කරණමට රාහු කාලයක් නෑ
තාත්තා මරන්න හවුල් වුණු සැට් එකක් ඉන්න ආණ්ඩුවකට ජැක් ගැසීම පිළිබඳව පියාගෙන් සමාව ඉල්ලීමට පරාජය සේකර කොලුවා තාත්තාගේ සොහොනට ගිය විට තාත්තා වළෙන් නැගිට්ටේ ඌ තමාගෙම පුතාද නැත්නම් නොට්ටිගෙ පුතාද යන්න හරියටම දැනගන්නා අටියෙනි.
තාත්තාගේ සොහොනේ කවුදෝ වාඩි වී සිටිනු දැක පරාජය සේකරට සිතුණේ, කළකම් පලදෙන්නට එනවාවද්ද කියා නිසා, ඔහු ආපසු හැරුණේ ගෙදර දුවන්නටය.
පුතාගේ කෙරුවාව හොඳින් දන්නා නිසා තාත්තා පරාජය සේකරගේ බොටුවෙන් අල්ලා ළඟින් ඉන්දවා ගත්තේය.
උඹ මොකටද ආවේ? කොහෙද දුවන්නේ?
තාත්තා ඇසුවේය.
බුදු තාත්තෙ මම අවෙ සමාව ගන්න, දුවන්න හැදුවෙ පරාණ බයට, පරාජය සේකර ඇත්තම කීවේය.
ඉස්සෙල්ලම කියපං සමාව ගන්නෙ කාගෙන් ද මොන එකකට ද කියලා? තාත්තා ඇසුවේය.
මගෙ බුදු තාත්තෙ මම අවුරුදු දෙකහමාරක් තිස්සෙ තාත්තා මරන්න හවුල් සැට් එකක් ඉන්න ආණ්ඩුවෙ හිටියා. පරාජය සේකර කීවේය.
ඇයි යකෝ උඹට උන් මාව මරන්න ආව කියලා මතක් වෙන්නෙ අවුරුදු දෙකකටත් වැඩිය ගියාද?
තාත්තා ඇසුවේය.
තාත්තෙ ඒ අය මට නියෝජ්‍ය ඇමති පට්ටමක් දුන්නනෙ. පරාජය සේකර කීවේය.
ඉතිං? තාත්තා ඇසුවේය.
කන්න දෙනවනම් අපට, බොන්න දෙනවනම් අපට මොන කෙං ගෙඩියද තව ඕන කියනනේ තාත්තෙ. පරාජය සේකර සිංදුවක් කීවේය.
කියන මගුලක් තේරෙන්න කියාපං. තාත්තා කීවේය.
‘‘මේකනෙ තාත්තෙ අපි හිටියෙ සාටක රජ්ජුරුවන්ගෙ දෑත ශක්තිමත් කරන්න. පරාජය සේකර පැහැදිලි කිළේය.
ඉතිං?
අපි සාටකේ ශක්තිමත් කරන්න බලාන හිටියට රටේ මිනිස්සු පුලතිසිගෙ දෑත ශක්තිමත් කළා.
පරාජය සේකර කීවේය.
සාටකය නැති වුණෙත් තොපි වගේ උන් හින්ද, තාත්තා ඒ වතාවේ කීවේ කෝපයෙනි.
ඕඩර්, ඕඩර්… මම ඒ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. සාටක රජතුමා නැති කරන කණ්ඩායමේ මම ඇතුළු තවත් බොහෝ අය හිටියා. ජාතියේ මළ නා මල, ද්විත්ව පුරවැසි බැසිල් මළයා, ගෝඨා, සෙල්පොන් විමලයා, පිවිතුරුවා, වේලිච්ච වට්ටක්කා අයියා, ධනරින මහත්තයා, ජිලා….
උඹේ ඔය නාමාවලිය ඔතනින් නවත්තලා පියා මරන්න උදව් කළ අය මතක් වෙන්න අවුරුදු දෙකක් ගිය කාරණේ කියපං. තාත්තා කීවේය.
මේකනේ තාත්තෙ, සාටකේ දෑත් ශක්තිමත් කරන්න ගිහිං මගේ හතර හන්දි කැඩිල ඉන්න කොට පුලතිසි නියෝජ්‍ය පට්ටමක් පෙන්නල එනවද කියල ඇහුව. මිනිහෙක් හොඳ හිතින් දෙන දෙයක් දෙන්න හදද්දි බෑ කියන්න හොඳද, මමත් අදිමදි නොකර පට්ටම බාරගත්ත.
ඒ වුණාට උඹ කරණම ගැහැව්වෙ කමකට නැති වෙලාවක කියලයි මළගිය ප්රාණකාරයොත් කතාවෙන්නෙ. තාත්තා කීවේය.
එහෙම කියන්නෙ කොහොමද තාත්තෙ, කරණම නම් කරණම, ආයෙ ඕකට රාහු කාලයක් තියෙනවද? පරාජය සේකර කීවේය.
මම දන්නා තරමට නම් පාර්ලිමේන්තුවෙ කරණමක් ගැහුව කියලා උඹ හිතාන හිටියට උඹ කළේ සරමක් ඇඳගෙන ඔළුවෙන් හිටගත්තා හා සමාන වැඩක්. තාත්තා කීවේය.
ඒ කතාව ගැන සභාව කල්තැබීමේ විවාදයක් ඉල්ලන්න ඕන. තාත්තාගේ ප්‍රකාශය පැහැදිලි මදි. පරාජය සේකර කීවේය.
උඹ කරණම ගහද්දි පාර්ලිමේන්තුවෙ කතානායක හිටියද? තාත්තා ඇසුවේය.
නෑ… පරාජය සේකර කීවේය.
සෙංකෝලෙ තිබුණද? තාත්තා ඇසුවේය.
ඒත් නැහැ.
කතානායකත් ඉන්න, සෙංකෝලෙත් තියෙන වෙලාවක පොහොට්ටුවට පනින්න ඉවසන්න බැරිතරම් උඔට තිබුණ තදියම මොකක්ද? තාත්තා ඇසුවේය.
මගේ රෝල් එක දවල් මිගෙල් රෑ දනියෙල් කියල කොහොමහරි පුලතිසිට තේරුණා. පරාජය සේකර කීවේය.
ඉතිං? තාත්තා ඇසුවේය.
ගම්පොල අලුත්ගමයගෙ එහෙම හැව ගැලෙව්වා වගේ පුලතිසි මගෙ පට්ටමත් ගලවන්න වැඩි කල් යන්නෙ නෑ කියලා මට තේරුණා. කථානායක එනකම්, සේන්කෝලෙ ගේනකම් ඉන්න ගියොත් ඊට කලින් පුලතිස මගේ පට්ටම ගලවනවා.
ඉතිං?
ව්‍යවස්ථා මර උගුලක් කියල ඒකපාරටම මට මතක් වෙන්න පටන්ගත්තා. රට ෆෙඩරල් වෙනව, බුද්ධාගමට තැන නැති වෙනව කියල තේරෙන්න පටන් ගත්තා. මම පටාස් ගාලා තැටිය මාරු කළා.
ඒ සේරම උඹට තෙරුම් ගියේ පට්ටම ගැලවෙන්න ළඟයි කියල ආරංචි වුණාට පස්සෙද? තාත්තා ඇසුවේය.
ඇත්ත වශයෙන්ම තාත්තෙ, මිනිහෙකුගෙ මොළේ පෑදෙන තීරණාත්මක මොහොතක් ඒක. ඒ විතරක් නෙමෙයි මම නියෝජ්‍ය පට්ටම ගත්තු ආණ්ඩුවෙ තාත්තගෙ මරණෙට හවුල් අය ඉන්නව කියලත් පෙනෙන්න ගත්තා. පරාජය සේකර කීවේය.
ඒකට අවුරුදු දෙකහමාරක් ගත වුණා! තාත්තා කීවේය.
සමාවෙන්න තාත්තෙ. පුලතිසි මගේ පට්ටම ගලවන්න හැදුවෙ නැත්නම්, තේරුම් ගන්න ඊළඟ ඡන්දෙ එනකම්ම ඉන්න තිබ්බා.
පරාජය සේකර දණින් වැටුණේය.
මගෙ පුතේ මම උඹට එක වතාවට දහස් වාරයක් සමාව දෙනවා, තාත්තා කීවේය. උඹ ආයෙමත් පාර්ලිමේන්තු යනවද?
යනව තාත්තෙ. පොහොට්ටු සෙට් එකත් එක්ක වාඩි වෙනවා. පරාජය සේකර කීවේය.
සැල්ෆෝන් විමලෙත් මුණගැහෙනවද?
තාත්තා ඇසුවේය.
ආයෙත් අහල තාත්තේ දැන් අපි එකම රෑනෙ කුරුල්ලෝ… පරාජය සේකර කීවේය.
එහෙම නම් ඌටත් මාව හම්බවෙන්න ඇවිත් යන්න කියාපං. තාත්තා කීවේය.
කියන්නම් තාත්තෙ, හදිස්සියක්ද? පරාජය සේකර ඇසුවේය.
හදිස්සියක් නැහැ. පොඩි ඉල්ලීමක් කරන්න. තාත්තා කීවේය.
මොකක්ද තාත්තෙ විමලයගෙන් කරන ඉල්ලීම? පරාජය සේකර ඇසුවේය.
පාර්ලිමේන්තුවට බෝම්බ ගහන කතාවක් විමලෙයා කීව නේද?
කීව නේන්නම් ඌත් ඇවිල්ලා උගෙ මස්සිනාගෙම පුතා.
විමලෙයාට මාව හම්බවෙන්න කියාපං. තාත්තා කීවේය.
ඉල්ලීම මොකක්ද තාත්තෙ මට කියන්න බැරි එකකද? පරාජය සේකර ඇසුවේය. බෝම්බ ගහනව නම් උඹත් ඉන්න වෙලාවක් බලල ගහන්න කියන්න. තාත්තා කීවේය.
