දේශපාලන න්‍යාය පත්‍ර නැති අය වැයක් – ආචාර්ය ලක්මාල් වීරතුංග
- අද පවතින ආර්ථික අර්බුදය යම් යහපත් දිශාවකට යොමු වේවි
- මෙවර අය වැය මඟින් පුද්ගලීකරණය ගැන හොඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා
- සමහරු දේශපාලන වාසි සඳහා මේ ඇත්ත දැන දැනම නොදන්නා විදිහට ඉන්නවා
- ආර්ථිකයට බරක් වුණ ආයතන පුද්ගලීකරණයට මම එකඟයි
- ආර්ථික අර්බුදය විසඳන්න ජනාධිපතිවරයා සාධනීය උත්සාහයක නියැළෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි වර්ෂය සඳහා අය වැය යෝජනා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් මේ අය වැය යෝජනා තුළ ඇතුළත්ව තිබෙන බව විශ්ලේශකයෝ සඳහන් කරති. මේ ඒ ගැන වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලක්මාල් වීරතුංග මහතා සමඟ සිදුකළ සංවාදයකි මේ.
l මෙවර අය වැය පිළිබඳ ඔබේ අදහස කුමක්ද.?
මේ අවස්ථාව ඉතාමත් අසීරු අවස්ථාවක් විදිහටයි සලකන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මේ අය වැය වඩාත් කල්පනාකාරීව සහ මැදහත් ලෙස අධ්‍යනය කර ඇති කළ යුතු අය වැයක් විදිහටයි ඉදිරිපත් කර තිබෙන්නේ.අද රට ඉතාමත් බරපතළ ආර්ථික තත්ත්වයකයි තිබෙන්නේ. ඒ තත්ත්වය කළමනාකරණය කිරීමට මේ අය වැය මඟින් උත්සාහ කර තිබෙන බවක් පෙනෙනවා. මේ අවස්ථාවේදී අපට ලොකු ඉලක්ක, සුභසාධන කටයුතු ගැන විතරක් බලා වැඩ කරන්න හැකියාවක් නැහැ. මූලිකව අප මේ අර්බුදයෙන් ගැලවීමට අවශ්‍ය මූලික කරුණු හඳුනා ගන්න ඕනෑ. එසේ කිරීම මඟින් රටට හැකියාව ලැබේවි. නව පාරක ගමන් කිරීමට.
l ඔබ කියන්නේ මෙවර අය වැය මඟින් රටේ ආර්ථික ස්ථාවරභාවය ආරක්ෂා කිරීමටත් කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩ නැඟීමටත් හැකියාව ලැබෙනු ඇතැයි කියාද?
අද රට තියෙන්නේ සුවපහසු තැනක නොවෙයි. පසුගිය අවුරුදු දෙකේදී රට විශාල කඩා වැටීමකට ලක් වුණා. ආර්ථිකය ලොකු කඩා වැටීමකට ලක් වුණා. ඒ තත්ත්වය තුළ සුභසාධන අය වැයක් ගෙන ඒම කිසිසේත් සිදු කළ නොහැකි දෙයක්. ඒ නිසා මෙවර මුදල් ඇමැතිවරයා විදිහට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අය වැය රටේ අනාගතය ගැන සලකා ඉදිරිපත් කළ අය වැයක් විදිහට හඳුන්වා දීම වඩාත් නිවැරැදියි. ජනප්‍රිය යෝජනා මේ අය වැය තුළ ඇතුළත් නොවුනත් අද අර්බුදයට මේ අය වැය තුළින් යම් විසඳුමක් ලැබෙනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතුන් ලෙස අපට මේ අය වැය තුළින් ධනාත්මක ප්‍රවේශයක් ලැබී තිබෙනවා. මෙහි ප්‍රතිඵලය ලබන අය වැය එද්දි සම්පූර්ණයෙන්ම ලැබෙනවා කියල කවුරුන් හෝ හිතනවා නම් ඒක වැරැදි අදහසක් මේ අය වැය ගොඩක් දුර දිග බලා ඇති කළ යෝජනාවලියක්.
l ජනප්‍රිය යෝජනා නැතිව අය වැයක් සාර්ථක නොවන බවට අදහසක් තිබෙනවා. ඒ අදහස ගැන ඔබේ මතය කුමක්ද.?
ජනප්‍රිය නොවන අය වැයක් කියන්නේ ජාතික න්‍යාය පත්‍රයක් සහිත අය වැයකටයි. මෙවර අය වැය යෝජනාවල සුභසාධනය කියන කරුණ වැඩිදුරට අවධානය යොමු කරන්නේ නැහැ. මෙතෙක් කාලයක් සුභසාධන අය වැය රැසක් ඉදිරිපත් කළත් ඒවායෙන් සිදු වූ යහපතක් නැති බව අද වෙද්දි තහවුරු වෙලා තිබෙනවා. මම කියන්නේ නැහැ ජනතාවගේ සුභසාධනය සම්පුර්ණයෙන්ම අතහරින්න කියල. ඒත් අද අප සිටින අර්බුදයේ පරිමාණය අනුව වඩාත් වැදගත් වෙන්නේ දේශපාලන න්‍යාප පත්‍ර අතහැර කටයුතු කළ හැකි තැනකට රට පත් කිරීමයි. මෙවර අය වැය කතාවෙන් ජාතික වැඩපිළිවෙළක් ජාතික න්‍යාය පත්‍රයක් ගැන අවධානය යොමු කර තිබෙන බව සඳහන් කළා. එම අදහස වඩාත් නිවැරැදි එකක් විදිහටයි අප හිතන්නේ.
l බදු අනුපාත වැඩි කිරීම, පොලී අනුපාත වැඩි කිරීම වැනි ආර්ථික උපක්‍රම කොතෙක් දුරට සාර්ථක ද යන්න ගැන විග්රහ කළ හැකිද.?
මේ අවස්ථාවේ අනිවාර්යෙන්ම වෙන්න ඕනෙ දෙයක් තමයි බදු අනුපාත වැඩි කිරීම, ණය පොලී අනුපාත ඉහළ දැමීම මෙන්ම ස්ථිර තැන්පතුවල පොලිය වැඩි කිරීම. ඒ යෝජනා මඟින් පසුගිය කාලයේ දී විවිධ ජීවන අංග (ජීවිතය පහසුකර ගැනීම සඳහා වූ අංග) මඟින් සිදුවුණ මුදල් විසිර යාම වෙනුවට නැවතත් බැංකු පද්ධතිය වෙත වැඩි වැඩියෙන් මුදල් ඇදී එන ක්‍රමයක් ඇති වුණා. සැබැවින්ම මේ වගේ අපහසු කාලයක මෙවැනි ආර්ථික උපක්‍රම වඩාත් සුදුසු දෙයක් විදිහට සඳහන් කිරීමට පුළුවන්.
l පසුගිය කාලයේ සල්ලි අච්චු ගැසීම දිගින් දිගටම සිදු වුණා. මෙම සල්ලි අච්චු ගැසීම මඟින් ආර්ථිකයට මොන විදිහේ බලපෑමක්ද එල්ල වුණේ.?
මුදල් අච්චු ගැසීම මඟින් ආර්ථික අර්බුදය උග්‍ර වුණා විතරක් නොවෙයි ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වුණා. එදා ඒ වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ. එදා සල්ලි අච්චු නොගසා මෙවර අය වැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම් අද ඇති වෙලා තියෙන අර්බුදය ඇති නොවන්නට ඉඩ තිබුණා.
l මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කොයි කාලයේදී සිදු කළා නම් සුදුසු යැයි සිතනවාද.?
කොවිඩ් අර්බුදය ඇති වුණ මුල් කාලයේදී මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නම් වඩාත් සුදුසුයි කියලයි මම හිතන්නේ. සල්ලි අච්චු ගහන එක වෙනුවට දූරදර්ශී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා නම් අද ඇති අවුල බොහෝ දුරට පාලනය කර ගැනීමට හැකියාව තිබෙන්නට ලොකු ඉඩක් තිබුණා.
l එහෙත් අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ වෙත වෙන් කළ ප්‍රතිපාදන සීමා කිරීමකින් තොරව සපයා දීමට මෙවර අය වැයෙන් යෝජනා වී තිබෙනවා.?
ඇත්තෙන්ම සුභසාධනය ගැන යම් පාලනයක් තිබුණත් අධ්‍යාපන අංශය, නිදහස් සෞඛ්‍ය වෙත ලබා දෙන ප්‍රතිපාදන අඩු කරලා නැහැ. මෙවැනි අමාරු කාලයක මෙම ප්‍රතිපාදන සුරැකීම හොඳ දෙයක් විදිහට පෙනෙනවා.
l පුද්ගලීකරණය ගැන නැවත මෙවර අය වැය සමඟ ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා. අද රට තිබෙන ආර්ථික තත්ත්වය අනුව පුද්ගලීකරණය සුදුසු දෙයක් ලෙස ඔබ සිතනවාද.?
අනිවාර්යෙන්ම අප රටක් විදිහට යල්පැන ගිය අදහස්වල එල්බගෙන සිටිනවා. වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ පුද්ගලීකරණය කියන්නේ ලොකු බිල්ලෙක් කියන අදහසේ ඉන්නේ. ජනතාවගේ හිත්වලට ඒ අදහස සම්පූර්ණයෙන්ම කාවද්දවා තිබෙනවා. ඒත් ආර්ථිකයට බරක් වුණ ආයතන ජනතා මුදලින් නඩත්තු කරනවා කියන්නේම ජනතාවගේ වළ ජනතාව විසින්ම කපා ගැනීමක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා පුද්ගලිකරණය කිරීම කියන දේට මම එකඟයි.
ඒත් සමහරු දේශපාලන වාසි සඳහා මේ ඇත්ත දැන දැනම නොදන්නා විදිහට ඉන්නවා. ඒත් මෙවර අය වැය යෝජනා මඟින් පුද්ගලිකරණය ගැන හොඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒත් ඒ යෝජනා වැරැදි යෝජනා විදිහට පෙන්වා දීමට සමහරු උත්සාහ කරනවා.
l මෙරට ආර්ථික අර්බුදය යම් පමණකට හෝ විසඳීමට දේශපාලන ස්ථාවරභාවය අවශ්‍යයි. අද තත්ත්වය ගැන ඔබ සිතන්නේ කොහොමද?
අනිවාර්යෙන්ම ආර්ථික අර්බුදය විසඳන්න ජනාධිපතිවරයා යම් සාධනීය උත්සාහයක නියැළෙනවා. ඒ උත්සාහය සාර්ථක වීමට නම් දේශපාලන ස්ථාවරභාවය රට තුළ තියෙන්න ඕනෑ. ඒ ස්ථාවරභාවය තිබුණොත් පමණයි අපට ආර්ථික අර්බුදය ජයගැනීමට හැකියාව ලැබෙන්නේ.
l පසුගිය මාස කිහිපය තුළ උග්‍ර අතට පත් වූ ආර්ථික අර්බුදය යම් තරමකට හෝ විසඳීමට කොයි තරම් කාලයක් ගත වෙයිද.?
සාමාන්‍ය විදිහට බැලුවොත් ඉදිරි අවුරුද්දේ මැද කාලය එන විට අද පවතින ආර්ථික අර්බුදය යම් යහපත් දිශාවකට යොමු වේවි. ඒ ගැන කතා කරනවා නම් අපට සහන දායක තත්ත්වයක් අනාගතයේදී දැක ගැනීමට හැකියාව ලැබේවි.
l ඒ විදිහේ සහනදායි තත්ත්වයක් ඇතිවන බවට ඔබ අනාවැකි පළ කරන්නේ කොහොමද.?
අද වන විට මීට මාස තුනකට කලින් තිබූ ආර්ථික අස්ථාවරභාවය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය පාලනය වෙලා තියෙනවා. ඒ ගැන සතුටුදායක වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාව ලැබුණේ සාර්ථක කළමනාකරණයක් ඇතිවීම නිසයි.අද අපට දක්නට ලැබෙන මූලික ලකුණු අනුව අපට තහවුරු වෙනවා ඉදිරි අවුරුද්ද ඇතුළත අර්බුදය සම්පූර්ණයෙන් විසඳුනේ නැතත් යම් කිසි පාලනයක් ඇතිව ආර්ථිකය නැවත ස්ථාවර තැනකට පත් කිරීමට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් ඇතිව තිබෙනවා.
l ඔබ සඳහන් කළා ආර්ථිකය ජය ගැනීමට නම් දේශපාලන ස්ථාවරභාවයක අවශ්‍ය බව. එය ඇති කරන්නේ කොහොමද?
ජනාධිපතිවරයා ඉතාමත් ඉවසීමෙන් වැඩ කරන බවක් වගේම ආර්ථික උපායශීලිභාවය ඇතිව වැඩ කරන බවක් පෙනෙනවා. ඔහුට මේ කාර්ය සඳහා සහාය අවශ්‍ය කරනවා. ඒත් ජනාධිපතිතුමාට එම අභියෝගාත්මක ගමන යාමට සිදුව තිබෙන්නේ දුෂ්කර මාවතකයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා දේශපාලන ස්ථාවර භාවය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි මම මීට පෙරත් සඳහන් කළේ දේශපාලන ස්ථාවර භාවය මූලික අවශ්‍යතාවක් බව. එහෙම නොවුණොත් ජනාධිපතිතුමා කුමන හොඳ යෝජනාවක් ඉදිරිපත් කළද අවසානයේදී අස්ථාවරභාවය සහ ගැටුම් නිසා ඒ හොඳ යෝජනා යට යාමට ඉඩ තියෙනවා. ඒ නිසා අප මේ මොහොතේ දේශපාලනය ගැන නොවෙයි රට ගැන සලකා බලා සෑමදෙනා වැඩ කරන්න ඕනෑ.
l අර්බුදය ජයගන්න කැපවීම් කළ යුතු බවට සඳහන් වෙනවා. මේ කැපකිරීම් කළ යුත්තේ කොහොමද.?
ජනතාවට විතරක් කැප වීම් කරන්න කියන එක නොවෙයි වෙන්න ඕනෑ. දේශපාලනඥයන්ද කැප කිරීම් කළ යුතුව තිබෙනවා. එහෙම වුණොත් අපට සාර්ථක රටක් අපේ අනාගත පරපුරට භාර දීමට හැකියාව ලැබේවි.
වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය
ආචාර්ය ලක්මාල් වීරතුංග
උදිත ගු ණවර්ධන
දිනමිණ
