ජනාධිපතිවරණ සටනේ මතුපිට පෙනුමේදී පහුගිය දවස්වල යම් වාසියක් සජිත්ට හැදෙමින් තිබුන බවක් පෙනුනා.හැබැයි අනුර සජිත් විවාදය මගෑරීමෙන් ඒක සෑහෙන දුරට අඩුවුනා.දැන් පොහොට්ටුවේ සහ ශ්‍රිලනිපයේ සමහරු සජිත් එක්ක එකතු වෙන්න පටන් අරන්. ඒත් සජිත්ට දිනන්න ඕන සමගි ජන සන්ධානය පළල් වෙන බවක් නං තවම පේන්න නෑ.සමගි සන්ධානය නං තවම එක අඟලක්වත් තිබුණ තැනින් ඉස්සරහට ගිහින් නෑ.සජිත් තමන් දිනනවා කියන මතය තහවුරු කරන්න විවිධ පුද්ගලයින් මල්ලට දාගන්න බව නං පේනවා,
සමහර ශ්‍රී ලංකාකාරයෝ ජේවීපීකාරයෝ විදිහට අන්දලා වේදිකාවට ගේනවා.ඇත්තටම ඒක අමු මෝඩ වැඩක්.ජෙප්පාගේ අනන්‍යතාවය ශ්රිලනිපකාරයෙකුට ගන්න බෑ.මොන ඇඳුම අන්දලා ගත්තත් මේ ගන්න අයට සජිත් ලගට යෑමේ සතුට තියෙන්නේ පැය කීපයකට විතරයි.එයාලා ගනිද්දී සජිත් දුන්න පොරොන්දු කිසිම එකක් තවම නං ඉෂ්ඨ වෙලා නෑ. එහෙම ඉෂ්ඨ වෙච්චි කෙනෙක් ඉන්නවා නං අටපට්ටමට තමයි කියන්න වෙන්නේ.
සජිත් ලගට පහුගිය ටිකේ ආපු පාර්ලිමේන්තු මන්ත්‍රී,හිටපු පලාත් සභා මන්ත්‍රීලා සහ අනිත් අයට සිද්ධ වෙලා තියෙන්නේ අල්ලපු වත්ත සහ පය ගහපු වත්ත කියන දෙකම නැතිවීමයි.ඒක නිසා ගොඩක් දෙනෙක් ආ පයින් ආපිට යන්න සුදානමින් ඉන්නවා.සජිත් සමහර දිස්ත්‍රික්කවල ආසන සංවිධායකයන් අයින් කරලා එයාගේ කාර්ය මණ්ඩලයේ අයට ආසන බාරදීලා. මේ ඊයේ පෙරේදා එහෙම දාපු කෙනෙක් සජබ සාමාජිකයන්ගෙන් ගුටි නොකා බේරිලා තිබුණේ 99න්.
සජිත් මේ දවස්වල සජබ ඇතුලේ පට්ට හිතුවක්කාරී වෙලා.ඇත්තටම සජබය ඇතුලේ තියෙන්නේ පොහොට්ටුවටත් වැඩිය භයානක භීෂණයක්.රටේ රාළ එහෙම කියන්නේ නිකං නෙවෙයි. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂ පවුල වෙනුවෙන් හදපු පක්ෂය බව කවුරුත් දන්නවා.පවුලකට පක්ෂයක් හදන එක වැරදියි.හැබැයි ඒක ඇතුලෙත් විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්.
මහින්ද කියන්නේ ඒ පවුලේ පක්ෂය ඇතුලේ හිටපු වෙනස්ම ජාතියේ ප්රපංචයක්.මහින්ද ගොඩක්ම බහුජන හැඩයේ චරිතයක්. පොහොට්ටුව ඇතුලේ මහින්දගේ නායකත්වයට තවමත් අභියෝග කරන්න කෙනෙක් නෑ.බැසිල් කියන්නේ මහින්දට වඩා බහුජන හැඩයෙන් ගොඩක් අඩු,පක්ෂයේ සංවිධාන හැඩයට සහ පක්ෂයේ ඉදිරි ගමන ගැන හිතන කෙනෙක්. මහින්දට වගේ නැති උනත් බැසිල්ටත් වෙනම සෙට් එකක් පොහොට්ටුව ඇතුලේ ඉන්නවා.
පොහොට්ටුව ඇතුලේ ඕනිම වෙනස්කමක් කරන්න බැසිල්ට බලය තියනවා.ඒ වගේම බැසිල් අන්තිම මොහොතේ හරි ගේමක් ගහයි කියලා විශ්වාස කරන පොහොට්ටුවේ පිරිසක් ඉන්නවා. පොහොටුවේ අය තමයි බැසිල්ට කිව්වේ මොළ හතේ විදිවතා කියලා. නාමල් ගත්තත් නාමල්ටත් පොහොට්ටුවේ සෙට් එකක් ඉන්නවා.එයාලා ටිකක් දේශපාලන වශයෙන් ලමා සොල්දාදු ටයිප් එකක් තිබුණත් ශ්‍රිලනිපයේ මෛත්‍රී පිරිවරාගෙන හිටපු ළමා සොල්දාදුවන්ට වැඩිය නං දියුණුයි.
නාමල් උනත් මේ පිරිස පිරිවරාගෙන මොනවා හරි ගේමක් ගහන්න හදනවා.නාමල්ගේ දස බල සේනා කියන්නේ එහෙම ව්‍යාපෘතියක්. ඊළඟට නාමල් ප්රමුඛ කරගත්ත දිස්ත්‍රික්ක මට්ටමේ රැස්වීම් වටයක් දැන් යනවා.චමල් රාජපක්ෂ ගත්තත් අනිත් රාජපක්ෂලාට වඩා වෙනස්ය චරිතයක්.අනිත් සියලු රාජපක්ෂලාට වඩා සමහර ප්රගතිශීලී ලක්ෂණ චමල් තුලින් පිළිඹිබු උන අවස්ථා තියනවා. චමල්ගේ කතානායක භූමිකාව නරක එකක් නෙවෙයි
රටේ රාළ රාජපක්ෂලා ගැන මෙහෙම විග්රහක් කරන්නේ රාජපක්ෂලා හොඳයි කියලා කියන්න නෙවෙයි.කොච්චර නරක් උනත් රාජපක්ෂ කදවුරේ විවිධත්වයක් තිබුන බව පෙන්නන්න.නාමල් එක්ක ප්‍රශ්නයක් තියන අයට ඒ ගැන කතා කරන්න තව රාජපක්ෂලා ඉන්නවා.බැසිල් නැත්තං මහින්ද ඉන්නවා.බැසිල් එක්ක තියන ප්‍රශ්නයක් උනත් මහින්ද එක්ක කතා කරගන්න පුළුවන්.පවුලේ පක්ෂයක් උනත් ඒක ඇතුලේ යම් හෝ සහනයක් එයාලට තියනවා.
එහෙම සහනයක් නැත්තං දැන් එයාලට රනිල් එක්ක හරි කතා කරගන්න පුළුවන් චාන්ස් එකක් තියනවා.රටේ රාළ මේ සියල්ලෙන් කියන්න හදන්නේ පවුලකට පක්ෂයක් හදන එක භයානකයි වගේම තනි පුද්ගලයෙකුට පක්ෂයක් හදන එක ඊටත් වැඩිය භයානකයි කියලයි.සජබය කියන්නේ තනිකරම සජිත් වෙනුවෙන් හදපු පක්ෂයක්.සජබ දර්ශනය,ආගම,වැඩපිලිවෙල, ඇවතුම්,පැවතුම් සියල්ල එකතු උනාම ඒකට කියන්නේ සජිත් කියලයි.ඒකේ සර්ව බලධාරියා සජිත්.සජිත්ට උඩින් කවුරුවත් නෑ. සියලු තීරණ සජිත්ගේ.ඒවා හරි හෝ වැරදි ඒවාට උඩින් යන්න කාටවත් බෑ.
ඒවා වැරදි නම් නිවැරදි කරන්න කාටවත් බෑ.සජිත්ගෙන් වෙන අසාධාරණය දරාගත ඉන්නවා හැර වෙන කරන්න දෙයක් සජබ සාමාජිකයන්ට ඉතිරිවෙලා නෑ. සජිත් මේ දවස්වල ක්‍රියාකරන විදිහ සම්බන්ධව සජබ සාමාජිකයන්ට තියෙන්නේ ලොකු පිලිකුලක් සහ වෛරයක්.මෙහෙම කෙනෙක් ජනාධිපති කලොත් සියල්ල ඉවරයි කියලා කියන පිරිසක් දැන් සජබය ඇතුලේ ඉන්නවා.
ප්රශ්නය තියෙන්නේ කරන්න දෙයක් නැතිකම නිසා එයාලට සජබ ඇතුලේ මේ සියලු අඩන්තේට්ටංවලට ලක්වෙමින් ඉන්නවා.හේතුව එයාලට යන්න සුරක්ෂිත තැනක් එලියේ නැති එකයි.එයාලා සුරක්ෂිත තැන කියලා හිතාගෙන ඉන්නේ පොහොට්ටුවවත්,ශ්රිලනිපවත් නෙවෙයි.එයාලගේ මහ ගෙදර උන එජාපය.එජාපයට යන්න හිතේ තිබුණත් එයාලාව එකතු කරගැනීමේ වැඩපිලිවෙලක් එජාපයට නෑ.
ඒක නිසා සජිත්ගේ සියලු දේශපාලන වධ බන්ධනවලට ලක්වෙමින් සජබය ඇතුලේ ඉන්න එක ඇර එයාලට වෙන විකල්පයක් නෑ.එජාපය පැත්තෙන් මෙතනදී හිතාගෙන ඉන්නේ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බාගන්න.ඒකට උත්සාහයක් දරන බව පේනවා.හැබැයි ඒක සාර්ථක කරගන්න තවමත් එජාපයට බැරිවෙලා තියනවා.සමහරවිට එජාපය ඒ බර සජබ දෙවන පෙලට දැම්මා නම් වැඩේ මීට වඩා වැඩි සාර්ථකත්වයක් ගන්න තිබූණා.
මෙතැනදී රනිල් ඇතුළු එජාප නායකයන් හිතාගෙන ඉන්නේ අවසන් මොහොතේ හරි සජබ උඩින් ටිකක් ගැලවගත්තොත් සියල්ල විසදෙනවා කියලා වෙන්න ඕනි.ඒක නිසා එයාලා පාර්ලිමේන්තුවේ numbers වලට ට්‍රයි කරනවා.ඒ වගේම එයාලා ගත්ත ගමන් එජාප සංවිධාන අර්බුදය විසදිලා ආයෙත් මේක දුවන්න පටන් ගනී කියලා හිතනවා ඇති. ඇත්තටම එහෙම හිතූවට ඒක එහෙම වෙන්නේ නෑ.
මොකද සජබයේ උනත් භූමියේ බලය ගොඩක් තියෙන්නේ දෙවෙනි පෙල සංවිධායකයෝ අතේ. එජාපයට හොදම දේ තමයි operation එක මැදින් පටන් ගන්න එක.සමහරවිට රනිල් පහුගිය දවසේ එජාපය ඇතුලේ වෙනස්කම් කීපයක්ම කළේ ඒක ඉලක්ක කරගෙන වෙන්න පුළුවන්.රවී කරුණානායක එජාප ජාතික ලේකම් බවට පත් කළේ ජාතික වශයෙන් එහෙම මෙහෙයුම් කරන්න කියලා කතාවකුත් යනවා.
මොකද රනිල්ට ජයග්‍රහණය අවශ්‍ය නම් ජාතික වශයෙන් සජබය අවශෝෂණය කරගන්න පුළුවන් ජාතික වැඩපිලිවෙලක් ඕනි.එජාපය ජාතික ලේකම් කෙනෙක් දාගෙන දෙන්නේ ඒ ට්‍රයි එකද කියලා බලන්න තව පොඩි කාලයක් ඕනි.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.