|

බටලන්දට ගිනි තැබීමෙන් රනිල්ට වෙන්නේ කුමක් ද ? – සී ජේ අමරතුංග

 

බටලන්ද කොමිසන් වාර්තාව යළි කරලියට පැමිණීමත්, එහි බොහෝ කරුණු ජනගත වීමත් සමග එයින් රටට ලබාගත හැකි පාඩම් රාශියක් ඇතත්, බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ එහි කෙටි කාලින බලපෑම පිළිබඳව ය. මෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට සහ මාලිමා ආණ්ඩුවට සිදුවන බලපෑම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරති. එමෙන් ම, තම තමන්ගේ අදහස් නැතහොත් පුරෝකථන ඉදිරිපත් කරති. එබඳු බොහෝ පුරෝකථන ඒ ඒ අයගේ දේශපාලන දැක්ම නැතහොත් ආඛ්‍යාන මත ඉදිරිපත් වන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව ඉදිරිපත් වන්නේ එකිනෙකට වෙනස් විග්‍රහයන් ය.

සමහරුන්ට අනුව අල් ජසීරාහි මේදී හසන් සමග සාකච්ඡාවකට ඉදිරිපත් වීම රනිල් කළ  මෝඩ වැඩකි. නැතහොත් ඔහු අවශ්‍ය තරම් සුදානමකින් එයට මුහුණ දුන්නේ නැත. එයින් රනිල්ගේ ප්‍රතිරූපයට බරපතළ ලෙස හානි සිදු වූ බව ඉහත අදහස දරන උදවිය කියති.

තවත් පිරිසකට අනුව මෙය දෙමළ ඩයසපෝරාවේ උගුලකි. මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම පවතිද්දී මෙවැන්නක් සංවිධානය කළේ ශ්‍රී ලංකාව යුද අපරාද කළ බවට රනිල්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ය. එම ප්‍රකාශය රනිල්ගෙන් නොලැබුණු විට රනිල්ට ප්‍රහාරය දැඩි කළ බව කියති.

තවත් අය කියන්නේ මෙය මාලිමා ආණ්ඩුව අමාරුවේ දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා ද හවුල් වී කළ කුමන්ත්‍රණයක් බව යි. ඔවුන් කියන ලෙසට ආණ්ඩුව එම උගුලේ හිර වී දේශපාලන ප්‍රහාරයකට ලක්වෙමින් සිටියි.

පළමුවෙන් තේරුම් ගත යුතු කරුණ නම් මේ විවිධ මත ප්‍රකාශ වන්නේ ඒ ඒ අය විශ්වාස කරන දේශපාලන ආඛ්‍යානයන් අනුව බව යි. ඇතැම් විට සිදුවන්නේ තමන්ගේ විශ්වාසයන්ට අනුව කරුණු අර්ථ දක්වා ගැනීමට උත්සහ දැරීම යි.

කෙසේ වෙතත්, මෙහි මා සාක්ච්ඡා කරන්නේ බොහෝ දෙනා මතුකරන එක් ප්‍රශ්නයක් වෙන් කොට තේරුම් ගැනීමට ය. එනම් මෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවන්නේ කුමක්ද? යන කාරණය යි.

මෙම කරුණ කොටස් දෙකක් ලෙස සාකච්ඡා කළ හැකි ය. එනම්, නීතිමය වශයෙන් සිදුවිය හැකි දේ සහ දේශපාලන වශයෙන් සිදුවන දේ වශයෙනි.

නීතිමය වශයෙන් නම් බටලන්ද කොමිසන් වාර්තාවෙන් හෝ ඒ ගැන කරන කුමන හෝ වැඩිදුර පරීක්ෂණයකින් හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකට වත් කිසිවක් කළ නොහැකි ය. රනිල්ට චෝදනා එල්ල කළ හැකි කිසිදු කරුණක් එහි නැත. එහි තිබෙන්නේ කැලණිය ත්‍රස්ත විමර්ශන ඒකකයට බටලන්දේ නිවාස ලබාදීමට රනිල් දුන් නියෝග නීති විරෝධී බව යි. එය අපරාධ වරදක් නොවේ. එමෙන් ම නිසි අධිකාරී බලයක් නොමැතිව නීති විරෝධී නියෝගය දුන්නා නම් සහ එය කිසියම් නිලධාරියකු ක්‍රියාත්මක කළේ නම් නීතිය අනුව වරදකරු වන්නේ එම නියෝගය ක්‍රියාත්මක කළ නිලධාරියා ය. එදා පැවති සහ අද පවතින නීති අනුව ද තත්ත්වය එය ම ය. එයට රනිල් වික්‍රමසිංහ මහතාට දඬුවම් කළ නොහැකි ය.

සුප්‍රසිද්ධ සිල් රෙදි නඩුවේ දී වැරදිකරුවන් වුයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන නිලධාරීන් ය. නියෝගය ජනාධිපතිගෙන් ද යන්න ආදාළ වුයේ නැත. නීතිය ක්‍රියාත්මක වන්නේ එහෙම ය.

සමහරු කියන්නේ 1947 පරීක්ෂණ කොමිසන් නීතිය වෙනුවට 1978 විශේෂ ජනාධිපති කොමිසන් සභා නීතිය අනුව කටයුතු කළේ නම් රනිල්ට එරෙහිව පියවර ගැනීමට ඉඩ තිබු බව යි. නමුත් කුමන කොමිසන් සභා පත්කළත් කටයුතු කළ යුතු වන්නේ ලැබෙන සාක්ෂි අනුව ය. මේ සාක්ෂි අනුව කුමන කොමිසමකින් වුවත් වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි ය. කළ හැක්කේ වැරදි කළ නිලධාරීන්ට දඬුවම් කිරීම පමණකි. එයින් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ හෝ වෙනත් කිසිවකුගේ හෝ දේශපාලන වුවමනාව ඉටුවන්නේ නැත. බටලන්ද කොමිසන් වාර්තාව මෙතෙක් හමස් පෙට්ටියට වැටී තිබුණේ ඒ නිසා ය. දැන් එය යළි එලියට ගත්ත ද වෙනත් ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි වන්නේ නැත. නීතිමය වශයෙන් පවතින ඇත්ත තත්ත්වය එය යි.

පොලීසියට අණ දීමේ නෛතික බලයක් දේශපාලඥයින්ට නැත. එබඳු නියෝග දෙන්නේ නම් එය නීති විරෝධී වෙයි. නිලධාරීන් එබඳු නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කළ හොත් වරද එම නිලධාරීන්ගේ ය. සිදුවන්නේ දේශපාලඥයා නිදොස් වීම සහ නිලධාරීන් වැරදිකරුවන් වීම යි. මොන සාක්ෂි ගෙනාවත් එම නීතිමය තත්ත්වය යටතේ රනිල්ට දඬුවම් කළ නොහැකි ය.

දැන් අපි මෙහි අනෙක් පැත්ත ගැන බලමු. එනම්, දේශපාලන වශයෙන් මෙය පාවිච්චි වන ආකාරය යි.

මෙවැනි වාර්තා දේශපාලන වශයෙන් පාවිච්චි කරන්නේ එහි අඩංගු කරුණු සහ නිගමන අනුව නොවේ. සිදුවන්නේ තමන්ගේ දේශපාලන අවශ්‍යතා අනුව එයට විවිධ අර්ථකතන ලබාදීම යි. එමගින් ජනතාවට දෙන්නේ වෙනත් චිත්‍රයකි.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මෙම කමිටු වාර්තාව ගැන ඉදිරි කටයුතු නොකළේ එයින් රනිල්ට එරෙහිව කළ හැකි කිසිවක් නැති නිසා ය. නමුත් මංගල සමරවීර මහතා රටට ප්‍රකාශ කළේ තම දේශපාලන ප්‍රතිවාදියාගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට ජනාධිපතිනියගේ නොකැමැත්ත නිසා ඉදිරි පියවර නොගත් බව යි. එයින් රටට දුන් පණිවිඩය නම් කොමිසන් වාර්තාවෙන් රනිල් වැරදිකරු කොට ඇති බව සහ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශයක් ඇති බව යි. එය පට්ටපල් බොරුවකි. මෙබඳු වාර්තා තම දේශපාලන ආඛ්‍යාන සමග සමාජ ගත කරන්නේ ඒ ආකාරයෙනි. එවිට එම මත නිවැරදි කිරීම ද පහසු නැත.

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මෙබඳු තවත් නිදර්ශනයක් ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙනි. ඒ පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ සඳහන් වන්නේ එයට රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ එජාපයේ කිසිවකුගේ හෝ සම්බන්ධයක් නැති බව යි. වාර්තාවේ 30 පරිච්ඡේදය වෙනකොට තිබෙන්නේ එම කරුණ කියන්නට ය. වාර්තාවේ එලෙස සඳහන් වුව ද සමාජ ගතකොට ඇත්තේ වෙනත් මතයකි.

බැඳුම්කර සිදුවීමට රනිල් අත් අඩංගුවට ගන්නා බව ඇතැම් නායකයින් වේදිකාවල කියන්නේ මේ කිසිවක් නොදැන නොවේ. හොඳට ම දැනගෙන ය. ඔවුන්ට වැදගත් වන්නේ සත්‍යය නොව තම දේශපාලන වාසිය සඳහා සමාජගත කරන මතය යි.

බටලන්ද කොමිසන් වාර්තාව සම්බන්ධයෙන් ද දැන් සිදුවෙමින් පවතින්නේ එබඳු ම තත්ත්වයකි. මෙම වාර්තාව සැබවින් තේරුම් ගෙන අනාගතයේ එබඳු දෑ සිදු නොවීමට පියවර ගැනීම වෙනුවට එය යොදාගෙන ඇත්තේ දේශපාලන පහර ගැසීමකට ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට අවශ්‍ය නැත. නමුත් දැන් පවතින විවාදය තුළ ඔවුන්ගේ අරමුණු කෙතෙක් දුරට සාර්ථක වේද යන්න ප්‍රශ්නයකි.

රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන වාසියක් ද මේ මොහොතේ හිමි වී තිබේ. එනම් මාලිමා ආණ්ඩුව මේ මොහොතේ තම ප්‍රධාන ප්‍රතිවාදියා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීම යි. වික්‍රමසිංහ මහතා සමග තිබෙන අනෙක් ප්‍රශ්න පසෙක ලා විපක්ෂයේ සියලු පක්ෂ ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින බවක් පෙනෙන්නට තිබේ.  එම තත්ත්වය තම දේශපාලන තත්ත්වය ශක්තිමත් කර ගැනීමට උපයෝගී කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව සැලසී තිබේ.

මෙම ප්‍රශ්නයේ දී මාලිමා ආණ්ඩුව ද ප්‍රබල අභියෝගයකට මුහුණ දී සිටින බව පැහැදිලි ය. ඒ ගැන ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් නම් කිව හැක්කේ ඔහුට එරෙහිව නීතිමය වශයෙන් කිසිදු පියවරක් ගත නොහැකි බව යි. දේශපාලන වශයෙන් ප්‍රහාරයකට ලක් වුව ද ඔහු වඩා ශක්තිමත් වූ බවක් ද පෙනෙන්නට තිබේ.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *