ඉල්ලා අස්වෙන්න බැහැ කියූ ආණ්ඩුකාරවරු තිදෙනෙක් ඉවත් කෙරෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් අද (15) සිට පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අය මෙසේ ඉවත් කර ඇත.
මෙම ආණ්ඩුකාර වරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දන්වා තිබුණු බවත්, ඔවුන් එයට අවනත නොවු බවත්, පසුගිය දිනවල වාර්තා වී ය. ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමට ජනාධිපතිට බලයක් නැතැයි හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතා දුන් උපදෙසක් අනුව ඔවුන් මෙසේ ඉල්ලා අස් නොවී රැඳී සිටි බව කියති.
සරත් සිල්වා මහතගේ මතය වී ඇත්තේ ජනාධිපති විසින් ආණ්ඩුකාරවරුන් ඉවත් කළ හොත් එයට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව ඇති බවයි.
වෙනත් නීති විෂරදයින්ගේ මතය වී ඇත්තේ ආණ්ඩුකාරවරුන්ගේ පත්කිරීමේ බලධාරියා වන ජනාධිපතිට ඔවුන් ඉවත් කිරීමේ බලය ඇති බවයි.
