|

රෝහණ විජේවීර ඝාතන පරීක්ෂණයක් නොඉල්ලීමේ අභිරහස – සී ජේ අමරතුංග

 

බටලන්ද ජනාධිපති කොමිසන් සභා වාර්තාව ගැන විවාදය සමග බොහෝ දෙනා මතුකළ ප්‍රශ්නයක් වුයේ එබඳු වධ කඳවුරු ගැන සහ ජවිපෙ නායකයින් අත් අඩංගුවට ගෙන මරා දැමීම ගැන විධිමත් පරීක්ෂණ ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා නොකළේ කුමක් නිසා ද යන්න යි. බටලන්ද කොමිසම පත්කරන ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ දේශපාලන වුවමනාව නිසා ය. ඒ ගැන හෝ වෙනත් වධකාගාර ගැන හෝ කිසිදු පරීක්ෂණයක් ජවිපෙ ඉල්ලුවේ නැත.

රෝහණ විජේවීර යනු ජවිපෙ ගොඩනැගු නායකයා ය. කැරලි දෙකකට නායකත්වය දුන්නේ ඔහු ය. ඔහු අත් අඩංගුවට ගෙන පණ පිටින් ආදාහනාගාරයට විසි කොට ගිනි තබා මැරූ බවට ජවිපෙට සාක්ෂි සහිත තොරතුරු තිබිණි. ඒ ඔවුන්ගේ ඡායාරුප ශිල්පී ඉන්ද්‍රානන්ද ද සිල්වා නම් හමුදා නිලධාරියගෙනි. ජවිපෙ සාමාජිකයකු වූ ඔහු ඒ සියලු තොරතුරු පක්ෂයට ලබා දුන්නේ ය. ගමනායක , ඩී එම් ආනන්ද, හේරත් ඇතුළු නායකයින් ඝාතන ගැන ද සාක්ෂි ජවිපෙ සතුව තිබිණි. රටේ සියලු වධ කඳවුරු පිළිබඳ සාක්ෂි ලබාදිය හැකි ජවිපෙ පිරිසක් එම කඳවුරුවලින් නිදහස ලබා පැමිණ සිටියෝ ය. එසේ සියලු සාක්ෂි තමන් සතුව තිබුණත් අඩු තරමේ විජේවීර ඝාතනය ගැන වත් පරීක්ෂණයක් ඉල්ලීමට ජවිපෙ ක්‍රියා කළේ නැත.

මෙම කාලය තුළ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ධාරාවට පැමිණ ක්‍රියාත්මක වී ය. පරිවාස ආණ්ඩු හැදුවේය. තවත් ආණ්ඩු හදන්නට දායක වී ය. නමුත් කිසි විට ඔවුන් විජේවීර ඝාතනය ගැන හෝ වධ කඳවුරු ගැන පරීක්ෂණ ඉල්ලුවේ නැත.

තේරුම් ගත යුතු කරුණ නම් ජනතා විමුක්ති පෙරමුණේ මෙම හැසිරීම අහම්භයක් නොව එහි නායකයින්ගේ දැනුවත් තීන්දුවක් බව යි.

එබඳු තීරණයකට එක් හේතුවක් නම් අනෙක් අයට ඇතැයි ඔවුන් නොපිළිගත් අයිතීන් තමන්ට ඉල්ලීමට නොහැකි බව ඔවුන් දැන සිටීම යි. තම විරුද්ධ මතධාරීන්ගේ ජීවත්වීමේ අයිතිය සහ මානව හිමිකම් නොපිළිගත් සංවිධානයක් තමන්ට පමණක් එම අයිතිය ඇතැයි කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ කෙලෙස ද ?

ජවිපෙ තීරණයට අනෙක් හේතුව නම් ඔවුන්ගේ අරගලයේ අවසන් කාලය වන විට රටේ වර්ධනය වී තිබු තත්ත්වය ගැන ඔවුන්ට ද තක්සේරුවක් තිබීම යි.

ඔවුන්ගේ අරගලයෙන් ඔවුන් ගොඩ නගාගෙන තිබුණේ සතුරන් ය. වමේ පක්ෂවල නායකයින් සහ සාමාජිකයින්  ඝාතනය කරමින් ඔවුහු එම පක්ෂවල වෛරයට ලක්ව සිටියෝ ය.

එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් සහ සාමාජිකයින් 1960 ක් පමණ ඝාතනය කොට තිබු නිසා ඔවුන් ද සිටියේ වෛරයෙනි.

අනෙක් ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1988 ජනාධිපතිවරණයේ දී ජවිපෙ සහය බලාපොරොත්තුවෙන් සාකච්ඡා කළේය. සිරිමා බණ්ඩාරනායක මැතිනියට ජවිපෙ ඉදිරිපත් කළ ඇතැම් කොන්දේසිවලට එතුමිය එකඟ වුයේ නැත. සාකච්ඡා අවසන් වුයේ ජවිපෙ බණ්ඩාරනායක මැතිනියට කළ තර්ජනයකින් බව වාර්තා වී ය. ජවිපෙය මැතිවරණ වර්ජනයක් ක්‍රියාත්මක කළේය. එහි වැඩි අවාසිය සිදු වුයේ ශ්‍රීලනිපයට යි. එම පක්ෂය කල්පනා කළේ ජනාධිපතිවරණය ජයගන්නට තමන්ට තිබු අවස්ථාව ජවිපෙ විනාශ කළ බව යි. එමෙන් ම, ශ්‍රීලනිප පාක්ෂිකයින් ද ඝාතනය කරනු ලැබී ය. එයින් ඔවුන් ද සිටියේ වෛරයෙනි.

නිලධාරීන්, කලා කරුවන් ඝාතනය නිසා එම පිරිස්වල තිබු මානසිකත්වය ද තේරුම් ගත යුත්තකි.

අවසානයේ මරණ තර්ජන එල්ල කළේ හමුදාවේ සහ පොලීසිය පිරිසට ය. තර්ජනය කළේ රැකියා අත හරින්නට ය.  තර්ජන කළා පමණක් නොව ඇතැම් තැන්වල ක්‍රියාත්මක කළේය. ඔවුන්ගේ වෛරය ක්‍රියාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නැත.

සාමාන්‍ය ජනයා ද සිටියේ දැඩි පීඩනයකිනි. ජවිපෙ ක්‍රියාත්මක කළ හර්තාල්. කඩ වැසීම්, ප්‍රවාහනය නැවතීම ආදියෙන් වඩාත් ම පීඩාවට පත්වුයේ එදිනෙදා ආදායම් උපයා ජීවත් වූ සාමාන්‍ය ජනයා ය. ඔවුනට තම ජීවිකාව කරගත නොහැකිව බඩගින්නේ සිටින්නට සිදු විය.

රෝගියෙකුට ප්‍රතිකාර ගැනීමට යන්නට ප්‍රවාහන පහසුකම් නැත වී ය. ඉන්දියන් ඖෂධ තහනම නිසා බෙහෙත් නැත.

ට්‍රාන්ෆෝමර ගිනි තැබීම නිසා බොහෝ ප්‍රදේශවල විදුලිය නැතිවිය. එහි පීඩාව කුමක්දැයි මෑතක විදුලිය නොමැතිව සිට අප ලැබූ අත්දැකීම් අනුව තේරුම් ගත යුතු ය.

අවසානයේ රට වැටී සිටියේ තමන්ගේ ජීවිත රැක ගැනීමට නම් මේ භීෂණය කෙසේ හෝ අවසන් කළ යුතුය යන තත්ත්වයට ය.

මෙබඳු අපරාධ හමුවේ අපේ සමාජයේ ආකල්ප ද කුරිරු ය. ජනතාව ඉල්ලන්නේ අපරාධකරුවන් ආයුධ පෙන්නන්නට රැගෙන යන ලෙස යි. ඒ කියන දේ තේරුම සියලු දෙනා දනිති. මෙය එල්ලුම් ගහ ඉල්ලා සිටින සමාජයකි.

ඉහත කී භීෂණය හමුවේ මෙම ජනයාගේ ආකල්පය කුමක් විය හැකිද ? යන්න තේරුම් ගැනීම ඔබ සතුය.

ජවිපෙ යළි ගොඩ නැගීමට මුල් වූ නායකයෝ මේ සියල්ල දැන සිටියෝ ය. ඔවුන්ට අවශ්‍ය වුයේ සියල්ල අමතක කොට යළි අලුතින් පටන් ගන්නට ය.

රෝහණ විජේවීර ඝාතනය ගැන හෝ වධ කඳවුරුවල ඝාතන ගැන හෝ පරීක්ෂණ ඉල්ලා සිටියහොත් එම පරීක්ෂණ සමග තමන්ගේ අතීතය ද ගොඩ එන බව ජවිපෙ නායකයෝ දැන සිටියෝ ය. වසර 30 කට පසු බටලන්ද වාර්තාවට කර ගසා ඇතැම් වත්මන් නායකයින් කරගෙන තිබෙන්නේ ඒ අතීත නරාවල අවුස්සා ගැනීමකි.

අද මාලිමාව ලෙස රටේ සදාචාරවත් දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ කළ යුතු වන්නේ තම අතීතය ගැන ස්වයං විවේචනයක් කොට වරද පිළිගෙන එම අතීත ආකල්පවලින් වෙනස් වන බව රටට පෙන්නුම් කිරීමයි. තමන්ට මෙන් ම, විරුද්ධවාදියාට ද ජීවත්වීමේ අයිතිය සහ අනෙක් සියලු අයිතීන් තිබෙන බව පිළිගැනීම අවශ්‍ය ය.

සදාචාරාත්මක දේශපාලනයක් සහ රටක් ගොඩ නැගීමට නම් ඉහත කී ආකල්ප වෙනස් කර ගනිමින් නව ආකල්ප වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *