|

ජනපති ප්‍රකාශයෙන් කැබිනට් මණ්ඩලය රත්වේ

 

ගාල්ල බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සියවස් සමරුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය පළමුවනදා එක් වුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ දැන් ඉන්න දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත් වූ වහාම කරන්නේ තම දරුවන් ජනප්‍රිය පාසලකට දාගැනීම බවයි. තමන් කළේ එයට ප්‍රතිවිරුද්ධ දෙය බව ජනාධිපතිතුමා කීවා.

“මම මුල්වරට අසූනවය වර්ෂයේ පාර්ලිමේන්තුවට පත්වන විට මට දියණියන් දෙදෙනෙක් සිටියා. මගේ ඒ දුවල දෙන්නා ඉගෙන ගත්තේ ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය යැයි සම්මත පාසලක‍. 89 දී පාර්ලිමේන්තුවට පත් වූ වහාම මම කළේ මගේ දුවලා දෙන්නාව පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු කිරීම. ඒ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලැබුණා. මා ඒ අයට කීවේ මම පොළොන්නරුව මධ්‍ය මහා විද්‍යාලයට ගිහින් මන්ත්‍රීවරයකු වූවා නම් ඇයි දරුවනේ අධ්‍යාපනයේ වඩා හොඳ තත්ත්වයක් ඇතිකර ගන්න මම ගිය පාසලට යන්න බැරි කියල’ යැයි ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

මේ රජයේ ප්‍රතිපත්තිය ගමේ පාසල හොඳම පාසල කිරීම බවත්, රජය ඒ සඳහා විශාල මුදලක් වියදම් කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් කීවා. ඇතැම් වෙලාවට ජනප්‍රිය යැයි කියන පාසල්වලට වඩා හොඳ අධ්‍යාපනයක් ගමේ පාසලෙන් ලැබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

රත්නපුර රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය, ලේ බැංකුව හා එක්ස් කිරණ ඒකකය හා රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපතිතුමා පසුගියදා සහභාගී වුණා. එහි දෙමහල් වාට්ටු සංකීර්ණය සඳහා රුපියල් මිලියන සියයක් වැයකොට තිබුණේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් විසින්. අනෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජය මිලියන තුන් සියයකට අධික මුදලක් වැයකොට තිබුණා.

මේ දිනවල උදේ පුවත්පත් අරගෙන බැලුවාම දරුවන්ට කියවන්න, දකින්න තියෙන්නේ මනස අවුල්කරන උද්ඝෝෂණ බවත් ඒවා දකින කෙනෙකුට හිතෙන්නේ රටේ ආණ්ඩුවක් තියනවාද කියලා බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. නාය ගිය ප්‍රදේශවල සංචාරය කිරීමේ දී දැනගන්නට ලැබුණේ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන අවිධිමත්ව මහා පරිමාණයෙන් කරන මැණික් කර්මාන්තය මෙම විපත්වලට එක හේතුවක් බව යැයිද ජනාධිපතිතුමා කීවා. අප ක්‍රියා කළ යුත්තේ පරිසරයට හානි නොවන ලෙස බව එතුමා පෙන්වා දුන්නා.

ඇමරිකන් ජාතික ලුවිස් ඇලන් මහතාද රත්නපුර රෝහලේ ඉදිකිරීම් සඳහා අනුග්‍රහය දක්වා තිබුණා. ජනාධිපතිතුමා ඇලන් මහතාට සමරු තිළිණයක් පිළිගන්වමින් ඔහුට තම ස්තූතිය ප්‍රකාශ කළා.

ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ආසන්නයේ ඉදිකර ඇති ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට ජනාධිපතිතුමා පසුගිය අඟහරුවාදා සහභාගී වුණා. එහි දී ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පක්ෂයේ වෘත්තීය සමිතිත් එකම මානවවාදී ගමනක් පැමිණි නිසා රටේ විශාල වෙනස්කම් සිදුකළ හැකි වූ බවයි. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිදු වූ දේශපාලන පරිවර්තනයට තමා සම්බන්ධවීම නිසා පක්ෂයේ වෘත්තීය සමිතිවලට හොඳ කලක් ලැබූ බවත්, එසේ නොවූයේ නම් විශාල අපහසුතාවලට මුහුණදීමට සිදුවිය හැකිව තිබූ බවත් ජනාධිපතිතුමා එහි දී පෙන්වා දුන්නා.

පක්ෂ දෙකක් එකතුවී ආණ්ඩු කරන විට නොයෙකුත් ප්‍රශ්න, ගැටුම් ඇතිවන බවත්, එම ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් සොයමින් මේ ගමන යා යුතු බවත් මෛත්‍රිපාල සි‍රිසේන ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

පක්ෂයේ වෘත්තීය සමිති අංශය භාරව සිටින ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා වෘත්තීය සමිති වෙනුවෙන් සකස්කළ යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට භාරදීමද මේ අවස්ථාවේ දී සිදු වුණා. පක්ෂයේ වෘත්තීය සමිති කටයුතුවලට දිගු කලක් දායක වූ නායකයන් තිදෙනකුට සමරු තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා.

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් පසුගිය පාලනයේ දූෂණ වංචා සෙවීමට පත්කළ ආයතන අකාර්යක්ෂම බවත් ඒවාට දේශපාලනඥයන් බලපෑම් කරන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවත් ජනාධිපතිතුමා කීවා. යම් හෙයකින් රාජපක්ෂවරුන් යළි බලයට පත්වුවහොත් තමන්ටත් පවුලේ අයටත් විනාශය අත්වනු ඇති බව කී ජනාධිපතිවරයා, එෆ්.සී.අයි.ඩී ය හා නීතිපති දෙපාර්තමේන්තුව තමන් යටතට දුන්නොත් දූෂිතයන් හෙළි කිරීම මාස තුනකින් කළ හැකි බවත් ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දි‍රයේ දී සඳුදා පැවැත්වුණු දෙස් විදෙස් නව ආයෝජන සහිතව ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය වර්ධනය කිරීම සඳහා වු සැලැස්ම එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වුණා.

එහිදි අගමැතිවරයා අවධාරණය කළේ විදේස් ආයෝජන සඳහා අපේ රටේ ඇති බාධාවන් ඉවත් කිරීමට රජය උපරිමයෙන් ක්‍රියා කරන බවයි. ඒ සඳහා අවශ්‍ය නව නීති ගෙන ඒමට රජය කටයුතු කරන බව කී වික්‍රමසිංහ මහතා හඳුන්වා දෙන මාර්ග සිතියම මගින් ව්‍යාපාර පවත්වාගෙන යාමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දෙන බවත් මේ යටතේ ඉඩම් අයිතිය පිළිබඳ නව නීති ගෙන ඒම, නව ආර්ථික කලාප ඇති කිරිම, ඩිජිටල් ආර්ථිකයක් බිහි කිරීම හා විවිධ ක්ෂේත්‍රයන් සඳහා කාර්ය සාධක බලකායක් ඇති කිරීම සිදු කරන බවත් පැවසුවා. 1977 දී එක්සත් ජාතික පක්ෂය විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විට ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටියේ ආසියාවේ රටවල් කිහිපයක් පමණක් වුවත් අපට පසුව විවෘත ආර්ථිකය හඳුන්වා දුන් බොහෝ ගණනක් ඉදිරියට ගොස් සිටින බව ද පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ නව දොළොස්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය බදාදා අගමැති වික්‍රමසිංහ මහතා සහභාගි වුණා. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාද මේ අවස්ථාවට එක් වී සිටියා. එහිදි අගමැතිවරයා සභාව අමතමින් පැවසුවේ නව ගොඩනැගිල්ල දැක තමන් විස්මයට පත් වු බවත් මෙම ආයතනයෙන් කුමන උපාධියක් පිරිනැමුවත් වෛද්‍ය උපාධි ලබා නොදෙන්නැයි එහි පැමිණි විගස තමා මහ බැංකු අධිපතිවරයාට පැවසූ බවත්ය. පසුගිය වසර දෙක තුළ රජය ඉතා අසීරු තීරණ ගත් බවත් එම තීරණ අනුව ක්‍රියාත්මක වීමෙන් පසුගිය රජය ගෙන තිබු ණය සඳහා ගෙවිය යුතුව තිබු පොලිය ගෙවීමට රජයට හැකි වු බව ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළා. විදේශ ආයෝජන ලබා ගෙන දළ දේශිය නිෂ්පාදනය වැඩි වූ විට තව වසර පහකින් දහයකින් ණය මුදල් ගෙවීමට හැකියාව ලැබෙන බව ද අගමැතිවරයා පැවසුවා.

පසුගිය ආණ්ඩුවේ ආයෝජනයට අහිතකර ප්‍රතිපත්ති නිසා තරඟකාරි රටවලට වාසි හිමි වු බවත් පසුගිය රජය ආර්ථිකය වර්ධනය කර නිසි වේලාවට ජනාධිපතිවරණය පැවැත්වුවා නම් තමා අද අගමැතිවරයා නොවන බව ද වික්‍රමසිංහ මහතා පැවසුවා. ආර්ථිකය අතපසු කර දේශපාලනය කළ නොහැකි බව සමහරු තේරුම් ගෙන නොමැති බව ද අගමැතිවරයා එහිදි පෙන්වා දුන්නා.

ශ්‍රේෂ්ඨාධිකරණය බදාදා දුන් අතුරු නියෝගයකින් මුතුරාජවෙලට කුණු දැමීම තාවකාලිකව තහනම් කළා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා එදින පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගෙන් කෙළින්ම ප්‍රශ්න විමසන අවස්ථාවේදි විමසා සිටියා. අගමැතිවරයා පැවසුවේ මෙවැනි නියෝග නිසා ඩෙංගු ප්‍රශ්නය වැඩි දියුණු වෙන බවයි. කෙසේ වෙතත් මෙම නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයට කරුණු දක්වන බව අගමැතිවරයා පැවසුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා මන්නාරම ඉඳිකෙරුණු ජල සම්පාදන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට අද (07) සහභාගි වන අතර හෙට පෝය දිනයේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සහ රුවන්වැලි මහා සෑයේ ආගමික වතාවත්වලට සහභාගි වී එහි නායක ස්වාමීන් වහන්ස්ලාද ශ්‍රී සාරානන්ද පිරිවෙන්වාසි ගිරාඹේ ආනන්ද නාහිමියන්ද හමු වීමට නියමිතය.

ඉකුත් වසරේ දඹුල්ල ප්‍රදේශයේ පැවැති ‘යොවුන් පුර’ වැඩසටහනට සමගාමීව මුල්ගල් තැබුණු “රන්තුරුණුගම” යොවුන් ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය පැවැත්වුණේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. එහි නිවාස 27 හිම පදිංචි වී සිටින්නේ තරුණ වියේ පවුල් වීම විශේෂත්වයක් වුණා. එහි ගෙවතුවල විවිධ බෝග වගාකර සශ්‍රීකව පැවැතීම සජිත්ට මහත් ආශ්වාදයක් ගෙන දුන්නා. මේ අපූරු වැඩපිළිවෙළ ගැන ශාන්ත සේනාරත්න දිස්ත්‍රික් කළමනාකාරවරයාගෙන් විමසූ සජිත්ට ඔහු කීවේ “තාක්ෂණ නිලධාරියෙක් හැටියට පුහුණු වෙන නිශාන් කුලරත්න කියල තරුණ ළමයෙක් තමයි දවල් රෑ නොබලා මේ සේරම කළේ” කියා ය. සජිත් ඒ මොහොතේම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ වහාම මේ තරුණයාට කොන්ත්‍රාත් පදනමින් උසස්වීමක් ලබා ‍දෙන ලෙසයි. නිශාන්ත කුලරත්න යෞවනයා තමන් අසලට ගෙන්වා ගත් සජිත් ඔහුට කීවේ “මං ඔයාට පිටරට පුහුණුවක් ලබා දෙන්නත් කටයුතු කරනවා” යනුවෙනි. “එහෙම තමයි අපි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෑම වෙලාවක ලෑස්තියි.” සජිත් කීවේ මේ කතාබහ උනන්දුවෙන් අසා සිටි රංජිත් අලුවිහාරේ සහ ‍රෝහිණී කවිරත්න මන්ත්‍රී සගයන් දෙදෙනාටයි.

යුද හමුදාවේ දක්ෂම ස්නයිපර් ප්‍රහාරකයෙකුව සිට වසර 2009 අප්‍රේල් මාසයේ ක්‍රියාන්විත මෙහෙයුමේ දී මියගිය ඩබ්ලියු. ඊ. රංජිත් ප්‍රේමසිරි හෙවත් ‘නීරෝ’ නමින් ඔහු ජීවත් වු ප්‍රදේශයේ නිවාස 34 කින් යුතු උදා ගම්මානයක් තැනීම සඳහා සජිත් අතින් මුල්ගල් තැබුණේ 01 වැනිදාය. මෙම ගම්මානය “වීරෝදාර රණවිරු නීරෝ ගම්මානය” ලෙස නම් කිරීමට නියමිතයි. නිවෙසක් නොමැතිව සිටි නීරෝගේ මව වන 67 හැවිරිදි රීටා ප්‍රනාන්දු මහත්මියට ආණමඩුව “ගම් උදාව’භූමියේ පර්චස් 21ක බිම් කොටසක නව නිවසක් ඉදිකර දීමට තීරණය කරනු ලැබුවේ ඉකුත් මාර්තු මාසයේදීය. සජිත් මුල්ගල් තැබීමේ උත්සවයෙන් පසුව සිය නිලධාරීන්ද කැටුව ගියේ රීටා ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් නිවස ඉදිකරන ස්ථානයටය. එහි දී එම මාතාව සමඟ පිළිසඳරේ යෙදෙමින් සිටි සජිත් ඇසුවේ “වෙන මොනවද අම්මට අපෙන් වෙන්න ඕනෑ” යනුවෙන් .”අනේ පුතේ මගේ මැරිච්ච පුතාගේ පිළිරුවක් හදාගන්න ඇත්නම් හොඳයි “කියා ඇය කියද් දී සජිත් කීවේ ‘හරි! ගම්මානය විවෘත කරනදාට ඒ පිළිරුවත් විවෘත කරමු” යනුවෙන්.

33 වැනි ‘උදා ගම්මානය’ වන “කණ්ඨාභරණගම” විවෘත කෙරුණේ කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැල්බැඳියාවේයි. සජිත් එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී හා කොට්ඨාස සංවිධායක චන්දිම ගමගේ සමඟ සෑම නිවසකම පීත්ත පටි කපමින් ඒ නිවෙස් සියල්ල විවෘත කළා. උත්සව වේදිකාවේ අසුන් ගෙන සිටිද් දී සජිත් චන්දිමගෙන් හදිසියේම ඇසුවේ “අපේ තාත්තයි, ඔයාගේ තාත්තා – මහින්දසෝම ඇමතිතුමයි එකතුවෙලා මෙහේ කොච්චර උදා ගම්මාන හදල තියෙනවාද” කියාය . චන්දිමගේ පිළිතුර වූයේ “ගොඩක් හදල තියෙනවා. ගණන නම් හරියට කියන්න දන්නෙ නෑ” කියාය.

සජිත් එවෙලේම සිය නිලධාරීන්ට කීවේ එම ගම්මාන පිළිබඳ සංගණනයක් කර නිවැරදි සංඛ්‍යාව ඉක්මනින්ම ලබා දෙන ලෙසයි. සජිත් අනතුරුව චන්දිමට කීවේ “අපේ තාත්තයි, ඔයාගෙ තාත්තයි හදල තියෙන ගම්මාන ගාණට 1ක් හරි වැඩියෙන් අපි දෙන්න එකතුවෙලා හදමු! කියායි.

මුලතිව්, මාන්තායි නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති නිල මෙහෙවර ජනපති ජනතා සේවයට වජිර අබේවර්ධන ඇමතිවරයා ඉකුත් 02 ඉරිදා සහභාගි වූයේ කාදර් මස්තාන් මන්ත්‍රීවරයාද සමගින්. අතිදුෂ්කර ප්‍රදේශයක් වූ මාන්තායි නැගෙනහිර කොට්ඨාසයේ ජනතා ගැටලු විසදීම සඳහා ඇමැති වජිර එදින උදේ වරුව පුරා එහි සිටිමින් මැදිහත් වූයේ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ද සමගිනි.

ඉන් පසුව කෙළින්ම වජිර අබේවර්ධන ඇමතිවරයා මහනුවර බලා පිටිත් වුණා. ඒ කලින් යොදා ගෙන තිබූ පරිදි මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරු බැහැ දැක ආශීර්වාද ලබාගැනීමටයි. මුලින්ම අමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වතු මහා විහාරයට ගොස් අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නායක හිමියන් බැහැදුටුවා. එහි දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස සිදු කරනු ලබන සංවර්ධන වැඩපිළිවෙළ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහන පිළිබඳව මහනායක හිමිවරු හමුවේ අමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉන් අනතුරුව අස්ගිරි මහ නායක අති පුජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැ දුටුවා.

මල්වතු, අස්ගිරි මහා නායක හිමිවරු සමඟ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කළ අතර මහ නායක හිමියන්ට දුරකථනය මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද අමාත්‍යවරයා විසින් සම්බන්ධ කර දුන්නා.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්, ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නාමල් අබේවර්ධන, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර යන මහත්ම මහත්මීහු එක් වී සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා බලකාය විපතට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සලසන සංවිධානයක්. මේ වනවිට ඩෙංගු උවදුරෙන් විශාල පීඩාවකට පත්වී සිටින ජනතාව වෙනුවෙන් කළ හැකි උපකාර සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අවධානය යොමු වුණා. ”දැන් එන්න එන්නම ඩෙංගු රෝගීන් වැඩිවෙලා. අධිවසංගත තත්ත්වයක් බවට පත්වෙලා තියෙන්නේ. මේකට ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් නැහැ. ආණ්ඩුවේ විසඳුම් වෙලා තියෙන්නේ රෝගීන් රෝහල්වලට බාර නොගෙන ඉන්න එක රෝගීන් පිළිබඳව වාර්තා කිරීම නතර කරන එක වගේ දේවල්.” බිමල් රත්නායක කීවා.

අපිට පුළුවන් විදියට මැදිහත් වෙන්න ඕනෑ. සංඛ්‍යාලේඛන මොනවා වුණත් මේ වනවිට ඩෙංගු රෝගීන් ගණන ලක්ෂයක් දෙකක් වෙන්නත් පුළුවන්. මොකද සංඛ්‍යා ලේඛන සහ සත්‍ය තත්ත්වය කොහොමත් පරස්පරයි. ”ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමයින්. අපි ඒ නිසා පාසල් ඇතුළු පොදු ස්ථාන තෝරාගෙන ශ්‍රමදාන ව්‍යාපාරයක් කරමු. රතු තරුව සහන සේවා බලකාය කැඳවලා මේ වැඬේ කරන්න පුළුවන්” ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියා. ඒ අනුව ජුලි 08 සහ 09 දෙදින පුරා පළමු අදියර ලෙස පාසල් රැසක් සහ පොදු ස්ථාන රැසක් පිරිසිදු කිරීම් කටයුතු කිරීමට කටයුතු සංවිධානය කෙරුණා.

කෘෂිකර්ම අමාත්‍යංශ පාර්ලිමේන්තු කාරක සභාව 06වෙනිදා දිනයේ රැස්වුණා. මෙහි දී ගොවි වන්දි ලබාදීම පිළිබඳවද අවධානය යොමු වුණා. මේ වනවිට ආණ්ඩුව ගොවි වන්දි ලෙස රුපියල් හතළිස්දාහසක් ලබාදීමට පොරොන්දු වී තිබුණද ලබා දී ඇත්තේ රුපියල් දසදහසේ වාරිකයක් පමණයි. ඇතැම් ප්‍රදේශවල දී එම වාරිකයෙන්ද ගොවියන් අතට ලැබී ඇත්තේ රුපියල් අටදහස් පන්සියයක් පමණයි. මේ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර ගොවි වන්දි ලබාදීම කඩිනම් කළ යුතුයැයි විජිත හේරත් කමිටුවේ දී යෝජනා කළා.

මේ අතර ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට දිවයින පුරාම ගොවි ප්‍රදේශවල ගොවි සංවිධාන ගොඩනගමින් තිබෙනවා. පසුගිය සතියේ වව්නියාව, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, පොළොන්නතරුව ප්‍රදේශවල විශාල රැස්වීම් ප්‍රමාණයක් සංවිධානය කළ අතර ගොවි සංවිධාන ගොඩනැගීම ආරම්භ කළා. ”අපි ඔබතුමා දැකලා තිබුණේ ටීවී එකෙන් විතරයි. අද මගේ ඇස් දෙකෙන්ම දැකගන්න මම වාසන්වන්ත උනා. මම ආශීර්වාද කරනවා අපි වෙනුවෙන් කරන වැඩවලට” වව්නියාව ප්‍රදේශයේ රැස්වීමක් අවසන්වූ පසුව නාමල් කරුණාරත්න අසලට පැමිණි ගොවි මවක් කියා සිටියා. ”අපි කාලයක් යුද්දෙන් බැට කෑවා. දැන් අලින්ගෙන් බැට කනවා. වගා කරන්න වතුර නැතව බැට කනවා.

ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා මන්ත්‍රීවරුන් නොවන අය පත්කිරීම නිසා විවිධ අවස්ථාවල ගැටලූ මතුවී වුණා. මේ සම්බන්ධයෙන් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ දී ප්‍රශ්න කළා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තුන්සිය පනස් ගණනකින් අසූ දෙකකම මේ ආකාරයෙන් මන්ත්‍රීවරුන් නොවන පක්ෂවල ආසන සංවිධායකයින් පත්කර තිබෙනවා. ”ඇතැම් කමිටුවලට පක්ෂවල සංවිධායකයින් පත්කරලා.

මේක ආයතනික ව්‍යුහයක්. නිලධාරීන් ජනතා නියෝජිතයින් තමයි මේ කමිටු නියෝජනය කළ යුත්තේ. නමුත් පක්ෂ නායකයින් තමන්ගේ හිතවතුන් පත්කරගන්න තැනක බවට පත්කරගෙන.” නලින්ද ජයතිස්ස කියා සිටියා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දුන් අතර මේ පිළිබඳව දැඩි කළකිරීමෙන් සිටියේ ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්. වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ ගැටලූව මතු කිරීමත් සමඟ ආණ්ඩුවේම මන්ත්‍රීවරු උදාහරණ ගණනාවක් ඉදිරිපත් කිරීමට පටන් ගත්තා.

ඒකාබද්ධ විපක්ෂය පසුගිය දිනවල කළ සාකච්ඡාවල දී මතු වූ ප්‍රශ්නයක් වූයේ රටේ මතුව තිබෙන උද්ඝො­්ෂණවලට තමන්ට සෘජුව මැදිහත්වීමට තිබෙන නොහැකියාවයි. ‘සයිටම්’ ප්‍රශ්නය, උමාඔය ප්‍රශ්නය, හම්බන්තොට ප්‍රශ්නය වැනි බොහෝ ප්‍රශ්නවලට හේතුව රාජපක්ෂ සමයේ ගත් තීන්දු තීරණවීම එයට ප්‍රධාන හේතුවක් වෙලා. එමෙන්ම සයිටම් සටනට නායකත්වය දීම පෙරටුගාමි පක්ෂය සිදුකරන අතර, උමාඔය ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණ අතට ගෙන තිබෙනවා. මෙහි දී ඒකාබද්ධ විපක්ෂයේ දිනේශ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසකගේ යෝජනාව වූයේ ත්‍රිකුණාමල වරාය සංවර්ධනයට ඉන්දියාව සමඟ ගිවිසුම් අත්සන් කිරීමට එරෙහිව උද්ඝොෂණයක් ආරම්භ කළයුතු බවය. ජුලි තුන්වැනිදා ත්‍රිකුණාමලයේ රැස්වීමක් සංවිධානය කළේ එම අරමුණ ඇතිවයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ත්‍රිකුණාමල ක්‍රියාකාරින් කීවේ ත්‍රිකුණාමලයේ සංවර්ධනයට ඉන්දියාව ගෙනඑනවාට ජනතාවගේ විරෝධයක් නොමැති බවයි. ඒ අනුව තුන්වැනිදා ත්‍රිකුණාමලයේ පැවැති රැස්වීමේ තේමාව ‘ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවමු’ යනුවෙන් වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තීරණය කළා.

ත්‍රිකුණාමලයේ මැක්හෙයිසර් ක්‍රිඩාංගනයේ පැවැති රැස්වීමට දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහභාගී වී සිටියා. එහි දී කතාකළ මහින්ද රාජපක්ෂ මහතා කීවේ ආණ්ඩුවට වැඩ කරන්න බැරි එයට ප්‍රතිපත්ති ගණනාවක් ඇති නිසා බවයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය පැහැදිලි බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය පැහැදිලි නැති බවත් ඔහු කීවා. මේ ආණ්ඩුව කරගෙන යන්නේ එළහරකයි මී හරකයි ඈඳා කුඹුරු හානවා වගේ වැඩක් බව ද රාජපක්ෂ මහතා කීවා.

මෙහි දී රාජපක්ෂ මහතා තවත් කතාවක් කීවා. පාසල් සිසුන්ට ආණ්ඩුවෙන් දෙන්නේ බාල රෙදි බවත් එයින් ෂර්ට් එක මැහුවොත් කලිසම මහන්න බැරි බවත් කලිසම මැහුවොත් ෂර්ට් එක මහන්න බැරි බවත් ඒ මහතා කීවා.

ඒ මහතා ජනාධිපතිව සිටිය දී පැවැති මේ තත්ත්වය වත්මන් ආණ්ඩුව පැමිණි පසු වෙනස් කළ බවත්, සිසුන්ට කැමැති රෙද්දක් මිල දී ගැනීමට මුදල් ලබාදීම වත්මන් ක්‍රමය බවත් රාජපක්ෂ මහා දැන සිටියේ නැහැ. රාජපක්ෂ මහතාගේ මෙම වරද පෙන්වාදීමට කිසිවකු ඉදිරිපත් වූයේ නෑ.

මෙහි දී කතා කළ දිනේශ් ගුණවර්ධන මහතා කීවේ ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට සම්පූර්ණයෙන් පවරාදීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවයි. ඉන්දියාවෙන් ත්‍රිකුණාමලයේ යොදවන විශාල ප්‍රාග්ධන ආයෝජනයේ ආරක්ෂාවට ඉන්දියානු හමුදා පැමිණීමට ඉඩ ඇති බවත් ගුණවර්ධන මහතා කීවා.

ගොසිප්ලන්තය – දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *