විශ්ව ප්‍රජාවම එක් වී ණය සම්බන්ධයෙන් සම්මුතියකට ආ යුතුයි – ජනාධිපති රනිල් චීනයේ දී

 

 

ලෝකයේ බොහෝ රට­වල් මුහුණ දෙන ණය අර්බු­දය නිසා දේශ­ගු­ණික විප­ර්යාස අවම කර­ගැ­නීමේ සට­නට එක් වීම අති­ශය අසීරු සහ සංකීර්ණ කාර්ය­යක් වී තිබෙන බවත්, මුළු මහත් විශ්ව ප්‍රජා­වම එකට එක් වී මේ ප්‍රශ්න­යට විස­ඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රම­වේ­දය බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ඔහු මේ අද­හස් පළ කළේ තෙවැනි ‘එක් තීර­යක් එක් මාව­තක්’ ජාත්‍ය­න්තර සමු­ළු­වට සම­ගා­මිව ‘ස්වාභා­වික සුසං­යෝ­ගය වෙනු­වෙන් හරිත සේද මාවත’ මැයෙන් චීන ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලා­වේදී ඊයේ (18) පැවති ඉහළ පෙළේ සම්ම­න්ත්‍ර­ණය අම­ත­මිනි. ඒ සම්බ­න්ධ­යෙන් (1) අනු­ග­ම­නය කළ යුතු ආර­ක්ෂක සාමූ­හික යහ පිය­වර පිළි­බඳ පර්යේ­ෂණ කිරීම, (2) වැඩි ආදා­යම් රට­ව­ලට සහ­න­දායි පද­නම මත ණය ගැනීමේ අව­කාශ සැල­සීම සහ (3) ආසි­යානු යටි­තල පහ­සු­කම් ආයෝ­ජන බැංකුව ඇතුළු වෙනත් බහු­පා­ර්ශ්වීය සංවි­ධාන ඔස්සේ අම­තර අර­මු­දල් සැප­යීම යනු­වෙන් යෝජනා තුනක් ඉදි­රි­පත් කිරී­මට තමා කැමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය:

“ලෝකය මුහුණ දෙන ප්‍රධාන භූගෝලීය ත්‍රිත්ව අර්බුදයන් සේ සැලකෙන දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය සම්බන්ධව කඩිනම් පියවර ගැනීමේ අරමුණ ඇතිව ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම හා ආරක්ෂණ පියවර ගැනීමට පසුබිම සැකසෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළ යුතු බවට මම යෝජනා කරන්න කැමැතියි. ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් ඒ රටවල් කේන්ද්‍ර කරගනිමින් සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙනවා. ලෝකයට ආවේණික ශාක ප්‍රභේදවලින් 80%ක් හා සමස්ත කොරල් සහ කඩොලානවලින් 50%ක් පමණ පිහිටා ඇත්තේද ඝර්ම කලාපය තුළයි. මේ තත්ත්වය පසුබිම් කරගෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයක ශ්‍රී ලංකාව යෙදී සිටිනවා. මේ විශ්වවිද්‍යාලය මඟින් දේශගුණික වෙනස්වීම් අවම මට්ටමක පවත්වාගෙන යෑම සඳහා තියුණු පර්යේෂණ, අදාළ නියෝජිත ආයතනයන්හි සිදු විය යුතු වෙනස්කම්, ජාත්‍යන්තර සහයෝගය, ප්‍රජා ක්‍රියාකාරකම් ආදි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගත හැකි පියවර පිළිබඳ සොයා බලනවා.

“දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින් ප්‍රධාන කරුණු 3ක් සාක්ෂාත් කරගැනීමට අප අපේක්ෂා කරනවා. පළමුවැන්න: අනුගමනය කළ යුතු ආරක්ෂක සාමූහික යහ පියවර පිළිබඳ පර්යේෂණ කිරීමයි. දෙවැන්න: දැනුම බෙදාහදාගැනීමයි. තුන්වැන්න: ප්‍රායෝගික අධ්‍යාපනයයි. ඒ වගේම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ක මට්ටමකට සීමා කරගැනීමට අවශ්‍ය දැනුම, පර්යේෂණ සහ විසඳුම් දෙනවා. මේ විශ්වවිද්‍යාලය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා.

“දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයි. ඔවුන් මුහුණ දෙන අර්බුද නිසා දේශගුණික විපර්යාස අවම කරගැනීමේ සටනට එක් වීම අතිශය අසීරු සහ සංකීර්ණ කාර්යයක් වී තිබෙනවා.

මුළු මහත් විශ්ව ප්‍රජාවම එකට එක් වී මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයයි. ඒ සම්බන්ධයෙන් මම යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට කැමැතියි. පළමුවැන්න: අඩු ආදායම් ලබන රටවලට ණය සහන දීමයි. දෙවැන්න: වැඩි ආදායම් රටවලට සහනදායි පදනම මත ණය ගැනීමේ අවකාශ සැලසීමයි. තුන්වැන්න: ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීමයි.

මා මීට පෙර සඳහන් කළ ඝර්ම කලාපීය රටවල් 150ක් තිබෙනවා. එයින් 88ක්ම ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ පාර්ශ්වකරුවන් වනවා. මේ ඝර්ම කලාපය මුළු ලෝකයේම භූමි ප්‍රමාණයෙන් 40%ක්. ඒ වගේම ලෝක ජනගහණයෙන් 40%ක් වෙසෙන්නෙත් මේ කලාපයේයි.

එවන් පසුබිමක තිරසර සංවර්ධන ගමන් මඟෙහි පාරිසරික අවශ්‍යතාව ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සලකා මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන සමූහාණ්ඩුවට මගේ ස්තුතිය පළ කරනවා.

2021 වසරේ ආසියා ශාන්තිකර කලාපීය ‘එක් තීරයක් එක් මාවතක්’ ඉහළ පෙළේ සමුළුවේදීත් ශ්‍රී ලංකාව හරිත සේද මාවත වැඩපිළිවෙළට පූර්ණ සහාය දුන්නා. ඉදිරියටත් අප අපේ සහාය දෙනවා.”

මේ සම්මන්ත්‍රණය චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති හාන් ෂෙංග් (Han Zheng) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා සහ ඊට සහභාගි වූ අනෙකුත් රටවල රාජ්‍ය නායකයන්ද මෙහිදී අදහස් දැක්වූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති උපදේශක සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක, බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධානී කේ.කේ. යෝගානන්දන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැඟෙනහිර ආසියා අධ්‍යක්ෂ ජනරාල් පූජිත පෙරේරා, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රිෂාන් ද සිල්වා යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *