චින්තනයේ පරස්පර දේවල් ය. සාමාන්‍යයෙන් නව ලිබරල්වාදය ලෙස හඳුන්වන දේවලට විරුද්ධ අදහස් තමයි මෙතන දි ඉදිරියට පැමිණියේ. ප්රජාතන්ත්රවාදය පිළිබඳ අදහස් ද, යහපත් ආණ්ඩුකරණය වැනි, 1980 ගනන්වල ජේ. ආර්. ජයවර්ධන අත්හදා බැලූදේට ප්‍රතිවිරුද්ධ ය. මෙය කිසියම් ප්‍රමාණයකට මහින්ද ගේ පළමුවර ජයග්‍රහණය සමඟ සංසන්දනය කළ හැක. එම මැතිවරණයේ දී ද ජයග්‍රහණය කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටේ ගොණු වූ සිංහළ බෞද්ධ ජාතිකවාදි සිවිල් සමාජයේ ජයග්‍රහණයක් ලෙස එය හැඳින්විමට පුළුවන. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයත් යහපාලනවාදි සිවිල් සමාජය (එන්ජී ඕ නොව ) ජයග්‍රහණයක් ලෙස නම්කල හැක. මෙතන එජාපයේ සමාජ ආර්ථික ප්‍රතිපත්තියට කැමති මෙන්ම අකැමැති යන දෙපිරිසම සිටිති.
දැනට මේ සම්බන්ධය මෙසේ තිබෙන්නේ වී නමුත් මෙය බිඳෙන සුළු එකක් බව ද තේරුම්ගත යුතු ය. මහබැංකු මුදල් ගණුදෙනුව සහ සමහර දේශපාලන චරිත නිසා ඉරිතැලීම් ද සිදු වූ බව අපි දනිමු. ඉදිරියේ දී මේ අය අනුගමනය කරන්නට නියමිත ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ ආතතිය තවදුරටත් වැඩිවීමට ඉඩ තිබේ. ඒ නිසා ඉදිරියේ දි විමසිල්ලෙන් බලා සිටිය යුතු තත්ත්වයක් එතන ඇත.
ජනතා විමුක්ති පෙරමුණට මෙයට වඩා ආසන ප්‍රමාණයක් ලැබේ යැයි මා ඇතුළු විශාල පිරිසක් කල්පනා කළේ ය. නමුත් ජනතා විමුක්ති පෙරමුණට පසුගිය කාලයේ ගොඩ නැගුණු ප්‍රසාදය මේ ප්‍රතිඵලයෙන් පිළිඹිඹු වන්නේ නැත. එයට හේතුව වන්නේ දේශපාලන වශයෙන් ක්‍රියාකාරිව දේශපාලනය ගැන කථාකරන පිරිස් අතරේ රාජපක්ෂ නැවත පැමිණිය හැකි බවට අදහසක් තිබුණි. ඒ නිසා ජවිපේ ඡන්ද කෙරෙහි හේතුවක් සහිත වූ ඒ සිතුවිල්ල බලපෑවේ ය. ඊට වඩා වැදගත් දෙයක් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නිරික්ෂණය කළ හැක. ජනතා විමුක්ති පෙරමුණ සීඝ්‍ර වශයෙන් නාගරික ජනතාව ගේ පක්ෂයක් බවට පත්වෙමින් ඇති බව මේ මැතිවරණයෙන් තහවුරු වී ඇත. නමුත් ජවිපේ දැක්ම ගතහොත් සමාන්යයෙක් ග්‍රාමීය පක්ෂපාති ප්‍රවේශයක් තමයි තිබෙන්නේ. මේ අතර අපිට පෙනෙනවා, ග්‍රාමීය ප්‍රදේශවල ඒ අයගේ පදනම් එක්කෝ වියැකී නැත්නම් අඩුවෙමින් තිබෙන බව. ගම්බද තරුණ ආකර්ෂණය ලබන පක්ෂයකට වඩා මැදිවියේ පක්ෂයක් බවට එය පත්වෙමින් ඇත. එහි බොහෝවිට සිටින්නේ මූලික වශයෙන් 1980ගනන්වල අග පක්ෂයට බැඳි දේශපාලණිකරණයට ලක් වී ප්‍රභූ අනන්‍යතාවයක් රූපාන්තරණය වූ පිරිසකි. එය රස්තියාදුකාර ප්‍රභූ පන්තියට වෙනස් වැදගත් යැයි සැලකෙන පිරිසකි. ප්‍රධාන පක්ෂ දෙකේ කටයුතු සහ සමාජයේ ඇති වූ වෙනස්කම් නිසා සිදුවූ දේශපාලන නොපනත්කම් හේතු කොටගෙන ඇති වූ මධ්‍යම පංතිය තුළ ඇති වූ කලකිරීම මෙම පිරිස තුළින් ප්රක්ෂේපණය වේ. මේ කළ කිරීම ඇතුලේ ඒ අයට ජවිපේ අය පෙනෙන්නේ සාන්තුවරයින් ලෙසට ය. අල්පේච්ච හා ශිස්ඨ සම්පන්න මෙන්ම සංවරව හැසිරීම තුළ නාගරික මැද පංතියේ දේශපාලන පන්සලක් බවට ජවිපෙය පත් වී ඇති සේයකි. අප පන්සල් යන්නේ අප කරන නොයෙකුත් පව් වැඩවලින් මනස නිදහස් කරගැනීමට ය. වෙනත් ආකාරයට කියන්නේ නම් අපේ ජීවිතයේ අස්ලීලි පැති නිසා ඇතිවන කාංසාව සහ ක්ෂතිය මගහරවා ගැනීමට ය. ඒ ලෙසටම මධ්‍යම පංතියේ සේෆ්ටි වෑල් එකක් බවට ජනතා විමුක්ති පෙරමුණ පත්වී ඇත.
දේශපාලනීය පරිවර්තනය පැත්තෙන් මෙහි සාධනීය දෙයක් තිබේ. දේශපාලන පරිවර්තනය සිදුවෙන්නේ අපි කැමති ආකාරයට නොවේ. සම්භාව්‍ය මාක්ස්වාදි ඇසින් බලනවා නම් විප්ලවීය භාවිතාවන් වැනි දේ දැන් යල්පැනගොස් ඇත. මධ්‍යම පංතික යින්ගේ ජීවිතය තුළ තිබෙන මේ උභයවේගීත්වය නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. මේ පිළිබඳව ජනතාවිමුක්ති පෙරමුණ සවිඤ්ඤාණක ද කියන සැකය මට තිබේ. ඒ අයට ඡන්දය දෙන්නේ එයලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බලා නොවේ. මෙහිදි උතුරේ සිදු වූ දේ ද සැළකිල්ලට ගැනීම වැදගත් ය. උතුරේ වූ වැදගත්ම දෙය වන්නේ මධ්‍යස්ථ දෙමළ ජනතාවගේ අභිලාෂය තහවුරු වීමය. කොටි සංවිධානයට හිතවත් පිරීස්වලට සිදු වූ දෙයින් එය පැහැදිළි ය.
ඒ මධ්‍යස්ථවාදීන් ගේ ශක්තිය දිගට ර\පවතින්නට නම් ඒ අයට දකුණත් සමග හොඳ දේශපාලන ගණුදෙනුවකට යන්නට හැකිවිය යුතු ය. අනික් අතට එසේ වන්නට නම් දකුණ ද නම්‍යශීලි විය යුතු ය. නමුත් දකුණට එය පහසු නැත. විල්වීරවංශලා, දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් කුමක් කරන්නේ ද යන්න බලාගෙන සිටිති. ඒ නිසා එක්තරා ආකාරයක උභතෝකෝටික ප්‍රශ්නයකට එක්සත් ජාතික පක්ෂය සහ වක්‍රව ජවිපේ මුහුණ දී සිටිති. එවැනි අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ කුමක් ද යන්න ද ප්රශ්නය කි. ඒ අයට දැන් සම්පූර්ණයෙන්ම ජාතිකවාදී උද්ඝෝෂණයට අනුගතවීමට ද නොහැක. එහෙම වුවහොත් තමන්ට සහාය දුන් විශාල පිරිසක් ඔවුන් අහිමිකර ගනී. අනික් පැත්තෙන් මේ තත්ත්වය දෙමළ සන්ධනයට ද තර්ජනයකි. හොඳ ගණුදෙනුවකට යන්නට පුළුවන් බව දෙමළ සන්ධානයට ද පෙන්වීමට නොහැකි වූවහොත් නැවතත් යම්කිසි විදියක අර අන්තවාදි කොටස් කරළියට ඒමේ හැකියාවක් ඇතිවේ. ඒ නිසා මේ ප්‍රධාන දේශපාලන කඳුවුරු 4 ම ඉතා පරික්ෂවට ලක්වන මොහොතක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන.
ඉදිරියේ දි ලංකාවේ ඉතා වැදගත් ප්‍රශ්න දෙකක් මතුවේ. එකක් වන්නේ ආර්ථික ප්රශ්නයයි. අනික ජනවාර්ගික ගැටළුව ය. උදාහරණ ලෙස යුධ අපරාධ සහ බලය බෙදීම වැනි කරුණු මෙයට අයත් ය. මේ දෙකම දැළිපිහියෙන් කිරිකනවා වැනි වැඩ ය. දකුණේ කිසිම දේශපාලන පක්ෂයකට හැකියාවක් නෑ සිංහළ බෞද්ධ මතය නොතකා හැර දෙමළ ප්රශ්නය සම්බන්ධයෙන් ප්‍රවේශ වන්නට. නව ලිබරල්වාදි සමාජ ආර්ථික කට්ටලයට වෙනස් ගමනක් යන්නට මෙවැනි දේශපාලන පරිවර්තනයකින් කළ නොහැක. ඒකට සම්පූර් රැඩිකල් දේශපාලන ප්‍රවේශයක් තිබිය යුතු ය. ඒ ගමනට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානයක් හෝ නැඹුරුවක් එක්සත් ජාතික පක්ෂය තුළ නැත. ඒ අය විභවාත්මකව නව ලිබරල් ප්‍රවේශයට විරුද්ධව සිවිල් සමාජය සමග උපායික සන්ධනය තුළ සිටිති. මේ උපක්රමික සන්ධනය ඉතා දුර්වල එකකි. රාජපක්ෂ නිසා ඒක ප්‍රශ්ණයක් නොවූ නමුත් රාජපක්ෂ සාධකයට ඒක යටකරන්ට නොහැකි වූ විට එය ඉදිරියට පැමිණේ.
දැන් එජාපය ජාතික ප්‍රශ්නයට යම් විසඳුමක් ඉදිරිපත් කළොත් මතුවිය හැකි ජාතිවාදය තුළ කෙසේ හැසිරෙන්නේ ද යන ගැටළුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මුහුණ දෙන්නට සිදුවේ. චන්ද්‍රිකාට ශ්‍රිලනිපය තුළ චරිතයක් නිරූපනය කිරීමට ඉඩ සලසා ඇත්තේ එයට මුහුණ දීමට ය. ඉදිරියේ දි පරික්ෂාවෙන් ලබා සිටිය යුතු වන්නේ මේ කාරණා දෙස ය.
සාකච්ඡා කළේ- මහින්ද රත්නායක
