රනිල්ගේ කණු හතර සෙලවෙයි – රටේ රාළ

sharethis sharing button

ජූනි පළවෙනිදා ජාතිය අමතලා රනිල් කරපු කතාවත් එක්ක හැදුන සමාජ සංවාදය තවමත් ඉවර වෙලා නෑ.රනිල් ඒ කතාවෙන් තමන්ගේ කෙටිකාලින සහ දිගුකාලීන ආර්ථික වැඩපිලිවෙල ගැන කිව්වා.ඒ කතාව ඇතුලේ රනිල්ගේ දේශපාලන ඉළක්කයත් හැංගලා තිබුණා.රටේ රාළ නං රනිල්ගේ ඒ කතාව ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කියපු කතාවක් විතරක් විදිහට සළකන්නේ නෑ.රටේ රාළ ඒ ගැන විග්‍රහ කරන්නේ රනිල් නොකියපු දේශපාලන කතාවත් එක්ක.රනිල් කියපු ප්‍රතිසංස්කරණ දේශපාලනයෙන් වියුක්ත නෑ වගේම රනිල්ගේ පෞද්ගලික දේශපාලන ඉලක්කයෙන් වියුක්තත් නෑ.

රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මූලික කුළුණු හතරක් මත ගොඩනගෙන බව රනිල් කිව්වා.රාජ්‍ය මූල්‍ය පාලනය, ආයෝජන ප්‍රවර්ධනය,සමාජ ආරක්ෂණ ජාලය,රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය තමයි ඒ කණු හතර.රනිල් ඒ වැඩපිලිවෙල කාලපරිච්ඡේද තුනකට බෙදුවා. එකක් මේ අවුරුද්ද අවසන්වීම දක්වා කාලය,අනික ඊළගට එන අවුරුදු පහක කාලය,ඊට පස්සේ 2028 ඉදන් 2048 දක්වා අවුරුදු 20 ක කාලය.ඒකයි රටේ රාළ කියන්නේ ඒ කතාව ඇතුලේ රනිල්ගේ දේශපාලන ඉලක්කයත් හංගලා තියනවා කියලා.රනිල් කිව්වේ මේ අවුරුද්දේ දෙවෙනි කාර්තුව අවසන් වෙන්න ඉස්සෙල්ලා එයා කියන මේ ආර්ථික ක්‍රියාවලිය වෙනුවෙන් කරන සංගායනා වැඩපිලිවෙල පටන් ගන්නවා කියලා.ඒ කියන්නේ රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙලට අදාල ඒ ඒ ක්ෂේත්‍රවල අයගෙන් සහ ජනතවගෙන් අදහස් ගැනීම පටන් ගන්නවා.

තුන්වෙනි කාර්තුවේදී වෙන්නේ සංගායනා ක්‍රියාවලිය අවසන්වීම සහ ආර්ථික ක්‍රියාවලියකට සම්බන්ධ විශේෂ කාර්ය සාධන බලකායක් ජනතාව හමුවට ගේන එක.ඊට පස්සේ අවුරුද්ද අවසානයේ ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම එලිදක්වනවා.
එතකොට මේ අවුරුද්ද ඉවරයි.ඊට පස්සේ අවුරුදු පහ කියන්නේ ඒ වැඩපිලිවෙල යටතේ ආර්ථිකය පුර්ණ වශයෙන් ස්ථාවර කරන අවුරුදු පහ.එතනින් පස්සේ එන අවුරුදු 20 ඇතුලේ තමයි ඉහල ආදායම් ලබන දියුණු රටක් බවට අපේ රට පත් වෙන්නේ.මුල් අවුරුදු පහෙන් පස්සේ ඒ කියන්නේ 2028 න් පස්සේ රට නගාසිටුවීමේ වැඩපිලිවෙල තරුණයින්ට බාර දෙනවා.ඕකනේ රනිල්ගේ මාර්ග සිතියම.ඇත්තටම මේ කියන කතාව හරිම ලස්සනයි.වැඩේ ඒ විදිහට සිද්ධ වෙනවා නම් කොච්චර හොඳද?හැබැයි මේ ක්‍රියාවලිය එහෙම සරල රේඛීයව එකම තලයක් ඔස්සේ ඉස්සරහට යන්නේ නෑ.ඒකයි රටේ රාළ කියන්නේ මේක දේශපාලනයෙන් වියුක්තව කියපු කතාවක් කියලා.ඒත් රනිල් ඒක කියන්නේ නොදැනුවත්ව කියලා නං රටේ රාළ හිතන්නේ නෑ.රටේ රාළ කියන්නේ රනිල්ගේ මේ කතාව ඇතුලේ හිතාමතාම හංගන දේශපාලනයක් තියනවා කියලයි.

අපි රනිල්ගේ මේ කතාව සළකා බලන්න ඕනි රනිල් හිතාමතා හංගපු දේශපාලනයත් එක්ක.රනිල් කියන ආර්ථික මාර්ග සිතියමට අදාලව රනිල් නොකියන දේශපාලන මාර්ග සිතියම රටේ රාළ කියන්නම්. රනිල්ගේ ආර්ථික මාර්ග සිතියම ඇතුලේ මේ අවුරුද්ද වෙන්කරන්නේ ජනතා අදහස් ගන්න සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක අධීක්ෂණ ආයතන ශක්තිමත් කරන්න.මේ අවුරුද්ද කියන්නේ සූදානම් කිරීමේ කාලපරිච්ඡේදයක්.රනිල් කියන ගමන 2048 දක්වා දුරයි.ඒ දුර ගමන ඇතුලේ රනිල්ගේ දේශපාලන ගමන එච්චර දුර නෑ.ඒක රනිල්ගේ කතාවේ ව්‍යංගාර්ථය ඇතුලේ තියනවා.රනිල් ජනාධිපතිවරණයට අවශ්‍ය සුදානම් කිරීමි කරන්නේ මේ අවුරුද්ද ඇතුලෙයි.ඒකට සමාන්තරව රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් යනවා. ඒකට රටේ රාළගේ කිසිම විරුද්ධත්වයක් නෑ.ඒක රනිල්ගේ අයිතිය.

රටේ රාළට මෙතනදී කියන්න ඕනි රනිල් නොකියන ටිකත් අපට තේරෙනවා කියලා විතරයි.ඊළගට රනිල් කියනවා ඊළග අවුරුදු පහ කියන්නේ පුර්ණ වශයෙන් රට ගොඩනැගීමේ අවුරුදු පහ කියලා.ඒ කියන්නේ වෙන මොකවත් නෙවෙයි ඊළග අවුරුදු පහ රනිල්ගේ කියලයි. ඒ අවුරුදු පහ රනිල්ගේද වෙන කාගේවත්ද කියලා දැන්ම කියන්න රටේ රාළ ඉක්මන් වෙන්නේ නෑ. කොහොම උනත් තත්වය හොඳ වෙනවා නම් 2024 සිංහල,දෙමල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා රනිල් ජනාධිපතිවරණයක් කැදවන්න ඉඩ තියන බව රනිල්ගේ කතාවෙන් පැහැදිලියි.ඒ අවුරුදු පහෙන් පස්සේ රට පූර්ණ වශයෙන් ගොඩනගලා රනිල් විශ්‍රාම යන බවත් රනිල්ගේ කතාවේ ව්‍යංග්‍යර්ථ ඇතුලේ තියනවා.ඒකයි රනිල් කියන්නේ ඒ අවුරුදු පහෙන් පස්සේ ඊළග අවුරුදු 20 මේ රටේ තරුණයින්ට බාරයි කියලා.හැබැයි ඉන් මෙහා නං මට ඕනි කියලයි රනිල් කියන්නේ. එතනදී රනිල් රාජපක්ෂලාටත් තඳ warn එකක් දෙනවා.

රනිල් කියන්නේ මීට වසරකට උඩදී මේ රට තිබුණ තැනට මේ රට ආයෙත් පත් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ කියලයි.රනිල් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රාජපක්ෂලාට.රනිල් කියන්නේ රාජපක්ෂලාට ආයෙත් බලයට එන්න දෙන්නේ නෑ කියලා වෙන්න ඕනි.මොකද රට බංකොලොත් කළා කියන චෝදනාව සජිත්ටවත්, අනුරටවත් අදාල නෑ.රනිල් සහ රාජපක්ෂලා අතර ගැටුම දැන් උග්‍ර වෙලා බව පැහැදිලියි.ඒත් රනිල් සහ මහින්ද අතර තියෙන්නේ හතුරු ප්‍රති විරෝධයක් නෙවෙයි කියලයි රටේ රාළට නං තවමත් හිතන්නේ. මහින්ද යම් විදිහකින් අගමැතිකම බලාපොරොත්තු වෙනවා ඇති.ඒත් නාමල් මේ වෙලාවේ අවධානම් සටනකට එවන්න මහින්ද සුදානම් නෑ.මහින්දගේ පවුලේ ගැටුම තියෙන්නේ මහින්දට අගමැතිකම ගන්න මිසක් නාමල්ට ජනාධිපති අපේක්ෂකත්වය ගන්න නෙවෙයි. එතකොට බොහොම පැහැදිලිව පේනවා පොහොට්ටුව ඇතුලේ ගැටුම තියෙන්නේ රනිල් සහ බැසිල් අතර බව.

හැබැයි රනිල් ව්‍යංග්‍යර්ථයෙන් හරි ඒ වගේ කතාවක් කියපු පළවෙනි අවස්ථාව මේක. සමහරවිට බැසිල් පාර්ශවයයෙන් රනිල්ට ළගදී ප්‍රහාරයක් එල්ල වෙයි කියන සැකය මත ඒක රනිල් බැසිල්ට කරපු අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්. කොහොම හරි රනිල්ගේ ආර්ථික විග්‍රහය දේශපාලනය ඇතුලේ තියලා බැලුවහම රනිල් හෙට දවසේ ලක්වෙන්න පුළුවන් අවධානම් සහඟත පැති ගනනාවක් තියනවා.රනිල් ජාතිය අමතලා කරපු කතාවට දැඩි ප්‍රහාරයක් විපක්ෂයෙන් එල්ල වුනා.ඩලස් කිව්වේ රනිල්ගේ මේ ආර්ථික මාර්ග සිතියම හිතලුවක් කියලයි.ඩලස් ඒක 2048 දක්වා අපේ රටේ ඒක පුද්ගල ආදායමෙයි,දළ ජාතික නිෂ්පාදනයෙයි උපකල්පනයන් අරගෙන පෙන්නුවා.ඒ වෙනුවෙන් 2028 දක්වා IMF වාර්තාත් පදනම් කරගත්තා.ඊළගට ඩලස් කිව්වේ 87/88 කාලේ රනිල් කර්මාන්ත ඇමති විදිහට රාජ්‍ය ආයතන ගණනාවක් කුණු කොල්ලයට වික්කා.ඒ වගේ දේකට ආයෙත් අරඅඳිනවාද කියලා සැකයකුත් මතුවෙනවා කියලයි.කොහොම උනත් රනිල්ගේ මේ ක්‍රියාවලියට දේශපාලන වශයෙන් බාධා කරන්න විපක්ෂය ලෑස්තියි.

රනිල්ගේ කතාවේ කිසිම සුභවාදී පැත්තක් දකින්න විපක්ෂය සුදානම් නෑ.සජබය සහ ජවිපෙ ඉන්නෙත් එතන.ඒක නිසා ආයෙත් රට විකුණනෝ කියන සටන් පාඨය උඩට එන එක නවත්තන්න බෑ.ඊට විරුද්ධව උද්ඝෝෂණ සහ වැඩවර්ජන රැල්ලක් නිර්මාණය කරන්න විපක්ෂය උපරිම උත්සාහක් දරයි.රනිල්ට එතනදී ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු පුද්ගලිකව උදව් කළත් පොහොට්ටුව පක්ෂයක් විදිහට උදව් කරන්නේ නෑ.පොහොට්ටුව ඉන්නේ වාසි වෙලාවට ඇවිත් වාසිය ගන්න සහ අවාසිදායක තැනදී සියල්ල රනිල් පිටපටවලා අත හෝදගන්න ප්‍රතිපත්තියක.එතනදී රනිල්ට මුවා වෙන්න බෆර් එකකුත් ඇත්තටම නෑ.එජාප දුර්වලවීම මෙතනදී රනිල්ට තියන බරපතල අවාසියක්.රනිල්ට මතවාදී පෙරමුණක් නෑ.අඩුම ගානේ එජාපයවත් ශක්තිමත්ව තිබුණා නම් ඒ රැකවරණය රනිල්ට හම්බ වෙනවා.රනිල්ගේ ඔළුවේ තියන ජනාධිපති හීනය හින්දා රනිල් හිතාමතාම එජාප ගමන නතර කරනවාද කියන සැකය රටේ රාළට තියනවා.

රනිල් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාව එජාපය ශක්තිමත් කිරීමට බාධාවක් කරගැනීම මෝඩකමක්. එජාපය සම්ප්‍රදායික දේශපාලන කෝවෙන් එලියට ඇවිත් මතවාදී පෙරමුණක් විදිහට ශක්තිමත් වෙන්න ඕනි.ඒකට අවශ්‍ය ප්‍රති සංවිධාන ක්‍රියාවලිය එජාපය ඇතුලේ වෙන බව පේන්නේ නෑ. ඇත්තටම දැන් එජාපයට ශක්තිමත් ප්‍රධාන ලේකම්වරයෙක් සහ ශක්තිමත් ජාතික සංවිධායකයෙක් ඕනි කාලය ඇවිල්ලා.එහෙම නැතිව සජබෙ එක්ක ඔට්ටු වෙන ප්‍රධාන ලේකම් කෙනෙකුයි,නිර්පාක්ෂික රනිල් පස්සේ යන ජාතික සංවිධායකයෙකුයි නං දැන් එජාපයට වැඩක් නෑ.එහෙම නොවුනොත් රනිල්ට ජනාධිපතිකමත් නැතිවෙලා එජාපයට ගමනකුත් නැති වෙන්න පුළුවන්.එදාට රනිල්ට වේදිකාවෙන් බැහැලා යන්න වෙන්නේ එජාපය විනාශ කරපු නායකයා විදිහට.
හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.
මීට

රටේ රාළ.

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *