ජනපති සටන තිබෙන්නේ රනිලුයි අනුරයි අතරයි – හිටපු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත
“රටක දේශපාලනය කියන්නේ කාලගුණය වගේ නිතර වෙනස් වන දෙයක්. ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ. තරගය තිබෙන්නේ රනිල් වික්රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතරයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (18) පැවැති ‘අදිටන විශ්‍රාමික රණවිරු’ නම් රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ඉදිරියේදී පත්වන ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය සූදානම්. පොහොට්ටුවේ සිටින සමහර නායකයන් ඇමැතිකම්වලට ආණ්ඩුවට හේත්තු වෙලා සිටියත් පොහොට්ටුවේ පහළ මට්ටමේ අය අද ජාතික ජන බලවේගය සමඟ එක් වෙලා ඉන්නවා.
නිදහසින් පසු මේ රට පක්ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කළා. ඒ පිරිස තවත් වසර 5ක් රට පාලනය කරන්න උත්සායක යෙදෙනවා. ජනතාව ඉල්ලන්නේ වෙනසක්. අපි තිබෙන ක්‍රමය වෙනස් කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලියා පොත වෙනස් කළ යුතුයි. ඒ සඳහා ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී මාලිමාවට තුනෙන් දෙකක බලයක් ලැබෙන පරිදි දැනට පාර්ලිමෙන්තුවේ සිටින 225න් 200ක් මන්ත්‍රීවරුන් මාලිමාවෙන් පත්කර යැවිය යුතුයි. මන්ත්‍රීවරුන් 25ක් අනෙක් පැත්තේ සිටියාටකමක් නෑ. සමහර මැති ඇමැතිවරුන් චෞර බලය අතට අරන් නීති විරෝධී පතල් කැපීම් කරනවා. පසුගිය කාලයේ ලෝක උරුමයක් වූ සිංහරාජයේ ජනතා විරෝධය නොතකා පාරක් කැපුවා. මෙවැනි කටයුතු කිරීම් නිසා තමයි පසුගිය කාලයේ ඇති වූ අරගලයේදී ජනතාව පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එපා කිව්වේ. මැතිවරණයෙන් දේශපාලනඥයන්ට ඡන්දය දුන්නේ ඔවුන්ගේ කැමැත්තට වැඩ කරන්න නෙවේ.”
රත්නපුර විශේෂ එන්. පී. රාජදොරේ
දිනමිණ
