කැලෑ ආණ්ඩු හා ජීඑස්පී – වසන්ත ප්‍රිය රාමනායක
මේ වන විට 33%ක්ම පැවැති අපනයන ආදායම 14.5% දක්වා අඩු වී තිබේ. ණය අර්බුදය උග්‍ර වීමට හා රුපියල අවප්‍රමාණය වීමට මෙය ප්‍රබල හේතුවක් වනු ඇත. පවතින අර්බුදයට විසඳුම් සෙවීමට නම් අපනයන ආදායමේ වර්ධනයක් ඇති විය යුතුය. අඩුම තරමින් පැරැණි ප්‍රතිශතයටවත් ළඟා විය යුතු ය. ජී.එස්.පී. සහනය පිරිනමා ඇති රටකට ආයෝජන ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති වේ.
ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් ගොඩ එමින් ඉදිරි ආර්ථික සංවර්ධනය සලසා ගන්නා ආකාරය පිළිබඳ කථිකාවත මේ වසර ආරම්භයත් සමඟම ඉදිරියට පැමිණ තිබේ. ගෙවී ගිය දෙවසර තුළ සාකච්ඡා කළ සැලසුම් ක්‍රියාත්මක වන්නේ මේ වසරේ බව පෙනේ. ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගෙවී ගිය දෙසතිය තුළ ඇරඹු හා මුල් ගල් තැබු කර්මාන්ත ශාලාවලින් පමණක් 20, 000කට පමණ රැකියා අවස්ථා ජනිත වන බවයි. ආණ්ඩුවේ ඉලක්කය 2020 වන විට දශ ලක්ෂයකට රැකියා අවස්ථා උදා කිරීමයි. එය යහපත් ය.
තවදුරටත් රජය මගින් ආණ්ඩුවේ ආයතන පුරවමින් රැකියා සැපයීමේ සංකල්පය වලංගු වන්නේ නැත. පසුගිය දස වසර තුළ ලක්ෂ 7ක්ව පැවැති රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 14 දක්වා වැඩි වී ඇත. එය අවශ්‍යතාවය ඉක්මවූ වර්ධනයකි. එසේ ම රටේ ජනගහනයට සාපේක්ෂ ලෙසින් ගත් කළ කලාපයේ ම වැඩිම ප්‍රතිශතය දක්නට ලැබෙන්නේ ද අපේ රටේ ය. දේශපාලන වුවමනාවන් මත රජයේ රැකියා ජනිත කිරීම මීට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවට ආධාර කරනු ලබන ජාත්‍යන්තර ආයතන පවා මෙවන් දැවැන්ත රාජ්‍ය අංශයක් පවතින රටකට ආධාර කිරීමට මැලිවන බවක් දක්වයි. මේ නිසා පෞද්ගලික අංශය මඟින් රැකියා අවස්ථා වැඩි කිරීමේ පසුබිමක් සැලසීම අනිවාර්ය කාර්යක් සේ සැලකේ. ඊට තවත් හේතුවක් වන්නේ රාජ්‍ය ආයෝජන ප්‍රතිශතය ද මීට වඩා වැඩි කර ලීමේ හැකියාවක් නැතිවීමයි. විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජනය අධ්‍යාපන, සෞඛ්‍ය, යටිතල පහසුකම් ක්ෂේත්‍ර හා දුප්පත්කම දුරුකිරීමේ වැඩසටහන් වෙනුවෙන් යෙදවීමට සිදු වී තිබේ.
අභියෝග
මේ වන විට රට හමුවේ ප්‍රධාන අභියෝග කීපයක් නිර්මාණය වී ඇත. ඒවා පසුගිය පාලනයේ දායාද වුවද දැන් ඒ ගැන කතා කිරීමෙන් පලක් නොවේ. මේ ආණ්ඩුව රට භාරගන්නා විටම ඒ ගැන නොදැන සිටියා විය නොහැකිය. එහෙත් රජය ජනතාවට කීවේ රැකියා දශ ලක්ෂයක් ජනිත කිරීම ඇතුළුව රට ආර්ථික සංවර්ධනයට පැත්තෙන් ඉදිරියට ගෙනයන බවයි. දැන් ඒ පොරොන්දුව ඉටු කළ යුතුව ඇත.
මේ සඳහා ණය බර අඩු කර ගැනීම, 7%ක ආර්ථික වර්ධනයක් නඩත්තු කිරීම, අපනයන ආදායම තර කර ගැනීම, දුප්පත්කම දුරු කිරීම හා රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීම කළ යුතුව ඇත.
මේ අතර සංඛ්‍යලේඛනවල සුබවාදී සංඛ්‍යා දක්නට ලැබුණ ද අපේ සත්‍ය දුප්පත්කමේ සීමාව වර්ධනය වී ඇත. එය 25%- 27% වනු ඇතැයි පසුගිය 8 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටට ප්‍රකාශ කිරීමට නිර්භය විය. සිය ධුර කාලයට වසර දෙකක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැති ජන හමුවේ දී එතුමා එය ප්‍රකාශය කළේ ඊට විකල්පීය වශයෙන් තිරසර සංවර්ධනය පිළිබඳව සිය දැක්ම සමාජගත කරමිනි. පසුගිය ජනවාරි 2 වැනි දා මේ පිළිබඳ නිල වැඩ සටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඇරඹු එතුමා ජනවාරි 8 වැනි දා අදාළ කරණය සම්බන්ධයෙන් විග්රහයක යෙදීමට ද අමතක නොකළ බව පෙනේ.
මහ පොළොවේ පය ගසා බොරළු පාරේ, නියරේ, වෙලේ, ලන්දේ සැරිසරන නායකයකුට මේ රටේ ඇති දුප්පත්කමේ ස්වරූපය හඳුනා ගත හැකිය. සංඛ්‍යාලේඛනවල මොනවා තිබුණත් ගෝලීය ආර්ථික සංවර්ධනය රටක දැවැන්ත වර්ධනයක් ඇති කරන්නා සේ ම දුප්පත්කමේ වර්ධනයක් ද නිර්මාණය කරනු ලබන බව පෙනේ. එය සිදු වන්නේ ඇති නැති පරතරයේ වර්ධනයත් ඇති වීම මගිනි. මේ ආර්ථිකයේ, ඇති අය අතර ධනය කඳු ගැසෙන විට නැති අයට ඉන් ලැබෙන්නේ අඩු ප්රතිලාභයකි. එමගින් ජීවන වියදමේ ප්‍රශ්නයට මුහුණ දීමට ඔවුනට නොහැකි වේ. දුප්පත්කම ලෙසින් අර්ථ ගැන්වෙන්නේ මෙම ජීවන වියදමේ ප්‍රශ්නයය බව පෙනේ. නැතිනම් “ක්‍රය ශක්තිය” හෙවත් මිල දී ගැනීමේ හැකියාව අඩුවීමයි. ජනාධිපතිවරයා එය නිවැරැදිව හඳුනා ගෙන ඇත. මේ නිසා සංඛ්‍යා ලේඛන මගින් හඳුනා නොගත් පිරිසක් මේ රටේ දුප්පත්කමේ ප්‍රතිශතයට එක් කර තිබේ. ඒ අය අතර දැනට සමෘද්ධි දීමනා ලැබීමට සුදුසුකම් නොලබන පිරිසක් ද ඊට ඇතුළත් වී සිටි. එසේම සමෘද්ධි දීමනා ලබන අය අතර නුසුදුස්සෝද සිටිති. මේ නිසා තිරසර යුගයක දී ඇත්ත දුප්තුන් සොයා සමෘද්ධි වැඩ සටහනද යාවත්කාලීන විය යුතු ය.
ණය බර
මේ අතර රටේ ණය බර, අපනයන ආදායමේ කඩා වැටීම, රාජ්‍ය අංශයේ වියදම වැඩි කර ගැනීම වැනි කාරණා සමඟ දුප්පත්කම ජය ගැනීමේ වැඩසටහන හෙවත් තිරසර සංවර්ධනය ඉදිරියට ගෙනයාම පහසු කාර්යයක් නොවේ. ඊට අදාළ ආර්ථික ප්‍රතිසංස්කරණ රට තුළ කඩිනමින් සිදුවිය යුතුය. මෙම වසර එම ප්‍රතිසංස්කරණ වසර ලෙසින් සැලකේ. ශ්‍රී ලංකාව, වෙළෙඳාම පදනම් කරගත් ආර්ථික කලාප නිර්මාණය වෙමින් පවතින්නේ එම අරමුණින් බව පෙනේ. හම්බන්තොට ආශ්‍රිතව චීනය සම්බන්ධකර ගනිමින් ගොඩ නැඟෙන නිරිත දිග ආයෝජන කලාපය පසුගිය දා ඇරඹිණි. එය ආරම්භයේදීම විපක්ෂය මගින් ප්රදේශීයව නොසන්සුන් වාතාවරණයක් නිර්මාණය කළ බව කාටත් රහසක් නොවේ. අදාළ ආයෝජන කලාපය සාර්ථක වීමෙන් පසුව තමන්ට අත්විය හැකි දේශපාලන ඉරණම පිළිබඳව ඒ අය කල්වේලා ඇතිව තේරුම් ගත්තාද යන කාරණය මෙම උද්ඝෝෂණවලට මුල් වූවා දැයි කියන්න දන්නේ නැත.
හම්බන්තොට ආයෝජන කලාපය ආරම්භ වීමත් සමඟ ම රටක් වශයෙන් ගත් කල අසන්නට ලැබෙන සුබදායක ආරංචිය අපට අහිමිව තිබූ ජී.එස්.පී. බදුසහනය නැවත ලැබීමයි. එය යහපාලන රජය ලැබු ජයග්‍රහණයකි. එසේ රජයේ ස්ථාවරත්වයට හා ගමන්මඟට ලැබුණු සුබවාදී සත්‍යයකි. මේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ දුර්වලකම් ද හේතුවන බව පෙනේ. කරන දේ නිවැරදිව මෙන් ම නිරවුල්ව ප්‍රකාශ කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ දුර්වලතාවයක් රජයට තිබේ. ඒකාබද්ධ විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නා බව පෙනේ. ආණ්ඩුව තම දුර්වලකම හඳුනා නොගන්නේ නම් ප්‍රචලිත වන්නේ මේ ආණ්ඩුව රටේ සම්පත් විකුණන් කන ආණ්ඩුවක් ලෙසිනි.
කොන්දේසි විරහිතව හෝ අපේ කොන්දේසිවලට යටත්ව මෙරටට ආයෝජකයෝ නොපැමිණෙති. ඔවුන්ට මීට වඩා විවිධ ලිහිල් කොන්දේසි යටතේ තම ආයෝජන කිරීමට තවත් රටවල් ඇත. කොමියුනිස්ට් වියට්නාමය ද ඒ අතර වේ. මේ නිසා ආයෝජකයන් සමඟ නම්‍යශීලි තැනකට එකඟවීමට අපට සිදු වේ. අවසානේ සමහර අවාසි පුළුල් වශයෙන් සමස්ත වාසිය ගැන සිතා ඉවසා සිටීමට ද රටක් වශයෙන් සිදු වනු ඇත.
ජී.එස්.පී. සහනය යම් රටකට හිමිවන්නේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට අපේ නිෂ්පාදන බදු සහනයක් සහිතව ආලෙවි කිරීමට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙසිනි. එය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන්නා වූ රටවල අපනයන ආදායම වර්ධනය කර ගැනීමට ලැබෙන වාසිසහගත පිරිනැමීමකි. මේ නිසා අපේ නිෂ්පාදනවලට ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැනීමට පහසුවක් වනු ඇත.
පසුගිය සමයේ අපේ අපනයනය ආදායම අඩු වීමට ජී.එස්.පී. බදු සහනය අහිමි වීම ප්‍රබල හේතුවක් විය. මේ වන විට 33%ක්ම පැවැති අපනයනය ආදායම 14.5% දක්වා අඩු වී තිබේ. ණය අර්බුදය උග්‍ර වීමට හා රුපියල අවප්‍රමාණය වීමට මෙය ප්‍රබල හේතුවක් වනු ඇත. පවතින අර්බුදයට විසඳුම් සෙවීමට නම් අපනයන ආදායමේ වර්ධනයක් ඇති විය යුතුය. අඩුම තරමින් පැරැණි ප්‍රතිශතයටවත් ළඟා විය යුතු ය. ජී.එස්.පී. සහනය පිරිනමා ඇති රටකට ආයෝජන ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති වේ. ආයෝජකයෝ එම රටවලට පැමිණීමට ද වැඩි කැමැත්තක් දක්වති. මෙදා එය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ රජය ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවැසි පසුබිම සකස් කරමින් සිටිය දීම වීම මෙහි විශේෂත්වයකි.
කොන්දේසි
එය ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අය දිරිගන්වන සුළු පුවතක් මෙන් ම රජයේ ස්ථාවරත්වය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කිරීමක් ද වනු ඇත.
ජී.එස්.පී සහනය රටකට ලැබෙන්නේ කොන්දේසි සහිතවයි. මීට ඉහත එය ලැබී තිබුණේද කොන්දේසි සහිතවය. එය නොලැබී ගියේ අදාළ කොන්දේසි රටක් වශයෙන් කඩකළ හෙයිනි. එහි කොන්දේසි වනාහී අපට කළ හැකි ඒවා ය. නැතිනම් සමස්තයක් වශයෙන් ගත් කළ යහපාලනය කොන්දේසිය.
යම් රජයක් යහපාලන කොන්දේසි ඉටු කිරීමට සමත් නොවේ නම් එය අසාර්ථක රාජ්‍යයක් වනු ඇත. ඒ නිසා අසාර්ථක රාජ්‍යවලට ජී.එස්.පී. ලැබෙන්නේ නැත. ලැබෙන දේ අහිමි වන්නේ ද යහපාලනයෙන් තොරව කැලෑ ආණ්ඩු ස්වරූපයෙන් රාජ්‍යයන් පවත්වා ගෙන යෑමට පටන් ගැනීමත් සමඟ ය.
මේ අතර යම් රටකට ජී.එස්.පී. සහනය තිබී එය නොලැබීම ද එතරම් සුබවාදී වන්නේ නැත. අවසනයේ එම රටේ ජනතාව ඉදිරිපත් වී ආණ්ඩුවේ ගමන වෙනස් කර ගත්තා නම් එතැන් සිට ජාත්‍යන්තරය එම රට සම්බන්ධයෙන් වෙනස් ලෙසින් කල්පනා කිරීමට පටන් ගනී. මීට වසර 2කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ වෙනසට සපේක්ෂව සිදු විය යුතු සුබවාදී ජාත්‍යන්තර ප්‍රතිචාරය වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට හිමි වීම රටක් වශයෙන් අප ලැබු ජයග්‍රහණයක් ලෙසින් නොසැලකිය හැක්කේ අන්තවාදීව හා බලලෝභීව කල්පනා කරන පිරිසකට පමණි.
තිරසර සංවර්ධනය
එසේම ජී.එස්.පී. සහනය රටට හිමි වීම දුප්පත්කම දුරු කිරීමේ තිරසර සංවර්ධන වැඩසටහනට ද ප්‍රබල රුකුලක් වනු ඇත. එය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ජාත්‍යන්තරව ඊට සමගාමීව ජී.එස්.පී. සහනය ශ්‍රී ලංකාවට පිරිනැමීම තිරසර සංවර්ධන වැඩසටහනට ලැබෙන සුබවාදී ජාත්‍යන්තර ප්‍රතිචාරයක් සේ සැලකේ. මේ නිසා යුරෝපා වෙළෙඳ පොළට නිෂ්පාදන යවනු ලබන ආයෝජකයන් බවට පත් වීමට ද අපේ අඩු ආදායම් ලාභි ප්‍රජාවට අවස්ථාවක් උදා වේ. රජය කළ යුතු වන්නේ ඔවුනට උදව් කිරීම පමණි. එය ණය ආධාර තාක්ෂණික සහාය හා වෙළෙඳපොළ යන ක්ෂේත්රවලින් ඉටු කළ හැකි ය. මේ නිසා ජී.එස්.පී. සහනය ජාත්‍යන්තර ගිවිසුම් මගින් නිර්මාණය වන පුළුල් වෙළෙඳපොළ හා ආයෝජන කලාප තිරසර සංවර්ධන යුගයකට නව ප්‍රවේශයක් වනු ඇත.
Email Facebook Twitter Google+ Pinterest PrintFriendly Share

