වෛද්‍ය වියරුව- සී. ජේ. අමරතුංග


 

 මාලඹේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධියට එරෙහි ව්‍යාපාරය භයානක අතකට ගමන් කරන බව පෙනෙන්නට තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මරා දැමීමට තැත්කිරීම බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු සිදුවීමකි. එය කාගේ ක්‍රියාවක්ද යන්න තවමත් පැහැදිලි නැත. එසේ වූවද එයට අවශ්‍ය පසුබිම සැකසූ උදවිය හා වෛරය වැපුරූ උදවිය කවුද යන්න මෙරට මහජනයාට අමුතුවෙන් කිව යුතු නැත.

මෙම බරපතළ තත්ත්වයට ආසන්න සිදුවීම වූයේ සයිටම් වෛද්‍ය සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය යුතු බවට අධිකරණය දුන් නියෝගයත්, එය නොතකමින් සයිටම් අහෝසි කළ යුතු බව කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන් හා වෛද්‍ය සිසුන් දිගටම උද්ඝෝෂණවල යෙදීම නැතහොත් විරෝධතා ප්‍රකාශ කිරීමත්ය.

දැන් වාර්තා වන්නේ ‘සයිටම්’ විරෝධී පුළුල් පෙරමුණක් ගොඩනැඟීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාකරමින් සිටින බවයි. ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂ කණ්ඩායමේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහය දැනටමත් ඔවුන්ට ලැබී ඇතැයි කියති.

සයිටම් හෙවත් තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව සඳහා දකුණු ආසියානු ආයතනය බිහිවන්නේ අද ඊයේ නොවේ. එය ගොඩනගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදීය. ඒ සඳහා මිලියන හයසීයක ණයක් ලබාදීමටද එම රජය කටයුතු කර ඇත. වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා එම ආයතනයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලබාදී ඇත්තේ 2011 අගෝස්තු 30 දාය. මෙය අහෝසි කළ යුතු නම් ඒ සඳහා වීදි සටන් කළ යුතුව තිබුණේ ඒ කාලයේය. ඒ කාලයේ එවැනි දෑ කිරීමට කාටවත් ධෛර්යයක් නොතිබිණි.

 

බොරු හෙළිවීම

රජයේ රෝහල්වලින් සයිටම් සිසුන්ට සායනික පුහුණුව දීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විරුද්ධ විය. කෙසේ වෙතත් අවිස්සාවේල්ල හා හෝමාගම රෝහල්වලින් එම පුහුණුව දීමට රජය එකඟ විය. ඒ සඳහා අධිකරණ තීන්දුවක්ද ලැබිණි. බොහෝ දෙනා හිතුවේ එතැනින් කතාන්දරය ඉවර වෙයි කියාය. එසේ වූවද දැන් පෙනෙන්නේ ගිය සතියේ අධිකරණය දුන් තීන්දුවටද මෙම පිරිස අභියෝග කරන ආකාරයකි. ඒ මදිවාට දැන් ඒ සඳහා ප්‍රචණ්ඩත්වයද යොදාගන්නා බව පෙනෙන්නට තිබේ.

සයිටම් විරෝධීන් එම ආයතනය හඳුන්වන්නේ හොර උපාධි කඩයක් වශයෙනි. එසේ වූවද එය නීත්‍යානුකූලව ස්ථාපිත ආයතනයක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේද අනුමැතිය හා අනුග්‍රහය හිමිවී ඇති බවත් අධිකරණ ක්‍රියාවලියේදී හෙළිදරව් විය. එයට නගන එක් චෝදනාවක් නම් අ.පො.ස. උසස් පෙළ අසමත් නැතහොත් ප්‍රමාණවත් සුදුසුකම් නැති සිසුන් බඳවාගෙන මුදලට උපාධි ලබාදෙන බවයි. එසේ වුවද දැන් හෙළිදරව් වී ඇත්තේ සිසුන් බඳවා ගැනීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ඔවුන්ගේ නියෝජිතයින්ද සම්බන්ධ වී සිදුකරන බවයි.

මොවුන්ගේ දැඩි මතය වන්නේ ‍වෛද්‍ය විද්‍යාලයට තෝරා ගැනීමේදී උසස් පෙළ ඉහළම ලකුණු මත පමණක් එය සිදුවිය යුතු බවයි. එසේ වූවද එක් විභාගයකදී ලකුණු ගණනක් අඩුවූ පමණින් කෙනෙකුගේ බුද්ධි මට්ටම ඒ අනුව පමණක් තීරණය කළ නොහැකි බව හොඳින් කරුණු සලකා බලන විට පෙනී යන තත්ත්වයයි. ශිෂ්‍යයකු විභාගය මොහොතේ හෝ එම කාලයේ මුහුණදෙන තත්ත්වය මත හා පරිසරය මත වූවද ලකුණු අඩුවීමක් සිදුවිය හැකිය. එලෙස ලකුණු අඩු වූ සියලුදෙනා අදක්ෂයින් වන්නේ නැත.

අනෙක් අතට අධ්‍යාපන කඩවලට එරෙහිව පාරේ උද්ඝෝෂණ කරන බොහෝදෙනා වෛද්‍ය විද්‍යාලයට තේරී ඇත්තේද හොඳ හොඳ අධ්‍යාපන කඩවල පිහිටෙන් බවද අමතක කළ යුතු නැත. අද මෙම විභාගයේ ප්‍රතිඵල බොහෝදුරට රඳාපවතින්නේ ටියුෂන් හෙවත් උපකාරක පංතිවලින් ලබන අධ්‍යාපනයෙනි. සයිටම් විරෝධී මතයක් දරන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වරෙක ප්‍රකාශ කළේ පාසල් වසා දැමූවද සිසුන් විභාග සමත්වන බවයි. එසේ කීමට හේතුව නම් අද පහේ ශිෂ්‍යත්වයේ සිට උසස් පෙළ දක්වා විභාග සඳහා සැබෑ අධ්‍යාපනයක් ලැබෙන්නේ උපකාරක පංති මගින් නිසාය. දුප්පත් හා ගම්බද දරුවන්ට එයින් හොඳම අධ්‍යාපනය ලැබෙන්නේ නැත. දරුණුම අසාධාරණය තිබෙන්නේ එතනය. අධ්‍යාපන කඩවලට කෙනෙකු විරුද්ධ වන්නේ නම් මේ සියල්ලට විරුද්ධ විය යුතුය. අධ්‍යාපන කඩවලින්ම අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසුව තවත් පිරිසකට අධ්‍යාපන කඩවලට නොයන්නට කීම නම් කුහකකමකි.

අනෙක් අතට විභාග පමණක් බුද්ධිය මැනීමේ මිණුම් දඬු වන්නේ නැත. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පාසලේ සැලකුවේ අදක්ෂ සිසුවකු ව‍ශයෙනි. ඔහුගේ සැබෑ බුද්ධිය ලොවට දැණුනේ පසුකාලයකදීය.

අයි ෆෝන්, අයි පෑඩ් ආදී ඉතා වැදගත් තාක්ෂණික උපකරණ ලොවට හඳුන්වා දුන් හා ඇපල් සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ට විශ්වවිද්‍යාලයේ දොර වැසී රස්තියාදු වන්නට සිදුවූයේ අදක්ෂයකු ලෙස සැලකූ නිසාය. ඔහු පසුව කීවේ ඒ කාලයේ ඉංග්‍රීසි අකුරු නිර්මාණයට තමන් යොමුවූ නිසා ඇපල් පරිගණකයට ඉතා සුන්දර අකුරු රටා ලැබුණු බවයි. අද විශිෂ්ටයකු ලෙස සලකන ‍ජොබ්ස්ට විශ්වවිද්‍යාලයෙන් එම ගෞරවය ලැබුණේ නැත. මෙයින් පෙනී යන්නේ කෙනෙකුගේ ඉදිරි ගමනට කුමන හෝ විභාගයක ප්‍රතිඵලය හරස් කිරීම වරදක් බවයි.

විධිමත් විභාගවලින් අවස්ථාව අහිමිවන අයට විකල්ප ක්‍රම සකස් කළ යුතු බව අද ලෝකය පිළිගත් සංකල්පයකි. ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය ඇරඹෙන්නේද ඒ සඳහාය. එහිදීද දැන් අධ්‍යාපනය සඳහා අතුරු මාවත් ‍විවෘත කොට ඇත.

මේ වනවිට තොරතුරු තාක්ෂණය, සන්නිවේදනය, ඉංජිනේරු විද්‍යාව ආදී බොහෝ ක්ෂේත්‍රවල පෞද්ගලික විශ්වවිද්‍යාල හා වෙනත් ආයතන මඟින් අධ්‍යාපනය ලැබීමේ ඉඩකඩ විවෘතය. ඒවා ගැන කිසිවකු මැසිවිලි නගන්නේ නැත. වෛද්‍ය විද්‍යාවට පමණක් එය විශේෂ වන්නට ප්‍රබල තර්කයක් නැත.

රජයේ වෛද්‍යවරු කියන්නේ ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරුන් බිහිවීමෙන් ලෙඩුන් මිය යා හැකි බවයි. එය ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් බවයි. ප්‍රමිතිය ඕනෑම වෘත්තියකදී වැදගත්ය. වෛද්‍යවරුන් ශල්‍යකර්ම සඳහා භාවිතා කරන බොහෝ උපකරණ හදන්නේ ඉංජිනේරුවන් විසිනි. එමෙන්ම ඇතැම් පරිගණක පද්ධති ඒ පිළිබඳ විශේෂඥයන් අතින් නිමවනු ඇත. ඒවා නඩත්තුවද නිසි ආකාර සිදුවිය යුතුය. ඒ කාගේ හෝ වරදකින්ද ජීවිත නැතිවිය හැකිය. එබැවින් ප්‍රමිතිය නැතිනම් ප්‍රමිතිය ඇතිකර ගත යුතුය. ප්‍රමිතිය දිය හැක්කේ රජයේ විශ්වවිද්‍යාලවලින් පමණක් යැයි කීමේ කිසිදු වලංගුතාවයක් නැත.

කොතලාවල ආරක්ෂක පීඨයේ මේ වනවිටත් වෛද්‍ය විද්‍යාලයක් ඇත. එයින් පිටවන සියලුදෙනා හමුදාවේ නතර වන්නේද නැත. එමෙන්ම විදේශ සරසවිවලින්ද වෛද්‍ය උපාධිය ලබාගෙන පැමිණෙන උදවියටද විභාගයකට මුහුණදී සේවයට එක්විය හැකිය. ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරු වෙනත් රටවල ඉහළ වැටුප් ලබා සේවයට ගිය අවස්ථා ගැනද දැනගන්නට ඇත.

මීට පෙරද වසර ගණනකට මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ක්‍රියාත්මක විය. රජයේ වෛද්‍යවරුන්ගේ විරෝධතා නිසා පසුව එය රජයට පවරාගෙන දැන් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ලෙස පවත්වාගෙන යයි. රජයේ වෛද්‍ය සංගමයේ හිටපු ලේකම්වරයකු පසුගිය කාලයේ ප්‍රකාශ කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පැවැති කාලයේ උපාධි ලැබූ අටසිය පනහක පමණ පිරිසක් අතරින් හය සියයකට වැඩි පිරිසක් විශේෂඥ වෛද්‍යවරු බවට පත්වූ බවයි. එබඳු තොරතුරුවලින් පෙනෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ගෙන යන ප්‍රචාරවල ඇති මිත්‍යාවය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් යනු නීතියේ ආධිපත්‍ය පවතින රාජ්‍යයක්ය යන්න පොදු පිළිගැනීමයි. සමාජයේ නොයෙක් ප්‍රශ්නවලට නීතිය තුළින් විසඳුම් ලබාගැනීමට අධිකරණ පද්ධතිය ක්‍රියාත්මකය. එමෙන්ම එය ස්වාධීනව කටයුතු කිරීමද අවශ්‍යය. ඕනෑම ප්‍රශ්නයකදී අධිකරණය දෙන තීන්දුවට ගරුකිරීම අවශ්‍යය. අමෙරිකානු ජනාධිපතිගේ තීන්දුවක් අධිකරණයෙන් අත්හිටුවා ඇත්තේ එය රටේ නීතියට පටහැනි නිසාය. නීතියට උඩින් යන්නට ලෝකයේ මහ බලවතාටත් බැරිය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකටය.

සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙරට අධිකරණයේ නඩු කිහිපයක් විභාග විය. එක් අවස්ථාවක සායනික පහසුකම් සම්බන්ධයෙනි. මේ අවස්ථාවේදී වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සම්බන්ධයෙනි. එහිදී අධිකරණයට අවශ්‍ය තොරතුරු සාක්ෂි ඉදිරිපත් කිරීමට සියලු පාර්ශ්වයන්ට හැකියාව තිබිණි. අධිකරණය තීන්දුව දී ඇත්තේ ඒ සියලු කරුණු සැලකිල්ලට ගනිමිනි. එහි තේරුම නම් සයිටම් ආයතනයට විරුද්ධව ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බව නැතහොත් ප්‍රබල නොවන බව අධිකරණයේ තීන්දුව වී ඇති බවයි. දැන් කවුරුත් එම තීන්දුවට ගරු කළ යුත්තේය.

අධිකරණයේ තීන්දුව යමකුට පිළිගත නොහැකි නම් ඒ සඳහාද ක්‍රමවේදයක් ඇත. එනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමයි. දැන් තිබෙන්නේ එම අවස්ථාවයි. එසේ වූවද සමහරු උත්සාහ කරන්නේ තග දැමීමෙන් තමන්ට කැමැති දේ කරගන්නටය. උද්ඝෝෂණ කරන්නේ මහජනයාට හිරිහැර කරමින් එහි චෝදනාව රජයට එල්ල කිරීමටය. පසුගිය කාලයේ කළේ එලෙස මහජනයා පීඩාවට ලක්කිරීමය. රුහුණේ මහජනයා සිසුන්ට පහරදීමට පටන්ගත්තේ මේ පීඩාව ඉවසන්නට බැරුවය.

පීඩාකාරී වර්ජන

වැඩ වර්ජන කිරීම කම්කරු අයිතියකි. එය අනෙක් සේවාවන්ටද ඇතැයි පිළිගැනෙයි. එසේ වූවද කර්මාන්ත ශාලාවක වැඩ වැරීමක් හා වෛද්‍යවරුන්ගේ වැඩ වැරුමත් සමාන වන්නේ නැත. කර්මාන්ත ශාලාවක වැඩ වර්ජනයකදී පාඩුව එහි හිමිකරුවාටය. වෛද්‍ය වැඩ වර්ජනයකදී හිරිහැරය ජනතාවටය. මිය යන්නේ සාමාන්‍ය ජනතාවයි. දුප්පත්ම ජනතාවයි. වෛද්‍ය වැඩ වර්ජන කියන්නේ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීමක් වන්නේ ඒ නිසාය. මෙයද එක්තරා ආකාරයක මැර බලයකි.

දැන් උත්සාහය ඇත්තේ මෙය ආණ්ඩු විරෝධී අරගලයක් කරන්නටය. සයිටම් ගෙනා නායකයින්ද දැන් එයට සහයෝගය දෙති. එසේ වූවද මොවුනට මහජන සහය නැත. අන්තර්ජාල වෙබ් අඩවියක මෑතක පළවූ සමීක්ෂණයක ප්‍රතිඵලය අනුවද ‘සයිටම්’ පවරාගත යුතු බව කියන්නේ සුළු පිරිසකි. බහුතරය එයට එකඟ නැත. කවුරුන් හෝ විසින් දැන් ප්‍රචණ්ඩත්වය භාවිත කරන්නට යන්නේ මේ නඩය දැන් බරපතළ ලෙස බංකොළොත් වී ඇති නිසාය. දැන් හදන්නේ මිනී මරා හෝ ඇතැම් බලවේග නිහඬ කරන්නටය. එක් අයකුට තර්ජනය එල්ල කළේ තවත් අය බිය කරන්නටය. දැන් තියෙන්නේ තමන්ට අවශ්‍ය දේ සිදුනොවූ නිසා ඇති වූ වියරුවකි. මෙය භයානක තත්ත්වයකි. දුරදිග යන්නට ඉඩ නොතැබිය යුතු ප්‍රවණතාවකි. මෙය නවත්වන්නට රජය මෙන්ම ජනතාවද පෙරට ආ යුතුය. එසේ නැතහොත් රට ගමන් කරන්නේ විශාල විනාශයක් දෙසටය. එබඳු විනාශයන් ගණනාවකටම මුහුණ දී දුක් විඳ ඇති ජනතාවට තවත් එවැන්නක් අවශ්‍ය නැත. මේ මොහොතේ එබඳු විනාශයක් ගෙන එන්නට කිසිවකු හෝ සූදානම් වුවහොත් මහජනයා එයට නිසි පිළිතුරු දෙනු ඇත.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *