අස්ගිරි පාර්ශ්වයේ රාජපක්ෂවාදය – එම් . ඒ . ඕ . ද සොයිසා
පහත දැක්වෙන්නේ 17.08.17 දින ජාතික රූපවාහිනියේ ‘වෙනසට අවුරුදු දෙකයි’ යන මාතෘකාව යටතේ ශාන් විජේතුංග මෙහෙයවූ වැඩ සටහනකදී අසන ලද ප්‍රශ්නවලට ගාමිණී වියන්ගොඩ විසින් සැපයූ පිළිතුරුය.
ප්රශ්නය: ගැටඹේ නායක ස්වාමීන් වහන්සේ කීවා මේ ආණ්ඩුවට රටත්, ජාතියත්, ආගමත් ගැන හැඟීමක් නෑ කියලා. එම අදහස් ප්‍රකාශ කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවීමට ගිය විටයි. අස්ගිරියේ නායක ස්වාමීන් වහන්සේත් ප්‍රකාශ කළා රජයට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ බෙදුම්වාදයට උදව් දීමට බවත්. අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාසභංග ගේන්න එපා කියලා මහා සංඝරත්නය කියනවා. මහා සංඝරත්නය තරහ කර ගනිමිනුයි මේ ආණ්ඩුව ඉන්නේ.
පිළිතුර: මහා සංඝරත්නය කියන යෙදුමත් සමග මම එකඟ වන්නේ නැහැ. අස්ගිරි පාර්ශ්වය යනු මහා සංඝරත්නය නොවෙයි. මල්වතු හා තවත් පාර්ශ්ව ගණනාවක් තිබෙනවා. ඒ සියලු දෙනාටම තමයි මහා සංඝරත්නය කියන්නේ. අස්ගිරි පාර්ශ්වය ලෙස මා තේරුම් ගන්නේ ඔය පාර්ශ්වවලින් ඉතාමත්ම ප්රතිගාමී පාර්ශ්වය ලෙයසි. මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිටම අපට එය දැක ගැනීමට පුළුවන් වුණා.
මහින්ද රාජපක්ෂ යුගයේ දළඳා මාලිගාව වටේ කාර් රේස් පදින කොට අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේලා කිසි දෙයක් කර ගන්න බැරිව සිටියා. ඔවුන්ට පුළුවන් වුණේ නැහැ පාරේ නිදාගෙන හරි ඒක නවත්වා ගන්න. මේ ආණ්ඩුව ආවහම ජනාධිපතිතුමා පොරොන්දු වුණා දළඳා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කරනවා කියලා. එම පාර වැසීමෙන් පරිසර දූෂණය නිසා ලක්ෂ ගණනක් රෝගීන් බවට පත්වෙනවා.
එම තීරණයට මල්වතු පාර්ශ්වයේ ස්වාමීන් වහන්සේත් කැමැත්ත දී තිබුණා. නමුත් අස්ගිරි පාර්ශ්වය තමයි දළඳා වහන්සේගේ පූජනීයත්වය රැකගැනීමට යැයි පවසා පාර විවෘත කිරීමට විරුද්ධ වුණේ. ඕනෑම කෙනකුට තේරෙනවා පාරක් වහලා පූජනීයත්වයක් රැකගැනීමට නොහැකි බව. අස්ගිරි පාර්ශ්වය සෑම විටම ප්රතිගාමී මතයක සිටියා. නමුත් මෙයින් අස්ගිරි පාර්ශ්වයේ සියලු ස්වාමීන් වහන්සේලා එම මතයේ සිටින බව අදහස් වන්නේ නැහැ.
ප්රශ්නය: නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හැම ආණ්ඩුවක්ම හැම වේලෙම පිළිගන්න ඕනෑ නේද?
පිළිතුර: නායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා හැම වේලාවෙම ක්‍රියාත්මක කළයුතු නැහැ. පිළිගන්න ඕන ඒවා ක්‍රියාත්මක කරනවා. පිළිගත නොහැකි ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස හැට දෙලක්ෂයක් ජනතාව කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන කියලා. නමුත් අස්ගිරි පාර්ශ්වයෙන් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා. අප පිළිගත යුත්තේ නායක හාමුදුරුවන් කියන දේද? හැට දෙලක්ෂයක් ජනතාව කියන දේද? අපි එහෙම නම් ප්රජාත්ත්රවාදය පැත්තකට දාමු. ඡන්ද ඕනෑත් නැහැ.
අස්ගිරි පාර්ශ්වයේ නායක හාමුදුරුවන්ට රට භාර දුන්නා නම් හරි. ජනාධිපතිවරු අගමැතිවරු අවශ්‍ය නැහැ. මේක රජ කාලෙදිවත් වුණේ නැහැ. කිසිම රටක් ඒ විදිහට කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් කියන දෙය ගණන් ගන්න ඕනෑ නැහැ. මහින්ද රාජපක්ෂ මොන අදහසද කියන්නේ නායක හාමුදුරුවොත් එම අදහසම කියනවා. අස්ගිරි පාර්ශ්වයේ කිහිප දෙනෙක් අතිශය දේශපාලනීකරණය වෙලා තියෙනවා. බුදු රජාණන් වහන්සේට වඩා උත්තම ලෙස හිටපු නායක මහින්ද රාජපක්ෂ මහතාව පිළිගන්නව. මේ ආණ්ඩුව අනවශ්‍ය වීරයින් බිහි කරනවා. අලුත්ම වීරයා තමයි විජේදාස රාජපක්ෂ.
මෙම සංවාදය දෙස බලන විට පෙනී යන්නේ? මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්මට සහ දේශපාලන ක්රමයේ යහ පැවැත්මට අදාළව සිවිල් සමාජයෙන් සහ දේශපාලන ක්‍රමයෙන් ඉදිරිපත් වී තිබෙන වැදගත් යෝජනා තුනකට සංඝ සමාජයෙන් කොටසක් නියෝජනය කරන අස්ගිරි පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේලා සමස්ත සංඝ සමාජයේ නාමයෙන් පෙනී සිටිමින් එම යෝජනා ක්‍රියාවට නැංවීමට එරෙහිව ප්රතිශේධාත්මක ලෙස හැසිරෙන ආකාරය සහ ක්‍රියාකරන ආකාරයයි. දළඳා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කිරීම, අලුතෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සහ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව විනයානුකූල පියවර ගැනීම එම යෝජනා තුන වේ.
මෙයින් දළඳා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති තර්කය වන්නේ එසේ කිරීම දළඳා මාලිගාවේ පූජනීයත්වයට හානිකර වන බවය. මෙම තර්කය කොතරම් හරසුන් විහිළුකාරී එකක්ද යන්න පෙන්වා දීම සඳහා තවත් අටුවා ටීකා සැපයීම අවශ්‍ය නැත. හේතුව වැට කඩොලූ වලින් ආගමික ස්ථානයක් වටකොට අහුරා දමා එම ස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කොට පවත්වා ගෙන යාමට කිසිසේත්ම නොහැකි බැවිනි.
යම් ආගමික ස්ථානයක පූජනීයත්වය ඇති වන්නේ එම ස්ථානය සඟවා තබා ගනිමින් බැතිමතුන්ට නිදහසේ එම ස්ථානයට පිවිසීමට ඇති ඉඩකඩ ඇහිරීමෙන් නොව නිදහසේ පිවිසී වැඳපුදා ගැනීමෙන් මනස තුළ උද්දීපනය වන භක්තිය, ගෞරවය, ප්‍රණාමය, විශ්වාසය යනාදී මානසික හැඟීම් හරහා එම ස්ථානයේ ආගමික සුවිශේෂත්වය පිළිබඳව ගොඩනගා ගන්නා විශ්වාසය සහ එම විශ්වාසය සමාජගත වී සියලූම බැතිමතුන් තුළින් පූජනීයත්වය පිළිබඳව උද්දීපනය වන පොදු විශ්වාසය මතය.
මෙයින් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් යම් බෞද්ධ ආගමික ස්ථානයක පූජනීයභාවය හාමුදුරුවරුන් මවාගෙන තිබෙන ව්‍යාජ ආගමික අධිකාරී බලය තුළින් ඇතිවන දෙයක් නොවන බවය. අස්ගිරි පාර්ශ්වය තේරුම් ගත යුතු එක් වැදගත් කරුණක් තිබේ. එනම් පාර වසා තිබීමෙන් දළඳා මාලිගාවේ පූජනීයභාවය ආරක්ෂා කළ නොහැකි බවය. එය ආරක්ෂා කරගත හැකි වන්නේ සහ වඩාත් ප්‍රබල ලෙස එම අදහස සමාජගත කිරීමට හැකි වන්නේ පාර විවෘත කොට බැතිමතුන්ට නිදහසේ පිවිසී හිතේ හැටියට වැඳපුදා ගනිමින් තම භක්තිය හා විශ්වාසය ප්‍රකාශ කිරීමට ඇති ඉඩකඩ මත බව ය.
අස්ගිරි පාර්ශ්වයේ සංඝයා වහන්සේලා දිගින් දිගටම විරුද්ධ වන තවත් කරුණක් වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයයි. හේතුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් රට දෙකඩ වනවාය සහ එමඟින් මේ රටේ වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් බිහිවනවාය යනුවෙන් එම සංඝයා වහන්සේලා තමන්ගේ සිත්තුළ මවා ගෙන තිබෙන පදනම් විරහිත විශ්වාසයයි. අස්ගිරි පාර්ශ්වයේ සංඝයා වහන්සේලාගෙන් ඇසිය යුතු එක් ප්‍රශ්නයක් තිබේ. එනම් උන්වහන්සේලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැක තිබෙනවාද යන්නය.
අස්ගිරි පාර්ශ්වය හරුණු විට මුලු රටම එවැනි ව්‍යවස්ථාවක් මේ දක්වා පිළියෙල කර නොමැති බව දනී. ආණ්ඩුව හදපු ව්‍යවස්ථාවක් නොමැති වුවද, ජනමාධ්‍ය හරහා ප්‍රකාශ වන තොරතුරුවලින් පෙනී යන්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා හදපු ව්‍යවස්ථාවක් තිබෙන බවය. එම ව්‍යවස්ථාවට අනුව රට දෙකට බෙදෙන බවය. එසේ නම් අස්ගිරි පාර්ශ්වය විරුද්ධ විය යුත්තේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ එම ව්‍යවස්ථාවටය. එසේ නැතිව මේ දක්වා සියැසින් දැක නොමැති මෙතෙක් නිමකර නොමැති ආණ්ඩුව විසින් සෑදීමට යන ව්‍යවස්ථාවට නොවේ.
අස්ගිරි පාර්ශ්වයේ උදහසට ලක් වී තිබෙන අනෙක් කරුණ වන්නේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කර තිබෙන ප්‍රකාශයයි. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්රශ්නය සළකා බැලිය යුත්තේ ඔහු බුද්ධාගම් කාරයකු වීම, බුදු සසුනේ චිරස්තිය වෙනුවෙන් පෙනී සිටීම, සංඝයා වහන්සේලාගේ අමන්දානන්දයට හේතුවන කථා පැවැත්වීම යනාදී කරුණු පදනම් කරගෙන නොවේ. අමාත්‍යවරුන්ගේ චර්යාව හා සම්බන්ධ දේශපාලන මූලධර්ම පදනම් කර ගෙනය.
යම් අයකු අමාත්‍ය ධුරයක් දරන විට ඒ හා බැඳී පවතින මූලික වගකීම් තුනක් තිබේ. මෙයින් ප්‍රථම එක වන්නේ අමාත්‍යවරුන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවය. මෙයින් අදහස් කරන්නේ අමාත්‍යවරයා තමන්ගේ නිල වැඩ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවය.
අමාත්‍යවරයාගේ චර්යාව මෙන්ම ඔහුට අයත් අමාත්‍යාංශය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ මතුකරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැඳී සිටින්නේ එබැවිනි. දෙවැන්න තම අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට පැවරී තිබෙන වගකීමය.
අමාත්‍යාංශයක වැඩ කටයුතු පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ නිලධාරීන් වූවද, අමාත්‍යවරයාට ඒ ගැන ඇති දැනුම සහ අවබෝධය සාමාන්‍යයෙන් ඉහල මට්ටමක නොපැවතුණද එම හේතුව නිසාම නිලධාරීන් සම්බන්ධයෙන් ඇති වගකීමෙන් පිටපැන යාමට අමාත්‍යවරයාට කිසිඳු හැකියාවක් නොමැත. නිලධාරීන් අතින් සිදුවන වැරදි වලට අමත්‍යවරයා වගකිව යුතු වන්නේ එබැවිනි.
සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්රදාය වන්නේ නිලධාරියකු අතින් සිදු වී තිබෙන වැරැද්ද අතිශය බරපතළ එකක් වන්නේ නම් අමාත්‍යවරයා එහි වගකීම භාරගෙන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය. තුන්වැන්න වන්නේ සාමූහික වගකීමේ සිද්ධාන්තයයි. මෙයින් අදහස් වන්නේ අමාත්‍ය මණ්ඩලය සාමූහිකව සහ සියලු දෙනාගේ අනුමැතියෙන් සහ එකඟත්වයෙන් ගනු ලබන තීරණවලට ඉන් පසුව විරුද්ධ වීමට හෝ විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට අමාත්‍යවරුන්ට අවසර නොමැති බවය. විරුද්ධ වනවා නම් විය යුත්තේ තීරණයට එළඹීමට පෙර අමාත්‍ය මණ්ඩලය තුළ විනා ඉන් පසුව බාහිර සමාජය තුළ ය.
ඇතුළතදී එකඟ වී පිටට පැමිණ අමාත්‍ය මණ්ඩලයේ තීරණයට එරෙහිව ජනතාව ඉදිරියේ අදහස් දක්වන්නේ නම් එහිදී බරපතළ ලෙස සාමූහික වගකීමේ සිද්ධාන්තය කඩ කිරීමේ චෝදනාවට ලක් වේ. මේ සම්බන්ධයෙන් පිළිගත් සම්ප්රදාය වන්නේ එක්කෝ අමාත්‍යවරයා තම තනතුරින් ඉල්ලා අස්වීමය. නැතිනම් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා විසින් හෝ අගමැතිවරයා විසින් අමාත්‍යවරයා තනතුරින් ඉවත් කිරීමය.
විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය දෙස බලන විට පෙනී යන්නේ ඔහු බරපතළ ලෙස ඉහත දැක්වූ තුන්වන වගකීම කඩකර ඇති බවය. ඇමතිවරුන් මෙයාකාරයට හැසිරීම සමහර අයගේ අමන්දානන්දයට හේතු වියහැකි වූවද එයින් ඇතිවිය හැකි භයානක ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුව පවත්වා ගෙනයාම අසීරු තත්ත්වයකට පත් වීමය.
මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩුවේ ස්ථාවරභාවය ආරක්ෂා කොට පවත්වා ගෙනයාම මිස අමාත්‍යවරයාගේ සාටෝප කථාවලින් අමන්දානන්දයට පත්වන පාර්ශ්ව සන්තෝෂ කිරීම නොවේ. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාපටිපාටියකට යාම අත්‍යවශයම දෙයක් බවට පත්ව තිබෙන්නේ එබැවිනි. මෙම කරුණ සළකා බැලිය යුත්තේ පුද්ගල දෘෂ්ටිකෝණයකින් නොව ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය පිළිබඳ දෘෂ්ටිකෝණයෙනි. එසේ බලන විට ගතයුතු තීරණය කුමක්ද යන්න ගැන අමුතුවෙන් කීම අවශ්‍ය නොවේ.
ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ අස්ගිරි පාර්ශ්වය අනවශ්‍ය ලෙස රටේ දේශපාලන හා සමාජ ප්‍රශ්නවලට ඇඟිලි ගසමින් එම ප්‍රශ්න වඩ වඩාත් අවුල් කිරීමට සිතාමතාම කටයුතු කරන බවය. මෙහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ 2015 ජනවාරි මාසයේදී මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාව අස්ගිරි පාර්ශ්වයට එරෙහිව නැගී සිටීමය. ගිය 16 වනදා විහාරමහා දේවී උද්‍යානයට එක් රැස් වූ ලක්ෂ සංඛ්‍යාත ප්රජාතන්ත්රවාදයට පක්ෂ ජනතාව පෙන්නුම් කරන්නේ මෝදු වෙමින් පවතින මෙම ප්රවනතාවයයි.

