ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට සිංගප්පූරුව සූදානම්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට මේ වසර තුළ දී අත්සන් තැබීමට හැකි වනු ඇතැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් විශ්වාසය පළ කරයි. ඔහු සිය ෆේස්බුක් වෙබ් පිටුවට සටහනක් එක් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ  පැවැත්වූ සාකච්ඡාවකදී ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බවයි. ඕස්ට්‍රේලියාවේ නිළ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍යවරයා නැවත ශ්‍රී ලංකාව බලා එන අතරතුර  සිංගප්පූරුවට ගොස් ඇති බව වාර්තා වෙයි.  තමාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ආරාධනා කළේ යැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා පවසා තිබේ.  නාගරික සැලසුම්, යටිතල පහසුකම් සංවර්ධන සහ සංචාරක මෙන්ම නිෂ්පාදන ක්ෂේත්‍රයන් හි ශ්‍රී ලංකාව තුළ ආයෝජන සිදුකිරීමට සිංගප්පූරු සමාගම් රැසක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *