අපි ජාතියක් විදිහට ගොඩනැගෙන්න ප්‍රශ්න දිහා මනුස්ස ඇහැකින් බැලිය යුතුයි – ජනාධිපති නීතිඥ අලි සෆ්රි
ජාතිවාදය කා සඳහාද කියන මතෘකාව ඉතාමත්ම වැදගත්, කවුද මේ ජාතිවාදය අවුස්සන්නෙ? කවුද මේක පිටපස්සෙ ඉන්න? කාටද මේක අවශ්‍ය? කවුද මේක විකුණගෙන කන්නෙ? මෙය ලංකාවෙ විතරක් තියන දෙයක්ද? අනික් රටවල් වලත් විවිධ ස්වරුපයෙන් මේවා තිබිල තියනවද? කියන එක කල්පනා කරල බලනකොට, මේ රට ගැන අල්පමාත්රයක හැඟීමක් තියන මනුස්සයෙකුට ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය, බෙදුම්වාදයෙන් කිසිවක් ලබාගන්නට බැහැ. එයින් විනාශයට විතරයි යන්න පුළුවන්. මේක අද විතරක් තියන දෙයක් නෙමෙයි. කාලෙන් කාලෙට මිනිස්සු බෙදන්න, සමගිය නැති කරන්න තමන්ගෙ අරමුණු කරා යෑමට යෝජනා කරන, පාවිච්චි කරන ලාභ, බාල ක්‍රමවේදයක්. මේක තමයි දෙවන ලෝක යුද්ධයේදි හිට්ලර් භාවිතා කලෙත්. එතුමා කිව්වා මයින් ක්‍රාෆ්ට් කියන පොතෙන් ජර්මන් ජාතිකයන්ගෙ ලේ අනික් ජාතින්ගෙ ලේ වලට වඩා සුපිරියි. ඉහළයි. ඒ හින්දා ලෝකය පාලනය කරන්න ඕනැ ඔවුන් තමයි කියල. එහෙම තමයි ඔහු මිනිසුන්ට ත්‍රස්තවාදය පත්තුකරල යැව්වෙ.
ජනාධිපති නීතිඥ අලි සෆ්රි මහතා එසේ ප්‍රකාශ කළේ සමාජවාදි තරුණ සංගමය මගින් ඊයේ ජුලි 31 කොළඹ මහජන පුස්තකාලීය ශ්‍රවණාගාරයේ දී සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් පැවති ‘ජාතිවාදය කා සඳහාද?, යන සම්මන්ත්‍රණය අමතමනි.
අපි හැමෝම දන්නවා හැමෝගෙම ලේ එක්කො ඒ. නැත්නම් බී නැතනම් ඒ බී. පොසිට්ව් නෙගෙටිව් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඕ. ලංකාවෙ තත්ත්වයත් ඒක තමයි. කාලෙන් කාලෙට මිනිස්සු තමන්ගෙ අරමුණු කරා යන්නට ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය අවාසනාවන්ත ලෙස දඩමීමා කරගන්නවා. මේක එක ජාතියකට, එක ආගමකට, එක භාෂාවකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අදත් ඒක සීමා වෙලා නැ. ඔවුන් ලැබෙන පළමුවෙනි අවස්ථාවේදීම ජාතිවාදය උලුප්පලා ඉතා පහසු ඡන්ද ටිකක් ලබා ගන්න තියන ක්‍රමවේදයක් හැටියට ඒක භාවිතා කරනවා. කවුද මේක කරන්නෙ? ඉතිහාසය දිහා ඇස් ඇරල බැලුවම මේක කරන්නෙ හැම වෙලාවෙම තමන්ගෙ ආත්මලාභය සඳහා කටයුතු කරන දේශපාලඥයො, එහෙම නැත්නම් ආගමික නායකයන්යයි කියා ගන්නා පිරිස්, නොඑසේ නම් යටි මඩිගැසීම සඳහා උත්සාහ කරන පිරිස්. ඒකට අහුවෙන්නෙ කවුද? මේ රටේ අහිංසක ජනතාව. ලෝකෙ අහිංසක ජනතාව. ජාතිවාදයෙන් දිනාගත හැකි දෙයක් නැහැ. මාර්කට් කරන්න ලාභම දේ තමයි ජාතිවාදය තැනකට ගිහිල්ලා ජාතිවාදය වපුරන එක ඉතා පහසුයි. මම මුස්ලිම් ජාතිකයෙක් විදිහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට අපහාස වෙන විදිහට වචනයක් දෙකක් කිව්ව ගමන් මට පුළුවන් පහසුවෙන්ම ජාතිවාදය අවුස්සල ගන්න. ඒ හා සමානවම කුරානය ගැන කුරානයේ නැති පට්ටපල් බොරු කියලා ශුද්ධ වූ කුරානෙ කියල තියනව අරය මරල දාන්න, ශුද්ධ වූ කුරානයෙ කියල තියනව මෙයා කපල දාන්න. ශුද්ධ වූ කුරානයට අනුව වෙන ආගම් පිලිගන්නෙ නැහැ. වෙන ආගම් පිළිපදින්න දෙන්නෑ කිව්ව ගමන්, මේ පිළිබඳ කිසිම අවබෝධයක් නැති මිනිස්සු හිතනව මේ කියන්නෙ ඇත්ත කියල. මේකෙ පිටිපස්සෙ තියන අරමුණු තමයි තමන්ගෙ ආත්ම ලාභය. එක්කො දේශපාලනික වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාරික වෙන්න පුලුවන්, නැත්නම් ආගමික වෙන්න පුලුවන් තමුන්ට ඡන්ද ලබා ගැනීම සඳහා කරන ලාභම උප්‍රක්‍රමය තමයි කරන්න බලන්නෙ.
මමත් ෆේස්බුක් එකේ ඉන්නවා මෑතකදි එක නීතිඥ මහත්මියක් ෂෙයාර් කරල තිබුණා ෆෙස් බුක් එකේ, ‘ලංකාවෙ සිංහල බෞද්ධයෙනි තොපි කොහිද ඉන්නෙ? තොපි දන්නවද ලංකාවේ අද ඉන්න අවුරුදු අටට වඩා අඩු දරුවන් සියයට හැට තුනක් මුස්ලිම්, කියල. මම ඇයට කෝල් කරල ඇහුව, කවුද මේ සංඛ්‍යාලේඛණ දුන්නෙ? කොහෙන්ද මේවා ගත්තෙ? ඇයි නීතිඥවරියක් හැටියට ඔබ මෙවැනි තර්කයක් නැති, පදනමක් නැති කවුරුහරි ජාතිවාදින් කියන දේවල් බෙදා හරින්නෙ? කියල. මම කිව්වා මේ සංඛ්‍යාලේඛණ කවුරුහරි ජතිවාදින් කිව්ව පළියට ඔබ පිලිගන්න එපා. ඔබ කල්පනා කරල බලන්න කියල. තවත් නීතිඥ මහත්තයෙක් කියනව එක්තරා රෝහලක මුස්ලිම් වරුන්ට විතරක් සියයට 15ක් අඩුවෙන් අඩුකරනව කියල. මම කිව්වා ඒ මහත්තයට ඔබ ඒ රෝහලෙන් අහන්න මම මුස්ලිම් මහත්තයෙක්. මම ඔය රෝහලෙන් බෙහෙත් ගන්න මට සියයට පහළොවක වට්ටමක් දෙනවද කියල. පස්සෙ ඒ මහතා මට කතාකරල කියනව, එහෙම එකක් නෑ කියල මට ඒ රෝහලෙන් කිව්ව කියල. අපෙන් බෙහෙත් ගන්න සියයට අසූපහක් එන්නෙ සිංහල මිනිස්සු කියල කිව්වලු. කවුද මේක පිටිපස්සෙ ඉන්නෙ? ව්‍යාපාරික ප්‍රජාව.
ආගම කියල කියන්නෙ තමන්ගෙ විශ්වාසය සහ ඇදහිලි. හැබැයි සංස්කෘතිකමය වශයෙන් අපි ශ්‍රීලාංකිකයො. අපි ඒක පටලව ගෙන. මේක කියනවට සමහර අය කැමති නැහැ. මම බයත් නෑ. කියන්න ඕන දෙය කියනව. සංස්කෘතිමය වශයෙන් ශ්‍රී ලාංකිකයො, ශ්‍රී ලංකිකයො විය යුතුයි. මුස්ලිම් කියන වචනයේ තේරුම ඉස්ලාම් ආගම අදහනව කියන එක. ජැපනිස් මුස්ලිම් වෙන්න පුලුවන්. චයිනිස් මුස්ලිම් වෙන්න පුලුවන්. සිංගපුර් මුස්ලිම් වෙන්න පුලුවන්. ශ්‍රී ලංකික මුස්ලිම් වෙන්න පුලුවන්. අපි සංස්කෘතියෙන් ශ්‍රී ලංකික වියයුතුයි. ඇඳුමෙන් පැළඳුමෙන් ශ්‍රී ලාංකික විය යුතුයි. කෑමෙන් බීමෙන් ශ්‍රී ලාංකික විය යුතුයි. කළුපාට පොරවගෙන, මුහුණ වහගෙන, මේ ඉස්ලාමිය කොටස් නෙමෙයි. මේ සෞදි ආරාබියාවෙන් ආනයනය කරපු දේවල්. සුඩානයෙන් ආනයනය කරපු දේවල්. එතනින් ඔබ්බට ගිහිල්ලා ශ්‍රී ලංකික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා කැපවිය යුතු කාලයක් ඇවිල්ලා තියන බව මම යෝජනා කරනව. එවැනි ශ්‍රී ලාංකික ස්කෘතියක්, ශ්‍රී ලාංකික සභ්‍යත්වයක්, ජාතීන්ට ගරු කරන, ජාතීන්ගේ අන්‍යොනය අවබෝධය ගොඩනගන, ජාතීන් අතර සහෝදරත්වය ගොඩනගන. ඒ වෙනුවෙන් පෙනී සිටිම තුළින් විශිෂ්ඨ මෙහෙවරක් කරන්න පුළුවන්.
ජාතිවාදීන්ට අවශ්යවලා තියෙන්නෙ මිනිස්සුන්ව බෙදන්න. මේ ඔබේ කොටස. මේ අපේ කොටස. ඔය දෙගොල්ල බෙදා ගන්න මරා ගම්මු. එතකොට මම උඩින්ම ගොඩ යනව. හැබැයි මධ්‍යස්ථ මිනිසුන් හැටියට, මනුස්සකම තියන මිනිස්සු හැටියට අපේ අවශ්‍යතාවය විය යුත්තේ රටේ සියලුම කොටස් අපේ කියන එකයි. එතෙක් අපිට ඉස්සරහට යන්නට බැහැ.
අපි හැමදාම ජාතික ගීය කියනව. එක මවකගෙ දරු කැළ බැවිනා. යමු යමු වී නොපමා. ප්‍රේම වඩා සැම භේද දුරලා… මොකක්ද වෙන්නෙ, කොහාටද අපි යන්නෙ? මුස්ලිම් ළමයින්ට මුස්ලිම් ඉස්කෝල. සිංහල ළමයින්ට සිංහල බෞද්ධ පාසල. කතෝලික ළමයට කතෝලික පාසල. හින්දු දරුවට හින්දු පාසල. එක මවකගෙ දරුවො. එක එක පාසැල්වලට යන්නෙ. අපේ රටේ තියෙන්නෙ. ශ්‍රී ලාංකික පාසල් ද? ජාතීන් මත පදනම් වෙච්ච ජාතිකවාදී පාසල් ද? ප්රශ්නය තියෙන්නෙ එතන. මම විශ්වාසකරන හැටියට, සිංහල දරුවා සිංහල පාසලකට දාලා උගන්නනව. කියල දෙන්නෙත් සිංහල භාෂාව විතරයි. උගන්නන්නෙත් බුද්ධාගම විතරයි. මුස්ලිම් දරුවා මුස්ලිම් පාසලකට දානව. ළඟ ඉන්නෙත් මුස්ලිම් ළමයි. උගන්නනෙත් මුස්ලිම් ගුරුවරයෙක්. ප්‍රින්සිපලුත් මිස්ලිම්, ඕ.බී. එකෙත් මුස්ලිම් අය. දෙමළ පාසැලට ගියත් එහෙමයි. සියලුම දරුවොටික අවුරුදු පහේ ඉඳල අවුරුදු 19 වෙනකම් බෙදලා තියෙනව. විභේදනය කරනව. ඔවුන් අතර එකිනෙකා පිලිබඳව අන්‍යොන්‍ය අවබෝධයක් ඇති වෙන්නෙ නැහැ. වෙනත් ආගම් උගන්වන්නේ නැහැ. වෙනත් රටවල කරන්නෙ ආගම වෙලාවෙදි උගන්වන්නෙ සියලු ආගම්වල සිද්ධාන්ත. එතනදි මොකක්ද කියන්නෙ. එකිනෙකාට ගරු කරන්න. මනුෂ්‍යත්වයට ගරු කරන්න. කියන එකයි.
ශ්‍රී ලාංකිකයො හැටියට මේ රට අපි ගොඩනගා ගනිමු. දූෂිතයන්ට, වංචනිකයන්ට, ජාතිවාදින්ට අවශ්‍ය විදිහට ගමන් මග හදන්න ඉඩ දීලා අපිට නිහඬවෙලා ඉඳලා බෑ. මේ වනවිටත් අපි ගොඩක් ප්‍රමාද වෙලා ඉවරයි. අපි මොනවද කරන්න ඕනැ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් ඔක්කොම ශ්‍රී ලංකිකයන් හැටියට එකතුවෙලා ලෝකයේ අභිමානවත් රටක් හැටියට ශ්‍රී ලංකික ධජය ඔසවන එකද කළ යුත්තේ? අපි බෙදී වෙන්වෙන එකද කළ යුත්තෙ?
අපි ජාතියක් විදිහට ගොඩනැගෙන්න නම් මේ ප්රශ්නය දිහා මනුස්ස ඇහැකින් බැලිය යුතුයි. අපි සියලු දෙනාම ඒකරාශි කරන මහා පොදු සාධකයක් තියනව. මොකක් ද ඒ පොදු සාධකය? ඒක තමයි මනුෂ්‍යත්වය. සිංහල හෝ වේවා. මුස්ලිම් හෝ වේවා, දෙමළ හෝ වේවා අපි සියලුදෙනා අතර අසමානකම් තියනවා. ඊටත් වඩා විශාල සමානකම් තියනව. විශාලතම සමානකම තමයි, මහා පොදු සාධකය තමයි මනුෂ්‍යත්වය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ යුතුයි. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. වෙන දෙයක් ඔහුට දැනුනෙත් නැහැ. එය මිලේච්ඡ ත්රස්තවාදයක්. එය කිරීම සම්බන්ධයෙන් මේ රටේ හමුදාවට ඒ සියලු දෙනාට අපේ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් ඉන් පස්සෙ ඒක මත දාලා දෙමළ මිනිස්සු පීඩාවට පත් කරන්න අපිට පුලුවන්ද? ඔවුන් අපේම මිනිස්සු. අපේම සහොදරවරු. ඔවුන්ට රට පිළිබඳව ශ්‍රී ලාංකිකත්වය පිළිබඳව විශ්වාසයක් ගොඩ නගන්න හැකිවෙලා තියෙනවද අපිට. ඒ නිසා තවම ඔවුන් අවිශ්වාසයෙන් එකිනෙකා දිහා බලාන ඉන්නව.
1980 සිම්බාවෙ රාජ්‍ය ඉංග්රසිංගෙන් කළු ජාතිකයො නිදහස අරගත්ත. රොබඩ් මුගාබේ බලය අරගත්තා. මොකක්ද කළේ සුදු ජාතිකයන්ටික එළවලා දාලා. ඔවුන්ට අමානුෂික විදිහට සලකලා. ඔවුන්ගෙ ව්‍යාපාර බලෙන් අරගෙන සම්පූර්ණ ආර්ථිකයම කඩා කප්පල් කරල දාලා තියෙනව. ඔබ දන්නව අද එහි මිලියන 500 නෝට්ටු ගහනව. එච්චරටම ආර්තිකය කඩා වැටිල. එච්චර වැදගත් රටක් වෙලත්. ඊට සාපේක්ෂව දකුණු අප්‍රිකාව බලන්න. දකුණු අප්‍රිකාව ඊට අවුරුදු පහළොවකට විතර පස්සෙ තමයි. 1994 – 1995 විතර තමයි වර්ග භේදවාදය පරදලා. වර්ණ භේදවාදය පරදල කළු ජාතිකයන්ගෙ බලය ලබා ගත්තෙ කෘතහස්ත නායකයෙක් වූ නෙල්සන් මැන්ඩලා මැතිතුමා. එතුමා සුදු ජාතිකයන් එළවලා පාරෙ මරල දැම්මද? සුදු ජාතිකයන්ගෙ දේපල බලෙන් උදුර ගත්තතද? කීප දෙනෙක් කරපු වැරදිවලට සුදු ජාතිකයො සියයට දහයක් ගිනි තියල දැම්මද? නෑ. හෙමින් හෙමින් ඔවුන් විශ්වාස කරගෙන, අලුත් තේමා පාඨයක් එක්ක, අලුත් සටන් පාඨයක් එක්ක, අලුත් රටක් ගොඩනැගුවා. ඒ ගොල්ලො කියනව රේන්බෝ නේෂන් කියල. ඒ කියන්නෙ දේදුනු රට. කළු අය ඉන්නව. සුදු අය ඉන්නව. ඉන්දියානු අය ඉන්නව. ඔවුන්ගෙ රටේ දේදුන්නක පාට වගේ විවිධ මිනිස්සු ඉන්නව. සිම්බාවෙ එහෙම නෙමේ. හ්රුඟක් සුදු ජාතිකයො තමන්ගෙ රටට ගියා අපිට අනාගතයක් නෑ කියල.
අපේ රටේ විශිෂ්ඨ මොළ කාරයො කොහෙද වැඩ කරන්නෙ? අපේ දක්ෂතම මොළ කාරයො පිටරටවල් වල. නාසා ආයතනයේ විතරක් ශ්‍රී ලංකික විද්‍යාඥයො සීයක් ඉන්නව. කැනඩාවෙ විශ්වවිද්‍යාලවල, ඇමරිකානු විශ්වවිද්‍යාලවල ඔවුන් සියලු දෙනාම ලංකාවට ගෙන්ව ගන්න ඕනැ. ඔවුන් එයිද මේ තියන ක්‍රමවේදය අනුව. ඒ සියලුදෙනාටම ගෞරවයෙන් ජීවත්විය හැකි ශ්‍රී ලංකික දේශයක් ගොඩනැගීමට අපි හැම දෙනාම ඇප කැපවිය යුතුයි.
මනෝජ් රූපසිංහ
