රනිල් කෝ ජනසභා? – රටේ රාළ

May be an image of 2 people and dais
ගෝල්ෆේස් අරගලය පරාජයට පත්වෙලා රනිල් අතට බලය කේන්ද්‍රගතවීමත් එක්ක රනිල්
” ජනසභා ” සංකල්පය ගැන කතා කළා.රනිල් අනුප්‍රාප්තික ජනාධිපති උන මුල් දවස්වල රනිල්ගේ පාර්ලිමේන්තු කතාවල,ජාතිය අමතලා කරපු කතාවල දෙතුන් සැරයක් ජනසභා ගැන කියවුනා. දැන් රනිල් බලයට පත්වෙලා අවුරුද්දකට වැඩියි.රනිල් නං තවමත් ඉන්නවා,හැබැයි ඡනසභා නම් තවම නෑ.ජනසභා කියන සංකල්පය කරලියට එන්න මූලික වෙන්නේ ගෝල්ෆේස් අරගලය කිව්වොත් ඒක වැරදි නෑ.අරගලයේ හිටපු තරුණ කණ්ඩායම් ගණනාවක් එක්ක කරූ ජයසූරියගේ සාධරණ සමාජයක් සදහා වූ ජාතිය ව්‍යාපාරය කරපු සාකච්ඡාවල ප්‍රතිපලයක් විදිහට තමයි ජනසභා සංකල්පය බිහිවෙන්නේ.
හැබැයි මේ ඉල්ලීම අරගල භූමිය ඇතුලේ ස්වයංව නිර්මාණය වෙච්චි එකක් නෙවෙයි.අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටේ තිබුණ මහජන ඉල්ලීමක්.ඒක අරගල භූමිය හරහා නැවත ප්‍රති නිර්මාණය වීමක් තමයි සිද්ධ වෙලා තියන්නේ.හැබැයි මේපාර ඒ සටන් පාඨයට වටිනාකමක් දෙන්න කරූගේ සාධාරණ සමාජයක් සදහා වු ජාතිය ව්‍යාපාරය සමත්වෙලා තියනවා.ජනසභා සම්බන්ධ යෝජනාව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කළාට පස්සේ රනිල් ඒක පිලිඅරන් තියනවා.
ඒ යෝජනාව පිලිඅරන් තමයි රනිල් ජනසභා ගැන කියන්න පටන් අරන් තියෙන්නේ. කොහොම උනත් දැනට ජනසභා ලේකම් කාර්යාලය ස්ථාපිත කරලා තියනවා.ජනසභාව සම්බන්ධ යෝජනවා වැඩි දියුණු කරලා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලත් තියනවා. කැබිනට් මණ්ඩල ඒක පිලිගනිමින් ඒ සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කරන්න අගමැති දිනේෂ්ගේ මූලිකත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත්කරලා තියනවා. ඊළඟට නැවත කැබිනට් එකට ඇවිත්, පාර්ලිමේන්තුවෙන් සම්මත වුනාට පස්සේ තමයි ජනසභා පනත රටේ නීතියක් බවට පත්වෙන්නේ.
ඒකට තව කොච්චර කාලයක් යයිද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.කොහොම හරි කරූලා මේ යෝජනාව හැකි ඉක්මනින් සංකල්පීය පත්‍රිකාවක් විදිහට ආණ්ඩුවට දීලා තියනවා.කැබිනට් අනුකමිටුවට යොමු කලාට පස්සේ තමයි මේ ඉබි ගමන යන්න පටන් අරන් තියෙන්නේ.රනිලුත් මේවා ගැන කියලා දානවා වගේම මේවා කලට වෙලාවට කෙරෙනවාද කියලා හොයලා බලන්නත් ඕනි.එහෙම වගකීමක් රනිල්ටත් තියනවා. ඇත්තටම ජනසභාවලින් වෙන්නේ අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්න අපේ රටේ හඩක් නැති ජනතාවට හඩක් දෙන එකයි.
එයාලා රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්න එකයි.මොකද අපේ රටේ ක්‍රියාත්මක වෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට තවදුරටත් මෙහෙම ඉදිරියට යන්න බෑ.ඒ තමරමටම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන මහජන නියෝජිත ආයතන ගැන ජනතා විශ්වාසය පළඳුවෙලා.225 ම එපා කියන සටන් පාඨය අවලංගු වෙන්න තරම් සාධාරණයක් පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් එක් කෙනෙක්වත් ඉෂ්ඨ කරලා නෑ. පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි පලාත් සභා සහ පාලාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ට අත්වෙලා තියෙන්නෙත් ඒ ඉරණමම තමයි.ජනතා විශ්වාස පළඳු වෙලා.
ඒක නිසා මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට සමාන්තර යන සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී වඩපිලිවෙලක් මේ රටට වහාම අවශ්‍යයයි.ඒක ගම් මට්ටමින් පටන් අරන් ව්‍යවස්ථාදායකය දක්වාම යන වැඩපිලිවෙලක් වෙන්න ඕනි. මහජන නියෝජිතයා,රාජ්‍ය නිලධාරියා ජනතාව එක්ක සමීප සම්බන්ධයක් හැදුවේ නැත්තං මේ ක්‍රමයට තවත් ඉස්සරහට යන්න බෑ. ඇත්තටම තව දුරටත් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරීන් රාජ්‍ය පාලන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් කරන්නේ නැත්තං වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ඔය දෙගොල්ලොම මහජනතාවගේ ඉලක්ක බවට පත්වෙන එක නවත්තන්න බෑ.
ඒක කිසිසේත්ම හොඳ දෙයක් නෙවෙයි. ජනසහාවෙන් කරන්නේ ගමේ සියලු කටයුතු ප්‍රජා දායකත්වයෙන් සිදුකිරීමයි. ගමේ ඉන්න රාජ්‍ය නිලධාරීන් එක්ක එකතු වෙලා ගමේ සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් සහ ගමේ සම්පත් කළමණාකරණය සම්බන්ධව තීරණ ගැනීමයි.ඊළඟට යමියම් කරුණු සම්බන්ධව ජනමතය ලබා ගන්නා ඒකකයක් විදිහටත් ජනසභාවට කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගමේ තියන මානව සම්පත සම්බන්ධව නියම අවබෝධයක් ලබා ගනිමින් අවස්ථා අහිමිවුවන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් ජනසභාවට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
අද වෙනකොට තාක්ෂණයත් එක්ක ඉදිරියට ගිය තරුණයෙක් ගමේ ඉන්නවා.ඒ වගේම තවමත් වැඩවසම් ආකෘති ඇතුලේ හිරවුන වැඩිහිටි පරපුරක් ගමේ ඉන්නවා. තවදුරටත් ගමේ සංවර්ධනයට සහ මානව සංවර්ධනයට අර තරුණයා සහභාගී කරවා ගත්තේ නැත්තං අපි කරන්නේ ලොකු අපරාධයක්. තමන්ට අවස්ථා නෑ කියන විරෝධාකල්පය ඇතුලේ ඉන්න තරුණ තරුණියන් තවදුරටත් ඒ අදහස ඇතුලේ හිරකරන එක අතිශයින්ම භයානකයි.ඒකටත් හොඳම උදාහරණ සපයන්නේ ගෝල්ෆේස් අරගලය.තමන්ගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලගෙන අරගලයට ආපු තරුණයා ඉස්සෙල්ලාම තමන්ගේ හතුරා විදිහට දැක්කේ පවතින ආණ්ඩුව.
එයාලා ඉස්සෙල්ලාම තේරුවේ Gota go home. මයිනා go home කියන සටන් පාඨ.මාස තුනක් ඇතුලත එයාලා ගෝඨත් ගෙදර යැව්වා, එයාලා කියපු මයිනා ඊටත් ඉස්සෙල්ලා ගෙදර යැවිවා.දැන් හතුරෝ දෙන්නම පන්නලා ඉවරයි.දැන් හතුරෙක් නෑ.ඊළගට එයාලා හතුරා කරගත්තේ ගෝල්ෆේස් අරගල බිමේ තමන් එක්ක එකට අරගල කරපු අනෙකායි.එක රැයෙන් ගෝල්ෆේස් අරගල බිම යුධ පිටියක් බවට පත්වුනා.අරගල කරපු අය කණ්ඩායම්වලට බෙදිලා මරා ගත්තා.අරගලය නිසාම ජනාධිපති වුන රනිල් ඒ අවස්ථාව පාවිචිචි කරලා මහින්ද ගෙදර යවපු, ගෝඨාභය ගෙදර යවපු අරගලකාරයෝ ටික ගෙදර යවලා ගෝල්ෆේස් අරගල භූමිය සුද්ද කළා.
ගෙදර ගිය අරගලකාරයට දැන් හතුරෙක් නෑ.හැබැයි එයාට තවදුරටත් හතුරෙක් නැතිව ඉන්න බෑ.මොකද එයාලගේ ප්‍රශ්න ටික එහෙමම තියනවා.දැන් එයාලා තමන්ගේ හතුරා බවට තමන්වම පත් කරගෙන.එදා අරගලයට සම්බන්ධ උන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ගණනාවක් දැන් සියදිවි නසා ගෙන.අරගලයක සම්බන්ධ අය විවිධ අපචාරවලට යොමුවෙලා. අති බහුතරය නීති විරෝධී මත්ද්‍රව්‍යවල ගොදුරක් වෙලා.සමාජ විරෝධී වැඩ කරලා සෙට් එකක් හිරේ,නැත්තං නඩු වැටිලා.
එයාලගෙ මනසේ තියෙන්නේ මේ සමාජය කුඩු පට්ටම් කරන්න ඕනි කියන මතය.මේ සමාජය යහපත් තැනකට පරිවර්ථනය කරන්න ඕනි මනසක් එයාලට නෑ.එහෙම සමාජ විරෝධියෙකු මේ සමාජය ඇතුලේ හැදෙනකොට මේ සමාජයේ ඉන්න කාටවත් රැකවරණයක් නෑ. ඔයාලගේ ගෙදර සාන්තුවරයෙක් හිටියත් වැඩක් නෑ අල්ලපු ගෙදර සර්පයෙක් ඉන්නවා නම්.අපි අපේ ගෙදර සාන්තුවරයෙක් හදනවා වගේම සමාජය ඇතුලේ විසකුරු සර්පයින් පැටවු ගහන එක නවත්තන්නත් අපට යුතුකමක් තියනවා.ඒක අපේ සමාජ වගකීමක්.ඒ වගකීම ඉෂ්ඨ කළේ නැත්තං අර සර්පයෝ ඇවිත් අපේ ගෙදර ඉන්න සාන්තුවරයටයි අපිටයි දෙගොල්ලන්ටම දෂ්ඨ කරලා යනවා.
මේ ප්‍රශ්නය උත්තරයක් හදන්න ඡනසභා සංකල්පයට පුළුවන්. ඊළඟට අපේ ගමිවල ඉන්නේ ආණ්ඩුවෙන් දෙනකං බලා ඉන්න මිනිහෙක්.දුන්නේ නැත්තං ආණ්ඩුව බැන බැන ඉන්න කෙනෙක්.තමන් තුල තියන හැකියාව,ගමතුල තියන හැකියාව දන්නේ නැති කෙනෙක්. ඇත්තටම ආර්ථික වශයෙන් නැගිටින්න ඕනි හෞතික සහ මානව සමිපත ගමේ තියනවා.අඩුම ගානේ පොඩියට හරි පටන් ගන්න පුළුවන්.නැත්තේ ඊට ඕනි මඟ පෙන්වීම විතරයි.අපි කොච්චර ස්වාධීන මිනිස්සු ගැන කතා කළත් වැඩක් නෑ.ආර්ථික ස්වාධීනතාවය නැතිව කිසිම පුද්ගලයෙකු ස්වාධීන කෙනෙක් වෙන්නේ නෑ.
ඒක නිසා ජනසභා හරහා ගම ශක්තිමත්ව ආර්ථික වශයෙන්ද ගොඩනගන්නත් පුළුවන්.ඒක දැවැන්ත අභියෝගයක් තමයි.ඒත් කරන්න පුළුවන්.අපේ සමාජය ඇතුලේ තියන වැඩවසම් ලක්ෂණ සහ විවිධ සමාජ බෙදීම් මේකට බාධාවන් විදිහට තියෙයි.ඒත් ඒවා පැත්තකට දාලා නැගිටිනවා නම් අපිට බොහොම කෙටි කාලයක් ඇතුලත ආර්ථික වශයෙන් නැගිටින්න පුළුවන්.ඒකට ගමේ ජනතාව සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ කෙරෙන ව්‍යාපෘතිවලට දායක කරගන්න ඕනි.ප්‍රජා දායකත්වය ශක්තිමත් කරන්න ඕනි ඒකට හොඳ තැනක් විදිහට ග්‍රාමීය ජනසහාව හදුන්වන්න පුළුවන්.
ඇත්තටම ජනසභා සංකල්පයට යථාර්ථයක් කරලා ඒක නිර්දේශපාලන ව්‍යුහයක් විදිහට වැඩෙන්න දීම තමයි මේ වෙලාවේ කැබිනට් මණ්ඩලයටත්, දිනේෂ්ගේ කැබිනට් අනුකමිටුවටත්, පාර්ලේමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ඉෂ්ඨ කරන්න තියන ප්‍රධාන වගකීම.ඒකවත් ජනතාවට දෙන්නේ නැත්තං මේ පාර්ලිමේන්තුවෙන්,මේ කැබිනට් මණ්ඩලයයෙන්,මේ අගමැතිගෙන් සහ ජනාධිපතිගෙන් තියන පලය මොකද්ද?
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *