පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිලත් අඩු කරයි ?

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන මිල අඩු කිරීමේ සැලසුමක් ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡාවට ලක් වී ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.
ඉන්ධන සඳහා වැට් බදු පැනවීමත් සමග මෙතෙක් ඛනිජ තෙල් ආනයනයේ දී පනවා තිබු වෙනත් බදු ඉවත් කිරීම මගින් දේශීය වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල අඩු කිරීම කෙරෙහි රජය අවධානය යොමු කොට ඇත.
වැට් බදු පැනවීමත් සමග තෙල් මිල ඉහළ යෑම වැලැක්වීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පෙරේදා පැවති මාධ්‍ය හමුව අමතා ප්‍රකශ කළේය.
එදින ම සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා ජනවාරි මාසයේ දී විදුලි ගාස්තු,තෙල් මිල සහ බදු අඩු කිරීමට ක්‍රියාකරනු ඇති බව යි.
මෙරටට භාණ්ඩ ආනයනයේ දී පනවා ඇති ආනයන බදු හැර අනෙකුත් බදු වර්ග ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන බව මුදල් ඇමති, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. ඛනිජ තෙල් සඳහා ඇති බදු ඉවත් කිරීම ද එම අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ පියවරක් බව කියති.
ජනාධිපතිතුමාට සම්බන්ධ උඅපදෙශකයින් පෙන්වා දී ඇත්තේ ඛනිජ තෙල් බදු අඩු කිරීමෙන් වන ආදායම් අඩු වීමට වඩා තෙල් මිල අඩු කිරීමෙන් ආර්ථිකයේ ඇතිවන වර්ධනය තුලින් ලැබිය හැකි බදු ආදායම වැඩි විය හැකි බව යි.
එමෙන් ම ඛනිජ තෙල් මිල අඩු කිරීම සියලු භාණ්ඩ මිල අඩු වීමට හේතු වන බවත්, ජනතාව මේ වන විට මුහුණ දී ඇති පීඩනය සමනය කිරීමට එමගින් හැකි වන බවත් කියති.
ආර්ථිකයේ වර්ධනය වැඩි කරගැනීම ද ජනතාවගේ පීඩනය අඩු කර ගැනීමට හෙතුවක් වෙයි.
විපක්ෂය මේ දිනවල කියමින් සිටින්නේ වැට් බදු වැඩි කිරීම මගින් ආර්ථිකයේ කඩා වැටීමක් සිදුවිය හැකි බව යි. තෙල් මිල අඩු කිරීම එම විවේචනයට ද පිළිතුරක් වනු ඇතැයි විශ්වාස කෙරෙයි.
බදු ක්‍රමය සරල කරමින් බදු පදනම පුළුල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, ඇතැම් බදු වර්ග ඉවත් කිරීම එහි ප්‍රධාන පියවරක් බවත්, අපගේ ආරංචිමාර්ග කියයි.
කෙසේ වෙතත්, සියල්ල කළ යුතු වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ආදායම් ඉලක්ක සපුරා ගනිමින් වීම රජය මුහුණ දී ඇති අභියෝගයකි. එසේ වුව ද , එම ආදායම් ඉලක්ක වැඩි ආර්ථික වර්ධනයක් තුලින් පහසුවෙන් සපුරා ගත හැකි වනු ඇතැයි ද කියති.
