අාප්ප කෑ හමුවේ කතාබහ ජනාධිපති කොරියාවේදී හෙළිකරයි
* කොරියානු ජනපතිගෙන් සප්‍රයිස් වැඩක් *
* එජාපයට සහතිකයක්*
* ආපදා විපත් ගැන දිනේෂ්ගෙන් පැමිණිලි*
ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ව ගෙනයන යහපාලන ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ප්‍රකාශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා නිකවැරටියේ දී කළා . එහි පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිතුමා කීවේ වෙන් වීම ඉතා පහසු බවත්, වඩාත් අපහසු වන්නේ රටේ අවශ්‍යතාව සලකා එක්ව කටයුතු කිරීම බවත් ය. දූෂණයට එරෙහිව ගෙන යන සටන ගැන කතා කළ ජනාධිපතිතුමා කීවේ තමන් ගන්නා ක්‍රියාමාර්ගවලට කිසිවකු හෝ විරුද්ධ වන්නේ නම් තනතුරු අතහැර ජනතාව සමඟ එක්ව තම සටන ඉදිරියට ගෙන යන බවයි. ජනාධිපතිතුමා විවේචනය කරන අය ගැන එතුමා කීවේ වෙනම කතාවක්. කොළේ ඉරාගෙන ඇඟේ හළාගත්තම ලොන්ඩරි හතක දාලාවත් පිරිසිදු කරන්න බැරි බව ජනාධිපතිතුමා කීවා.
සූර්ය බලශක්ති සංග්‍රාමය ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය ලබන ක්‍රියාමාර්ගයක්. ඒ යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් සීයක ධාරිතාවක් ලබා ගැනීමේ අවස්ථාව වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැතියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී. එහි දී කතාකරමින් ජනාධිපතිතුමා මතක් කළේ වසරකට කලින් මෙම වැඩපිළිවෙළ කොළඹ දී ආරම්භ කොට පසුව ඈත එපිට ගම්මානවලටද එය රැගෙන ගිය ආකාරයයි. තමා ජනාධිපති වෙද් දී රටට බොහෝ දේ අහිමි වී තිබූ බවත් ජාත්‍යන්තරය දිනා ගැනීමෙන් සියල්ල යළි ලබාගැනීමට හැකිවූ බවත් ජනාධිපතිතුමා කීවා.
කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා පැවැති වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන ප්‍රධාන උලෙළට ඉකුත්දා ජනාධිපතිතුමා සහභාගී වුණා. කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති එම උත්සව සභාව අමතා ජනාධිපතිතුමා කීවේ දේශීය ව්‍යවසායකයාට ප්‍රමුඛත්වය දීම තම රජයේ ප්‍රතිපත්තිය බවයි.
දකුණු කොරියාවේ සංචාරයක් සඳහා ජනාධිපතිතුමා පසුගිය සඳුදා දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිතුමා සමඟ මලික් සමරවික්‍රම, නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරුන් සමඟ තලතා අතුකෝරාල ඇමැතිවරිය ද එම සංචාරයට එක්ව සිටියේ දෙරට අතර සහයෝගිතා ගිවිසුම් ගණනාවකට අත්සන් තැබීම සඳහායි.
මෙම සංචාරයේ දී දකුණු කොරියානු ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා අතර නිල සාකච්ඡා බදාදාට යෙදී තිබුණා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ පළමු නිල කටයුත්ත වුණේ දකුණු කොරියාවේ ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්සේයා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල යෙදීමයි. ජනාධිපතිතුමා එහි යනවිට එහි බලාපොරොත්තු නොවූ අමුත්තෙක් එතුමා පිළිගැනීමට ඉදිරියට පැමිණියා. ඔහු නම් දකුණු කොරියා ජනාධිපති මුන් ජෙයින් මැතිතුමායි. දෙදෙනා අතර නිල සාකච්ඡා යෙදී තිබුණේ පසුවදාට, ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගැන ඇති ඉහළ ගෞරවය නිසා තමා මෙලෙස පැමිණි බව මුන්ජෙයින් ජනාධිපතිතුමා පැවසුවා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මෙන්ම තමාද ගම්බද පවුලකින් පැමිණ දේශපාලනයේ දුෂ්කර ගමනක යෙදී ජනාධිපති තනතුරට පත්වූ බව ඒ මහතා කීවා. ඒ නිසාම ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ගැන විශේෂ හිතවත්කමක් තමා තුළ තිබෙන බව ද ඒ මහතා කීවා.
දෙරට ජනාධිපතිවරුන් අතර නිල හමුව සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවසේ දී සිදුවූයේ බදාදා පෙරවරුවේදීයි. එහි දී දකුණු කොරියානු ජනාධිපතිතුමා කීවේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹා වසර හතළිහක් පිරෙන මෙම අවස්ථාවේ සිදුවන ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සංචාරය නිසා දෙරට අතර සබඳතා ස්ථිර ලෙස ශක්තිමත් වන බවයි. මෙම මිත්‍රත්වයෙන් දෙරටටම ප්රතිලාභ හිමිවන බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා කීවා.
ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් දකුණු කොරියාවේ ජීවත් වනවා. එම සංඛ්‍යාව තිස්පන් දහසක් පමණ බව කියනවා. එරට සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා උත්සවයක් සංවිධානය කොට තිබුණා. එහි දී කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යහපාලන ආණ්ඩුවක් සෑදීමට ඉදිරිපත් වීමට සම්බන්ධ බොහෝ තොරතුරු කීවා. මැතිවරණයකට නොයන ලෙස තමා මෙන්ම එකළ සිටි මැති ඇමැතිවරුන්ද මහින්ද රාජපක්ෂ මහතාට කී බවත් ඒ සියල්ල නොතකා මැතිවරණයට ගොස් පරාජය වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කීවා. විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස කළ එළි බසින්නට පෙර දින පැවැති ආප්ප කෑ රැස්වීමේදීත් මැති ඇමැතිවරුන් කීවේ ඡන්දයට යන්න එපා කියා බව ජනාධිපතිතුමා එහි දී හෙළිදරව් කළා .
රට බෙදනවා. රට කඩනවා කියා දැන් විපක්ෂය චෝදනා කරන බවත් ඒ සියල්ල බොරු බවත් ජනාධිපතිතුමා මෙහි දී ප්‍රකාශ කළා.
බ්‍රහස්පතින්දා උදේ සිටම විවිධ ප්‍රදේශවලින් මැති ඇමතිවරු කතා කරමින් මහ වැසි සහ සුළං නිසා සිදුව ඇති හානිය හා අවශ්‍ය ආධාර ගැන අගමැතිවරයා දැනුවත් කළා. ඒ අතරතුර දිනේෂ් ගුණවර්ධන මහතා කතා කොට හානිය ගැන විස්තර කළා. අගමැතිවරයා අනුර ප්‍රියදර්ශන මහතාට කතා කර ආපදාවලට ලබා දිය යුතු සහන ගැන උපදෙස් දුන්නා.
“හවස 3ට පක්ෂ නායක රැස්වීමක් තියලා තීන්දු ගනිමු. තොරතුරු රැස් කරන්න” අගමැතිවරයා තමාට කතා කළ සියලු දෙනාට කිව්වා. අගමැතිවරයාට උදේ 9.30 ට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතව තිබුණු නිසා පාර්ලිමේන්තුවට පැමිණියා. මැති ඇමතිවරු අගමැතිවරයා හමු වීමට එහි කාර්යාලයට පැමිණියා.
“ජනාධිපතිතුමා නිකවැරටියේ දී කතාව කරපු වෙලාවේ ඔබතුමා හිටියේ ඉන්දියාවේ නේද? ලංකාවට ආවාම ජනාධිපතිතුමා හමු වුණාම මොකක්ද කිව්වේ” සභානායන ලක්ෂමන් කිරිඇල්ල මහතා ඇසුවා.
“නෑ අපි සුහදව කතා කළා. ඒකාබද්ධය එක්ක සාකච්ඡාවට නොගියොත් තමා ශ්‍රිලනිප කැඩුවා වගේ වෙන්නේ. ඒ නිසා ඒකට යනවා කිව්වා. ඒත් ජනවරම සම්මුති රජය අනුව අවසානය දක්වා ගෙන යමු කියලත් කිව්වා” අගමැතිවරයා කිව්වා.
“මහින්දලා ඒ අයගේ ශක්තිය වැහෙන විදියට ශ්‍රිලනිප එක්ක එකතුවන එකක් නැහැ. ඒත් මහින්දලා හා ශ්‍රිලනිප ඉන්නේ කොතැනද කියලා බලන්න ඡන්දය තියන්නම වෙනවා” නවීන් දිසානායක මහතා කිව්වා.
“කෝප් එකේ විසි ගණනක් ඉඳලත් එජාප මන්ත්‍රිවරුන්ගේ දුරකථන ඇමතුම් විතරක් මාධ්‍යයට එළි කිරීම ගැන වරප්‍රසාද ප්රශ්නය අපි අමතක කරන්න නරකයි”කිරිඇල්ල මහතා මතක් කළා.
“කථානායක නීතිපතිගෙන් ඒ ගැන වාර්තාවක් කැඳවාවි.වරප්‍රසාද කමිටුවටත් මේක යාවි. මේවා පළ කරපු මාධ්‍යවල ප්‍රධානීන් හා පත්තර කර්තෘලත් කමිටුවට කැඳවන්න වේවි කියලා නීති අංශය මට උපදෙස් දුන්නා. මන්ත්‍රීලා හා සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය රැකෙන නීති සම්පාදනය කරන්නත් පියවර ගන්නවා”අගමැතිවරයා කිව්වා.
“මංගලයි මලිකුයි ජනාධිපති හමුවෙලා ශ්‍රිලනිප ඒකාබද්ධය එක්ක යනවා නම් එජාපය වෙනම ආණ්ඩුවක් හදන බව කිව්වා කියන කතාව මොකක්ද”රන්ජන් රාමනායක මහතා ඇසුවා.
“නෑ. ඒ අය වෙන වෙනම හමුවෙච්ච වෙලාවල්වල නිකං කතා කරලා තියනවා. එච්චරයි”අගමැතිවරයා කිව්වා.
“ඒත් සම්මුතිය ඉවරයි. දෙසැම්බර් වෙනකම් ඉන්නේ ජනාධිපතිතුමා කියපු නිසා. සුසිල් ප්‍රේම්ජයන්ත එහෙම කිව්වා” යැයි රන්ජන් යළි විමසුවා.
“තීන්දු ගන්නේ සුසිල් නෙවෙයිනේ. කියන්න දේවල් නැතිව මයික් ඇල්ලුවම සමහරු කියන දේවල් ගණන් ගන්න එපා. සුසිල් කියන විදියට ශ්‍රිලනිපය දෙසැම්බර්වල ආණ්ඩුවෙන් යනවා නම් අගමැතිතුමා හා අපි ඊළඟට කරන දේ කතා කරලා තියෙන්නේ.රාජපක්ෂලාගේ 2/3 බලයෙන් එයාලත් ශක්තිමත් වුණත් අපේ මේ 2/3 න් රට ගොඩ ගන්නයි අගමැතිතුමා බලන්නේ”ලක්ෂමන් කිරිඇල්ල මහතා කිව්වා.
“ශ්‍රිලනිපයේ කවුරුවත් ආණ්ඩුවෙන් යන්න කැමති නෑ. හුඟ දෙනෙක් එකතු වෙනවටත් විරුද්ධයි. ඒකාබද්ධයේ 55 නුත් 42 ක් එකතු වෙනවට විරුද්ධයිලු. අපි වසර දෙකක් දුක් විඳලා රිමාන්ඩ් වෙලා දැන් එකතු වෙන්නෙ මොනවටද කියලාලු ඔවුන් අහන්නේ” නවීන් දිසානායක මහතා කව්වා..
“පළාත් පාලන ඡන්ද කල්යාම නවතලා සියලු ඒවා එකවර තියන්න අගමැතිතුමා ලොකු මෙහෙයුමක් දියත් කළා කියලා ආරංචියි” වජිර අබේවර්ධන මහතා කිව්වා.
“රටේ සියලු දේශපාලන පක්ෂවල නායකයො ඡන්දය ඉල්ලන බව අධිකරණයට දැන්වූවා. උසාවියට ඒ ගැන අවධානයෙන් ක්‍රියා කරන්න වෙනවා. පෙස්සම්කාරයෝ ඒවා ඉවත් කරන්නත් අපි සූදානම් කළා. ඒ නිසා නීතිපතිගේ ඉල්ලීම් අනුව ඡන්දයට පසුබිම තැනීම අධිකරණයේ වගකීම”අගමැතිවරයා කීවා.
“විනිශ්චයකාර චේම්බරේට ගිහින් කතා කරලා හරි නීතිපති හා නීතීඥයෝ මේ ජාතික අවශ්‍යතාවය ඉටු කරාවි කියලා අපි හිතනවා”අගමැතිවරයා කිව්වා.
“රාජ්‍ය දේපළ කෝටි ගණන් අවභාවිතය ගැන ගිය රජයේ අය අත්අඩංගුවට ගන්න යනකොට ජනමාධ්‍ය හා සමහර හාමුදුරුවරු නීතියත් එයාලට ඕන විදියට නවන්න හදනවා. ඉහළම තැනක උපදේශක හස්තයකින් මේවා වළක්වනවා කියලයි කියන්නේ. ඉතිං හොරු අල්ලන්නේ කොහොමද”රන්ජන් රාමනායක මහතා කිව්වා.
“එජාපය හොරු රකිනවා කියලා ඒ අස්සේ අපට මඩත් ගහනවා”කිරිඇල්ල කිව්වා.
“අපේ ස්ථාවරය වෙන්නේ නීතිපතිගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු වීමයි. නීතිපතිගෙ උපදෙස් මත ක්‍රියා නොකරනවානම් එතන ලොකු ගැලුවක් තියනවා. ඒ ගැන දැඩි ලෙස අපට සලකා බලන්න වේවි” අගමැතිවරයා කිව්වා.
“ගිය රජයේ දූෂණ හා විශේෂයෙන් ග්‍රීක බැදුම්කරය දූෂණ ගැනත් කොමිසම් පත් කරන්න කියලා එජාප මන්ත්‍රිවරු 49 ක් අත්සන් කරලා ජනාධිපතිතුමාට ලිපියක් දීලා තියෙනවා. ඒකේ තත්ත්වය මොකක්ද “ ලක්ෂමන් කිරිඇල්ල ඇසුවා.
“වංචා, දූෂණ ග්‍රීක හා අනිත් බැඳුම්කර ඇතුළු හැම දේ ගැනම අද මම පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනවා. බැඳුම්කර කොමිසම යන කාලේ මම මේවා කිවුවේ නැත්තේ ඒ කොමිසමට වක්‍ර හෝ බලපෑමක් වේවියි හිතලයි. ඒ නිසා බැලුම්කරවල අතීත හා වත්මන් කතා ඔක්කොම අද මම එළිකරනවා”අගමැතිවරයා කිව්වා.
රුපියල් ලක්ෂ 1, 300ක් ආයෝජනය කර සූරිය වැව පොළ අංග සම්පූර්නව ඉදි කිරීම සඳහා පසුගියදා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මුල් ගල් තබා අවසන් වනවාත් සමගම ප්‍රදේශයේ ගොවින් විශාල පිරිසක් පෙළපාළියකින් එහි පැමිණියේ මේ ව්‍යාපෘතියට විරෝධය පළ කිරීමට නොව සිය ප්‍රසාදය පළ කිරීමටයි. ඔවුන් කීවේ “නායකයෝ නම් එමටයි ඒත් පසුගිය කාලයේ ගොයියෝ ඉන්න මේ පළාතේ පොළ දියුණු කරන්න ඕනෑකමක් ඒ ඇත්තනට තිබ්බේ නැ, බලවත් උදවිය අපව තුට්ටුවකට මායිම් කරේ නෑ කියායි.“දැන් ඉතින් බය වෙන්න එපා වැඩේ කෙරෙනවානේ තව මොනවද අඩුපාඩු“ සජිත් ඇසුවා. එවර ගොවින් කීවේ “පසුගිය කාලේ තොග පොළක් කියලා එකක් හැදුවා ඕං ඒකට වහලක් නෑ කියායි.මම ඒකත් හදලා දෙන්නම් සජිත් කියද් දී වියපත් මාතාවක් කීවේ ‘පුතේ මෙච්චර කල් උයන්න පිහින්න ගත්තේ අපිරිසිදු වතුර මෙව්වා කාට කියන්නද ඉතින්…ඊයේ ඒකටත් පිළියමක් කරා කියලා දැන ගන්න ලැබුණා යනුවෙන්. සජිත් කීවේ ඔව් අම්මේ මං ඊයේ විහාරගල වලව මව් න දී ජල ව්‍යාපෘතිය සංවර්ධනය කරන්න රුපියල් ලක්ෂ18ක් දුන්නා. පවුල් 3, 081කට ඒකෙන් වතුර ලැබෙනවා දකුණු ආසියාවේ ප්‍රජා නායකත්වයෙන් ක්‍රියාත්මක වන ලොකුම ජල ව්‍යාපෘතිය ඒකයි.අම්මලා අපිරිසිදු වතුර බීපු කාලෙ ඉවරයි කියායි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල හා අනෙකුත් රේඛීය අමාත්‍යාංශ මගින් ප්‍රතිපාදන වෙන් කර දිස්ත්රිත් ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ රැස්වීමක් සඳහා සහභාගි වීමට ඇමැති වජිර අබේවර්ධන මහතා ඉකුත් 24 සිකුරාදා උදෑසනම ගාල්ල බලා පිටත් වුණා.
ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර ඇතුළු නිලධාරිහු විශාල පිරිසක් සහභාගි වී සිටියා. මෙම ව්‍යාපෘතී සියල්ල ඉතාමත් කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී නිලධාරින්ට උපදෙස් ලබාදුන් අතර තාක්ෂණික ගැටලු ඇත්නම් එම ගැටලු නිරාකරණය කිරීමට වහාම පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා දැනුම් දුන්නා.
එම රැස්වීම අවසන් කිරීමෙන් පසුව කෙළින්ම ඇමැති වජිර කොළඹ අමාත්‍යාංශය වෙත ආවේ තවත් විශේෂිත වූ පිරිසක් හමු වීමටයි. ඒ ඉකුත් දා ගාල්ල, ගිංතොට වූ සිද්ධියේ දී අත්අඩංගුවට ගත් පුද්ගයන්ගේ ඥාති පිරිසක් හමු වීමට. මේ සඳහා ගිංතොට, ථුපාරාම විහාරස්ථානයේ අම්බලන්ගොඩ සුමේධ හිමියන් ද සහභාගි වු අතර එම හමුව ඉතා සුහද මට්ටමකින් පැවැතුණා.ථුපාරාම විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී එහි සිටි පිරිසක් තමන්ට ‘‘හූ’’ කියු බව සිහිපත් කළ ඇමැති වජිර දේශපාලනයේ නිරත තමන්ට හූ අසා හොඳට පුරුදු බව මෙහි දී කියා සිටියා. එදින ථූපාරාම විහාරස්ථානයේ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සුමේධ හිමියන් වජිර අබේවර්ධන ඇමතිවරයාට මෙහි දී කනගාටුව පළ කළා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ මුදල් ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 50 ක වියදමකින් ථූපාරාම විහාරස්ථානයේ ගොඩනැගිල්ලක් ද මේ දිනවල ඉදිකර තිබෙනවා.
කුරුණෑගල දිසිත්‍රික්කයේ පැවැත්වෙන නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ කුලියාපිටිය නැගනහිර ප්‍රාදේශිය වැඩසටහනට සහභාගි වීමට ඇමැති වජිර කුලියාපිටිය නක්කාවත්ත ජාතික පාසල වෙත ඉකුත් 25 සෙනසුරාදා ගියේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, වයඹ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක යන මහත්ම මහත්මීන් ද සමගයි. කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරි පිරිස ඇමතිවරයා ඇතුළු පිරිස මහත් හරසරින් යුතුව පිළිගත්තා.
ජනතා අපේක්ෂා ඉටු කිරීමට වත්මන් රජය කැප වී ක්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළ අතර 2015, 2016, 2017 වර්ෂවල ලක්ෂ 10 ව්‍යාපෘති 14, 022 ක් දිවයින පුරා ක්‍රියාත්මක කළ බව පෙන්වා දුන්නා.එහි වෙනසක් ඇති බව විශේෂයෙන් ම මෙහි දී පෙන්වා දුන්නා.එම වෙනස නම් එම ව්‍යාපෘති ආරම්භ කළේ වත්මන් රජයෙන් බව කියවෙන බෝඞ් එකක් නොමැති බවයි.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට ඉකුත් ඉරිදා අතිශය කාර්යබහුල දිනයක් වුණා. ඒ නිල මෙහෙවර ජනපති ජනතා සේවය සහ පළාත් පාලන මැතිවරණයේ රැස්වීම් දෙකක් යෙදී තිබු නිසායි. එදින උදෑසනින්ම කුරුණෑගල, අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලයට ගියේ නිල මෙහෙවර අඹන්පොල ප්‍රාදේශීය වැඩසටහනට එක්වීම සඳහායි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැත් වු 22 වැනි ප්‍රාදේශීය වැඩසටහන මෙය වු අතර දිවයිනේ ම ප්‍රාදේශීය වශයෙන් පවත්වන ලද 68 වැනි අදියර මෙය වුණා. එහි කටයුතු යන අතරතුරේ දී ම ඇමැති වජිර එම භූමියෙන් පිට වුයේ මිහින්තලය සහ කලාවැව ආසනවල සංවිධානය කර තිබු පළාත් පාලන මැතිවරණයට අදාළ රැස්වීම් සඳහා එක්වීමටයි.
අමාත්‍යවරයා එප්පාවල හෙවන් ගාඩ්න් හෝටලයට යන විටත් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් එහි ශාලාවට රැස්වී සිටියා. වත්මන් ආණ්ඩුවට ප්‍රශ්න රාශියක් මාධ්‍යයේ අභියෝග ගණනාවක් ජය ගැනීමට පසුගිය කාලය තුළ දී හැකි වු බව ඇමැති වජිර අබේවර්ධන මහතා මෙහි දී අවධාරණය කළා. ගමේ සංවර්ධනයට විශාල ලෙස මුදල් වෙන් කර එම කටයුතු ආරම්භ කර ඇති බව පාක්ෂිකයින්ට පැවසු ඇමතිවරයා මේ තත්ත්වය තුළ ඉදිරි මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට විජයග්රහණයක් හිමි කරදීමට කැපවන ලෙස ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.
පසුගිය සති කිහිපය තිස්සේ ඒකාබද්ධ විපක්ෂයේ කතාබහට ලක් වූ ප්‍රධාන මාතෘකාව වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සමගි වීම පිළිබඳ කාරණයයි. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගොස් ඉල්ලා සිටියේ පළාත් සභා ඡන්දයට එක්ව තරග කිරීමට එකඟවන ලෙසයි. පසුව ප්‍රේමජයන්ත මහතා හා ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී සාකච්ඡා කළා. එහි දී රාජපක්ෂ මහතා කීවේ මේ පිළිබඳව තමන් තීරණයක් නොගන්නා බවයි. ඒ ගැන තීරණයක් ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට පවතින බව ඒ මහතා කීවා.
ශ්‍රීලනිපයේ ප්‍රබල ඇමැතිවරුන් මහින්ද රාජපක්ෂ මහතාට යෝජනා කළේ පොදු ජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් තරග කිරීමටයි. දැනට අක්‍රීයව ඇති එම පක්ෂයේ සභාපතිවරයා ලෙස තවමත් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ලේකම්වරයා දි. මු. ජයරත්න මහතායි. කෙසේ වෙතත් එලෙස පොදුජන එක්සත් පෙරමුණ ලෙස තරග කිරීමට ද එකඟත්වයක් ඇතිවූයේ නැහැ.
පළාත් සභා ඡන්දයට එක්සත්ත්ව තරග කිරීම ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලකා නිදහස් පක්ෂය කමිටුවක් පත් කළා. නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්න මහත්වරුන් එම කමිටුවට අතුළත් වුණා. මහින්ද පාර්ශ්වය ද කමිටුවක් පත් කළා. මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සී. බී. රත්නායක මහත්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වුණා. මෙම කණ්ඩායම් දෙක අතර සාකච්ඡාවක් 28දා අඟහරුවාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා.
එම සාකච්ඡාව අවසන් වුණේ කිසිදු තීරණයක් නොමැතිවයි. විපක්ෂ කණ්ඩායමෙන් ඉදිරිපත් කළ කොන්දේසි ගැන ජනාධිපතිතුමාගේ කොරියන් සංචාරයෙන් පසු සාකච්ඡා කොට නැවත හමුවීමට දෙපාර්ශ්වය තීරණය කොට තිබුණා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ද 28 දා පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ශලාවක දී පැවැත්වුණා. එහි දී තීරණය වූයේ ශ්‍රී ලනිපය සමඟ එක් ව පළාත් පාලන මැතිවරණය තරග කිරීමට නම් ඔවුන් එජාප ආණ්ඩුවෙන් ඉවත්වී පැමිණිය යුතු බවයි.
මෙලෙස එක්ව තරග කිරීමට ශ්‍රීලනිපයට කොන්දේසි ඉදිරිපත් කළ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන ආයතන ගණනාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් ඇප මුදල් තැන්පත් කළා. මෙයින් ඔවුන් ප්‍රකාශකොට තිබෙන්නේ තමන් වෙනම තරගකිරීමට සූදානම් බවයි.

