ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයක් තියන්න කියන රාජපක්ෂලාගේ යෝජනාවේ දැන් සෑහෙන්න දුරට අකුගෙන.ඒක එහෙම වෙන්න බලපාපු හේතු කීපයක් තියනවා.යෝජනාව එනවත් එක්ක පොහොට්ටුව ඇතුලෙන් ආපු විරෝධය වැඩි දවසක් යටකරලා තියාගන්න රාජපක්ෂලාට බැරිවුනා. පොහොට්ටුවේ මැති ඇමතිලා දැන් තැනින් තැන බැසිල් පතුරු ගහන්න පටන් අරන්.
මහ මැතිවරණ යෝජනාවට සජබෙ සහ මාලිමාවේ සහයෝගය හම්බනොවිමත් යෝජනාව යට යන්න බලපාන්න ඇති.ඇත්තටම පොහොට්ටුවේ කට්ටිය Okay නං සජබේ සහ මාලිමාව සහය නැතිව මේ යෝජනාව සම්මත කරන්න පුළුවන්.පාර්ලිමේන්තුව විසුරවන්න කියලා ගේන යෝජනාවක් සරල බහුතරයෙන් සම්මත කරගන්න පුළුවන්.ඒ කියන්නේ ඡන්ද 113 ක් තියන එක හොඳටම ප්‍රමාණවත්.
රනිල් අනුප්‍රාප්තික ජනාධිපති විදිහට පත්කර ගනිද්දී පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 134 ක් තිබුණා.තවමත් ආණ්ඩුවට ඡන්ද 120 ක් විතර හොයාගන්න බැරිකමක් නෑ.එහෙම තියාගෙන තමයි රාජපක්ෂලාට පාර්ලිමේන්තුව විසුරවන්න කියන යෝඡනාව අකුල ගන්න වෙන්නේ. මේ යෝජනාව එනවත් එක්ක පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීලගෙන් ඊට විරෝධයක් ආවත් ඒ විරෝධය ප්‍රකාශ කරන්න පුළුවන් ධෛර්යයක් ත කිසිකෙනෙකුට තිබුණේ නෑ.
ඒ තරම් පොහොට්ටුව ඇතුලේ රාජපක්ෂලා බලවත්.නාමල් දිගටම කිව්වේ ඕනි කෙනෙකුට තමන්ගේ පෞද්ගලික මතය දරන්න පුළුවන් හැබැයි අන්තිමට කවුරුත් පක්ෂ මතයට එකඟ වෙන්න ඕනි කියලා. නාමල් එහෙම තඟ් පාට් දාගෙන තමයි පහුගිය දවස්වල හිටියේ. කොහොම හරි රාජපක්ෂලාට ඒ වැඩේ ඉළක්කය දක්වා ගෙනියන්න බැරිවෙලා.
ඒකට බලපාන ප්‍රධාන හේතුව රනිල් ඉන්නේ නියමිත පරිධි නොවැම්බර් 17 ට ඉස්සෙල්ලා ජනාධිපතිවරණය තියන්න ඕනි කියන ස්ථාවරයේ. රනිල් ගිය කැබිනට් රැස්වීමේදී කියලා තිබුණේ ඡන්දයකට ලෑස්තිවෙන්න කියලයි.ඒ කියන ගමන් ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණය කියලා රනිල් රාජපක්ෂලාට කණේ පාරකුත් ගහලා තිබුණා.
රනිල්ගේ ඒ කතාවෙන් පොහොට්ටුව ඇතුලේ කැකෑරෙමින් තියන පාර්ලිමේන්තුව විසිරවීමේ විරෝධයට තටු හම්බවුනා. රාජපක්ෂලා පොහොට්ටුව ඇතුළට දාගෙන හිටපු තඟ් පාට් නතරවෙලා මහින්ද පවා දැන් පොහොට්ටු මන්ත්‍රීලට පිංසෙන්ඩු වෙන සයිස් එකට වැටිලා.ඒ එක්කම පොහොට්ටුවේ මූලිකත්වයෙන් හදනවා කියලා පම්පෝරි ගගපු සන්ධානයත් ලත් තැනම ලොප්.
දැන් පොහොට්ටුවේ බහුතරය විශ්වාස කරගෙන ඉන්නේ රනිල්ගේ මූලිකත්වයෙන් හැදෙන සන්ධානයක් ගැන.ඇත්තටම ඊළඟට එන පළවෙනි ප්රශ්නය තමයි රාජපක්ෂලා ඊළඟට මොකක් කරයිද කියන එක.මේ වෙච්චි පරාජය සහ අවමානය බාර අරගෙන රනිල්ට යටත් වෙයිද?අවසාන විග්‍රහයෙදී රාජපක්ෂලාගේ යටත්වීම ෂුවර් උනත් එක පාරටම ඒක සිද්ධ වෙයි කියලා හිතන්න බෑ.
ඒක හින්දා රාජපක්ෂලාට තල්ලු වෙන්න පුළුවන් තවත් පැති තියනවද කියලා හොයලා බලන එක හොඳයි.රාජපක්ෂලාගේ විෂම මනස විසින් තමන්ගේ බලය ආරක්ෂා කරගන්න ඕනි තුට්ටු දෙකේ වැඩක් කරන්න සෙට් වෙන්න පුළුවන්.රාජපක්ෂලා බංකොලොත් කරපු රට තවමත් ආර්ථික අර්බුදයයෙන් මිදිලා නෑ.රනිල් කරලා තියෙන්නේ යන්තම් රට යථාවත් කිරීම විතරයි.
ඒ වෙනුවෙන් රනිල් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගොඩක් අරගෙන තියනවා.රනිල් කරලා තියෙන්නේ ජනතාව මත බර පටවන එකයි. රනිල් ගත්ත ඒ හැම පියවරකදීම රාජපක්ෂලා හිටියේ ඒවාට විරුද්ධ සටන් පාඨවල.අඩුම ගානේ ගිය අයවැයට ඡන්දය දෙන්නවත් නාමල් ආවේ නෑ.රාජපක්ෂලා හිටියේ එන ජනතා විරෝධය රනිල්ට තනියම පටවලා හැදෙන දේශපාලන අවස්ථා රාජපක්ෂලාට තනියමත් අරගන්න.
මේ අවස්ථාවේදී රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න උදව් කරන්න ඕනි උනත් රාජපක්ෂලා ඒ වෙනුවෙන් ශත පහක උදව්වක් රනිල්ට දුන්නේ නෑ.හැබැයි තවමත් මිලියන ගණන් ජනතා මුදල් නාස්තිකරමින් ආණ්ඩුව ගානේ රාජපක්ෂලා සියලු වරප්‍රසාද බුක්ති විඳිනවා.ඒ අවස්ථාව රාජපක්ෂලාට දෙන්න ඕනි නෑ.ඒක රනිල් කරන බරපතල වලදක්.මේ වෙලාවේ රාජපක්ෂලා,සජිත් සහ අනුර දිසානායක ඉන්නේ එකම දේශපාලන කුහක ප්රතිපත්තියක.
ඒ රටට හෙණ ගැහුවත් තමන්ගේ බල උවමනාව ඉෂ්ඨ කරගන්න ඕනි කියන තැනක.ඒ හින්දා රාජපක්ෂලා තල්ලු වෙන්න පුළුවන් තව තැන් කීපයක් තියනවා.අපි අහලා තියනවා යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා.මේ යක්කු කොරහා බිඳීම කෙසේ වෙතත් කොරත් උස්සගෙන යන්න ඉඩ තියනවා.රනිල්ට යටත් නොවීමට ඉස්සෙල්ලා රාජපක්ෂලා තව විකල්ප කීපයකට යොමු වෙන්න පුළුවන්.
එකක් තමයි පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් දැමීම.ඒක ඇත්තටම අනුරට ගෙනත් දෙන අනියම් වාසියක්.සජිත්ටත් ඒකේ වාසියක් තිබ්බට වැඩි වාසිය තියෙන්නේ අනුරට.මොකද අනුරට ඕනි මේ කදවුර බෙදලා සටන බහුකොන් එකක් කරගන්න.හැබැයි රාජපක්ෂලා වෙන අපේක්ෂකයෙක් දැම්මොත් ඒකේ වාසියක් රනිල්ටත් එනවා.
එහෙම උනොත් රනිල් රාජපක්ෂ කියන සටන් පාඨය අයින් වෙලා රනිල්,රාජපක්ෂ විරෝධියෙක් විදිහට brand වෙනවා.ඒක රනිල්ට වාසි සහගතයි.ඊළඟට රාජපක්ෂලා මෙතනදී සජිත්ට උදව් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්.එහෙම ඉඩක් තියන බව බැසිල්ගේ සහ රෝහිත අබේගුණවර්ධනගේ කටින් පැනලා ඉවරයි.රාජපක්ෂලාට ඒ වැඩේ ප්‍රසිද්ධියේ වගේම රහසිගතව උනත් කරන්න පුළුවන්.
දැනටමත් රට බංකොලොත් කරන්න රාජපක්ෂලාට උපදෙස් දුන්න න්යායාචාර්යවරු ගොඩ දෙනෙක් ඉන්නේ සජිත් ළඟ. රාජපක්ෂලාට අවශ්‍ය විදිහට දේශපාලන ගේම් ගහන්න යටිතල පහසුකම් හදපු සමහර නිළධාරීන් ඉන්නෙත් සජිත් ළඟ.ඒ වගේම මෙතන තවත් භයානක තත්වයක් තියනවා.රාජපක්ෂලාගේ මේ වියරුව ජාතිවාදී හැඩයෙන් මතුකරන්න පුළුවන්.දැනටමත් ඒ ඉඩ නිර්මාණය වෙමින් තියනවා.
මහින්ද රාජපක්ෂ ආයෙත් ජාතිවාදී සෙල්ලමට බැහැලා බවට ඉඟි එහෙන් මෙහෙන් තියනවා. සජිත්ලා,විමල්ලා ඒ වතුර බොර කරමින් රාජපක්ෂලාට උදව් කරනවා.ඒක නිසා මේ අවස්ථාව ඉතා තීරණාත්මකයි.ඇත්තටම මේ අවස්ථාවේදී රාජපක්ෂලා නියම පාඩම ඉගැන්වීමේ හැකියාව තියෙන්නේ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට. අපි බලමු එයාලගේ හැසිරීම කොහොම එකක් වෙයිද කියලා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.