ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට එරෙහි කුමන්ත්‍රණයක් !

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් මත දේශපාලනික නොවන අන්තර් – රාජ්‍ය සහයෝගීතා ආගමික වැඩසටහනකට සහභාගී වීමට මෙරටට පැමිනෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කලු කොඩි එසැවියයුතු බවට විමල් වීරවංශ සිදුකල ප්‍රකාශය සහ එම වෙසක් දින සැමරුමට රජය විසින් කරනු ලබන වියදම් පිළිබඳව වැරදිසහගත කරුණු සමාජගත කිරීමට ජනතා විමුක්ති පෙරමුන දරනු ලබන උත්සාහය එකම දේශපාලන න්‍යායපත්‍රයක කොටසක් බවට තොරතුරු වාර්තා වී තිබේ.

බෞද්ධ රාජ්‍යයක් වශයෙන් මෙම වසරේදී එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නොහොත් ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට අවස්ථාව හිමිවීම බෞද්ධයින් වශයෙනුත් ශ්‍රී ලාංකීකයින් වශයෙනුත් සියලු දෙනා සතුටට පත්විය යුතු කරුණකි. එම අවස්ථාවට සහභාගී වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රටවල් කිහිපයක රාජ්‍ය නායකයින්ගෙන් සිදුකල ඉල්ලීම ඔවුන් විසින් පිළිගෙන ඇති අතර ඒ පිරිස අතරින් බුදුන් උපන් අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය නායකයාගේ පැමිණීම විශේෂ වේ.

සියුම් දේශපාලනික සහ ආර්ථික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විට යම් සාකච්ජාවක් ඇති වී ඇති නමුත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී ඒ සම්බන්ධ කිසිදු කරුණක් පිළිබඳව සාකච්ජා නොවන අතර කිසිදු ගිවිසුමකට අත්සන් තැබෙන්නේ නැත. එවන් තත්වයක් යටතේ ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුරදී කිසිවෙකු විසින් හෝ කලු කොඩි ඔසවන්නේ නම් එය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට නොව අප මහා ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරනු ලබන අගෞරවයක් බව වියත් භික්ෂූන් වහන්සේ නමක් අප සමඟ ප්‍රකාශ කලා.

සිංහල ජාතිය සහ බුද්ධාගම සුරකින බවට මහපොළවේ පස් කමින් ප්‍රකාශ කරන විමල් වීරවංශ  සම්බුදු තෙමඟුල සැමරීමට රටේ සියලු ජනතාව ආගම් බේදයකින් තොරව ජාතික වශයෙන් එකට එක්වන අවස්ථාවකදී මෙලෙස පහර දේශපාලන න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු කිරීම පිළිබඳව බොහෝ දෙනෙකු සිය විරුද්ධත්වය පළ කර තිබේ.

එමෙන්ම මේ වන විට එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුමට රජය සහ ඊට අනුබද්ධ රාජ්‍ය ආයතන සිදුකරන ලබන වියදම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුන විසින් ප්‍රශ්න කර ඇති අතර ඒ පිළිබඳව නිසි ආකාරයක සොයාබැලීමකින් තොරව ජනතාවට වැරදි තොරතුරු සන්නිවේදනය කර තිබේ.

අනාගාමික රාජ්‍යයක් වෙනුවෙන් කැපවී සිටින නිර් – ආගමිකයින්ගෙන් සමන්විත ජනතා විමුක්ති පෙරමුණ බෞද්ධ විරෝධී අදහස් පළ කිරීම පුදුම විය යුතු කරුණක් නොවේ. නමුත් රාජ්‍ය මූල්‍ය රෙගුලාසි වලට යටත්ව , නිශ්චිත සැලසුමකට අනුව බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සමරා ආමිස පූජාවක් ලෙස කරනු ලබන වෙසක් සැරසිරි සඳහා කරනු ලබන වියදම් පිළිබඳව වැරදි සහගත මතයක් සමාජගත කිරීමට දරණ උත්සාහය ඉතා පිළිකුල් සහගතය.

විමල් වීරවංශ සහ ජනතා විමුක්ති පෙරමුන වැනි අසාර්ථක පරාජිත දේශපාලකයින්ගේ පාහර දේශපාලන ව්‍යාපෘතිවලට යට නොවී සියලූම ශ්‍රී ලාංකීකයින් සමඟියෙන් සහ සහයෝගයෙන් බුදුරජානන් වහන්සේගේ තෙමගුල සමරන ජාත්‍යන්තර වෙසක් දිනය ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ටද මුල්තැන දෙමින් සැමරිය යුතුය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *