පරණවිතානට චියර් එකක් – බණ්ඩාර උඩුරාවන
ලංකාවේ අලි ගහනය විශාල ලෙස වැඩි වී ඇති බවත්, ලංකාවේ වනගහනයට සාපේක්ෂව වනාත්තරවල ඉඩ ඇත්තේ අලි 4000කට පමණ වුවත් මෙරට වනාත්තරවල අලින් 6000කට වඩා සිටින බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කියා තිබුණි. ඒ මහතා එම ප්‍රකාශය කළේ බලන්ගොඩ සම්බන්ධීකරණ කමිටුවේදීය. අලි ප්‍රශ්නයට විසඳුමක් ලෙස වල් අලින් අල්ලා විදේශ රටවලට විකුණන පිළිවෙතකට යා හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබුණි.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඒ ප්‍රකාශය රූපවාහිනී වැනලයකින් විකාශය කළ අයුරු මම දුටුවෙමි. එකී ප්‍රකාශය පිළිබඳ එක් පරිසරවේදියෙක් සහ පරිසවේදී භික්ෂුවක් අදහස් දැක්වුයේ පරණවිතාන මහතාට පරිභව ස්වරූපයෙන් බව ද සඳහන් කළ යුතුය.
මෙරට අලිගහනය පිළිබඳ පරණවිතාන මහතා කළ ප්‍රකාශය හිතලුවක් නොවේ. සමීක්ෂණ වලින් හෙලි වූ කරුණකි. වනාන්තරවල ජීවත් වන අලි ප්‍රමාණය එහි ජීවත්විය හැකි අලි සංඛ්‍යාවට වඩා වැඩිවීම ගැටලුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ නම් කළ යුතු වන්නේ එක්කෝ අලින්ගේ සංඛ්‍යාවට ජීවත්විය හැකි තරමට වනාන්තර පුළුල් කිරීමයි. නැතිනම් වනාන්තර වල ඉඩ ඇති තරමට අලින්ගේ සංඛ්‍යාව අඩු කිරීමයි.
පවතින තත්ත්වය මත අලින්ගේ වර්ධනයට සාපේක්ෂව වනාත්තර පුළුල් කිරීම කෙසේවත් කළ හැකි කාර්යයක් නොවේ. ශ්‍රී ලංකාව දැනටමත් ඉඩම් හිගය පිළිබඳ ගැටලුවකට මුහුණදීමට ආසන්නයේ පවතින රටකි. ජනගහනය වර්ධනයට සාපේක්ෂව ඉඩම් වර්ධනය වන්නේ නැත. ඉඩම් උපරිම කළමනාකරණයකින් යුතුව භාවිතයට ගන්නා ප්රතිපත්තියක්ද මෙරට නොමැතිබව පිළිගත යුතුය. විශාල ප්‍රමාණයේ ඉඩම් පර්චස් දහයට පහළොවට කැඩී විකිණෙමින් පැවතීම හොඳම උදාහරණයයි.
මහවැලි ආදී ගොවිජනපදවල දෙවැනි තුන්වැනි පරම්පරාවලටද ඉඩම් ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවන තත්ත්වයක් මේ වනවිට උදාවී තිබේ. මවුපියන් සතු ඉඩම් දරුවන් අතර බෙදී යන විට එක් පුද්ගලයකුට හිමිවන වපසරිය අඩුවීම ඊට හේතුවයි. ඒ අනුව ගත් කල අලින්ට ඉඩම් වෙන්කරනු තබා මිනිසුන්ට ඉඩම් වෙන්කිරීමත් අනාගතයේදී බරපතළ ගැටලුවක් වීම නොවැලැක්විය හැකිය.
අලි ගහනය වැඩිවීමත් අලින්ට වනාත්තර වල ඉඩ සහ ආහාර නොමැතිවීමත් මේ වන විට එළියට පැමිණ ඇත්තේ අලි – මිනිස් ගැටුමක් ස්වරූපයෙනි. අලින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිසුන්ගේ ජීවිත, දේපළ හා වගාවන් විනාශ වේ. වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල ජනතාව වල් අලි උවදුර නිසා ජීවත් වෙන්නේ නිරන්තරයෙන් මරණ බයකින් යුතුවය. ප්‍රදේශවල මිනිසුන් පන්සිල් සමාදම් වන විට පානාතිපතා සිල් පදය කියන්නේ ද අලින් මගහරවා බවට කතාවක් තිබේ. කොළඹට අලියා සුන්දර වස්තුවක් සම්පතක් වුව අලි ප්රශ්නය ඇති ප්‍රෙද්ශවලට ඌ කොඩිවිනයක් ව ඇති බවට එය සාක්ෂියකි.
අලි ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආමාත්‍යවරයා යෝජනා කර තිබුණේ අලි පිටරටට හෝ විකුණන්නට ඕනෑය කියාය. පරිසර වේදීන්ගේ යකා ඇවිස්සී ඇත්තේ ඒ යෝජනාව හේතුවෙනි. අලි ඇතුන් වෙළඳාම පිළිබඳ ඉතිහාසයක් ලංකාවට තිබේ. ලන්දේසි පාලනයේ අවසාන කාලය දක්වාම මෙරට අලි වෙළඳාම කෙරී ඇති බවට සාක්ෂි තිබේ. අලින් විදේශයන්ට විකුණුවා පමක් නොව අලි ගාල් පවත්වා අලින් වෙළෙඳාම් කිරීමද මෙරට සිදු විය. අධිරාජ්‍යවාදි යුගයේදී අලි දඩයම ක්‍රිඩාවක් වශයෙන්ද සිදුවිය. අලි දඩයමේ එක් යටි අරුතක් වශයෙන් අලින්ගෙන් නිදහස් කර වැවිලි භෝග ආරක්ෂා කිරීම පැවති බවද ඇතැමකුගේ මතයයි.
වන සතුන් ආරක්ෂා කළ යුතුය. ඒ පිළිබඳ ගැටළුවක් නැත. නමුත් අප රටේ වන සතුන් ආරක්ෂා කරන තරමට මිනිසුන්ගේ ආරක්ෂාව ගැන සිතන්නේ නැත. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ අලියකු මැරූවිට මිනිසකුට නියම වන දඩය සහ අලියකු අතින් මියගිය විට මිනිසකුට හිමි වන වන්දියයි.
ඒ මෙසේය;
- අලියකු මැරූ විට මිනිසකුට නියමවන දඩය රුපියල් ලක්ෂ දෙකකි.
- මිනිසකු අලියකු අතින් මියගිය විට හිමිවන වන්දිය රුපියල් ලක්ෂයකි.
දියුණු පිළිවෙත් ඇති රටවල අනුගමනය කෙරෙන පිළිවෙත වන්නේ වන සතුන් ආරක්ෂා කරනවා මෙන්ම ඒ අතරතුර වනසතුන්ගේ ගහනයද පාලනය කිරීමයි. පරිසර සමතුලිත භාවය රැකගත හැකි වන්නේ එවිටය. අප රටේ ක්‍රියාත්මක වන්නේ වන සතුන් ආරක්ෂා කිරීම මෝඩ පිළිවෙතක් යැයි කීවාට වරදක් නැත. අවශ්‍ය සතාතත්, අනවශ්‍ය සතාත් ආරක්ෂා කරන්නට උත්සාහ කිරීම එකී පිළිවෙතයි. වන සතුන් පිළිබඳ ප්රශ්නය ලංකාවේ බොහෝ ප්‍රදේශවල මතුපිටට නොපෙනෙන දැවෙන ප්‍රශ්නයක් බවට පත්වීමට හේතුව එයයි. වඳවී යන හා දුර්ලභ ගණයට අයත් වන සතුන් ආරක්ෂා කරන අතරම පමණ ඉක්මවා බෝවෙන සතුන් පාලනය කළ යුතුය. එහෙත් අප රටේ එසේ වන්නේ නැත.
වල් ඌරන් පිළිබඳ ප්රශ්නය ගැන ද එහි දී පරණවිතාන මහතා අදහස් දක්වා තිබුණි. ඔහු කියා තිබුනේ මෙසේය. ‘‘වල් ඌරන් මරන්න පුළුවන්, ඒත් මස් ළඟ තියාගන්න බැහැ. පොලීසියෙන් ඇවිල්ලා අල්ලලා නඩු දානවා”
පරණවිතාන මහතාගේ තර්කය ඉතා සාධාරණය. වල් ඌරා යනු මෙරට වගාවන්ට හානි කරන සතුන් අතර ප්‍රධාන සතෙකි. කුඹුරක්, අල වගාවක් හෝ කිසිවක් උගෙන් බේරා ගැනීම පහසු නැත. නොකන භෝග පවා පොළොව හරා විනාශ කර පණුවන් සෙවීම ඌරාගේ ස්වාභය වන බැවිනි.
වල් ඌරන් පිළිබඳ දැඩි නීතියක් නැත. උන් මැරීම හා මස් කෑම තහනම් නැති වුව උන්ගේ මස් ප්‍රවාහනය කළ නොහැක. එහෙත් මෙරට දී පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි වල් ඌරු මස් ලඟ තබාගත්තද අත්අඩංගුවට ගැනේ. වල් ඌරන්ගේ කරදර බහුල ප්‍රදේශ වල සහ අභය භූමි ලෙස නම් කර නොමැති ස්ථානවල වල් ඌරන් මැරීමට, මස් ළඟ තබාගැනීමට පමණක් නොව ප්‍රවාහනයට ද ඉඩ සැලසෙන ආකාරයට නීති සැකසිය හැකි වුවද බලධාරින්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවන බවක් පෙනෙන්නට නැත.
වල් ඌරු මස් යනු මෙරට ජනතාව අතරින් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක් වුවද ඒවා පරිභෝජනයට අවස්ථාවක් නොලැබෙන්නේ නීතියේ අඩුපාඩු නිසාය. දැව කැපීම හා ප්රවාහණය සම්බන්ධයෙන් දැනටමත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වන නීතියක් මෙරට ක්‍රියාත්මක වේ. එවැනි ප්‍රතිපත්තියක් වල් ඌරන් සම්බන්ධවද අනුගමනය කිරීමෙන් උන්ගෙන් වතාවන්ට සිදුවන හානිය මගහරවා ගත හැකිය. එසේ වුවයොත් එය ගොවියා උනන්දු කරවන සහ ඔවුන්ගේ ආර්ථිකය සරුකරන ක්‍රියාමාර්ගයක් වනවා ඇත.
අනුරාධපුර පූජා නගරයේ පින්කමකට ගොස් පැමිණි මිතුරෙක් කීවේ, බුදුන්ට පුදන්ට පිසින දානයවත් රිලවුන්ගෙන් ආරක්ෂාකරගෙන පූජා කිරීම අපහසු බවය. එය බොරුවක් නොවේ. අනුරාධපුරයට පමණක් නොව මෙරට බොහෝ නගරවලට දැන් දැන් රිලවුන් බරපතල තර්ජනයක් වෙමින් තිබේ. ගම්වල රිලවුන්ගේ ප්රශ්නය නගරයටත් වඩා බරපතළ වන්නේ රිලවුන් ගම්වලදී එකිනෙදා ජීවිතයටත්, ගොවිතැනටත් බලවත් තර්ජනයක් එල්ල කරන බැවිනි. දල්ලක්, කොළයක්, අලයක් පමණක් නොව පොල් ගෙඩියක්වත් රිලවුන් නිසා බේරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති ගම් මෙරට කොතෙකුත් තිබේ.
දඬුලේනුන් ගේ වර්ධනය ද මෙරට වගාවන්ට එල්ල වී ඇති බරපතළ එහෙත් මතුපිටට නොඑන තර්ජනයකි. දඬුලේනුන් හේතුවෙන් පොල් ඉඩමක් සම්පූර්ණයෙන්ම අත්හැර දමන්නට සිදු ඇති බව මහනුවර නගරයට ආසන්න ගමක වෙසෙන මිතුරෙකු කීවේය.
ඉහත නිදසුන් අප ඉදිරිපත් කළේ අවශ්‍ය සතාත් අනවශ්‍ය සතාත් රකින්නට යාම පරිසරවේදය නොවන බව පෙන්වා දීමටය. අපේ පරිසරවේදීන් සතුන් ගැන අනුකම්පා කරන තරමට මිනිසුන් ගැන කල්පනා කරන්නේ නැත. මිනිසුන් ගැන සිතුවාට විදේශ ආධාර ආදිය නොලැබෙන නිසා වන්නට ද පුළුවන.
පරිසරය, වනසතුන් අරක්ෂා කළ යුතුය. එසේම මිනිස් ජීවිත සහ වගාවන්ද සතුන්ගෙන් බේරාගත යුතුය. නගරවලට ඇති රිලවුන්ගේ තර්ජනය මඟහැරවිය හැකි යෝජනාවක්, වැඩවටහනක් ඉදිරිපත් නොකරන පරිසරවේදින්ගේ විරෝධතාවලින් ජනතාවට අත්වන සෙතක නැත. පරණවිතාන මහතාගේ යෝජනාවට අත් දෙකම ඔසවන්නට අප සූදානම් ඒ නිසාය.
