නිල ණය හිමියන්ගේ ගිවිසුම්වලට අමෙරිකා, චීන, ජපන් තානාපතිවරු සුබ පතති
සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීන අපනයන ආනයන බැංකුව සමඟත් ගිවිසුමකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකි වීම පිළිබඳ විදෙස් තානාපතිවරු රැසක් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කර තිබේ.
චීන අපනයන ආනයන බැංකුව සමඟ සහනදායී ණය ගිවිසුමට අත්සන් තැබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එය ශ්‍රී ලංකාවට වැදගත් සහනදායී ණය ගිවිසුමක් බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට විශාල දායකත්වයක් බවත් සඳහන් කරමින් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇති අතර, ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් ද එක් කර ඇත.

මේ අතර පැරිස් සමාජයට සමගාමීව ශ්‍රී ලංකාව සහ ණය හිමි රටවල් අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් ගිවිසුමකට එළැඹීම අමෙරිකාව සාදරයෙන් පිළි ගන්නා බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රකෘතියේ ධනාත්මක ඉදිරි පියවරක් බවත් එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අමෙරිකානු තානාපති ජූලි චැංග් ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරමින් ජපාන තානාපති කට්සුකි කොටාරෝ ද ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය සහ සභාපතිත්වය දරන ණය හිමියන්ගේ නිල කමිටුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉදිරියට යෑමට ලැබුණු කදිම අවස්ථාවක් බවත්ය.
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන පැරිස් සංසඳයට සමගාමීව, ශ්‍රී ලංකාව සඳහා වන නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිවරුන් තිදෙනා වන ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය, ශ්‍රී ලංකා දූත පිරිස සමඟ එක්ව මීට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ නිල උත්සවයට එක්විය. අනෙකුත් සියලුම නිල ණය හිමි කමිටු සාමාජිකයින් ද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, නිල ණය හිමියන්ගේ කමිටුව විසින් එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විධිමත් ලෙස ක්‍රියාත්මක වේ.
සබැඳි පුවත් :
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් සාර්ථකව අවසන් කරයි
