යෝජිත ව්‍යවස්ථාව ජයගැනීමට නම් පරාජිත මානසිකත්වයට ඉඩ නොතැබිය යුතු යි – මහින්ද රත්නායක

මෙවර අයවැයට ද සුපුරුදු පරිදි විපක්ෂයෙන් විවේචන එල්ල වූ නමුත් 2/3ක වැඩි ඡුන්දයෙන් එය මෙවරද සම්මත විය. එය සම්මත වූයේ නොවැම්බර් මස 18වෙනිදා ය. නොවැම්බර් 19 දින නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ කමිටු 6 යේ වාර්තා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අදාළ කමිටු වාර්තා 6ම පොදු එකඟත්වයක් ඇතිව ඉදිරිපත් වූ ඒවා වන අතරම විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රිවරු ද මේ කමිටු නියෝජනය කළා පමණක් නොව මුදල් කමිටුවේ සභාපතිත්වය දැරුවේ මන්ත‍්‍රි බන්දුල ගුණවර්ධන මහතා බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුව තිබේ. යෝජීත නව ව්‍යවස්ථාව ද ජනමත විචාරණයට ලක්කිරීමට ප‍්‍රථම පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡුන්දයෙන් අනුමත වියයුතුව තිබේ. 2/3ක බහුතර ඡුන්දයෙන් අයවැය අනුමත කරගත් දිනට පසුදින අගමැතිවරයා අර කී කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ කලින් තීරණයකරගත් පරිදි යෝජිත ව්‍යවස්ථාවට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිබව ඇඟවීමට යැයි සිතිය හැක.  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ දැඩි ආත්ම  විශ්වාසයක් ඇතිව ය.

අයවැය ඡුන්ද විමසීම දක්වා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටිමින් අගමැතිතුමාට සහාය වූ ආකාරයටම කමිටු වාර්තා ඉදිරිපත්කරන විට ද අගමැතිතුමාට සහායවීම කැපී පෙනුනි. නායකයින් දෙදෙනාගේ මෙම යහපත් හැසිරීම ජනවාරි 08 වෙනසට මුලපිරූ ජනතාවගේ සතුටට කරුනක් වූවාට කිසිදු සැකයක් නැත. ඒකාබද්ධ විරුද්ධ පක්ෂය සමඟ එක් වී ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව ඡුන්දය පාවිච්චි කළේ වී නමුත් අගමැතිවරයාගේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා දැක්වු අදහස් නිෂේධනාත්මක නොවීම ද යහපත් ය. පාර්ලිමේන්තුවේ 2/3කට අමතරව යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළයුතු බවට විපක්ෂ නායක සම්බන්ධන් මහතා  කියා සිටීමෙන් පැහැදිළි වූයේ සිංහළ ජනතාව අනුමත නොකරණ ව්‍යවස්ථාවක් තමන් අපේක්ෂා නොකරණ බව ය. විපක්ෂ නායක සම්බන්ධන් මහතා ගේ මේ ප‍්‍රකාශය ඔහුගේ දේශපාලන පරිණත භාවය මැනවින් ප‍්‍රදර්ශනය කළේ ය.

යෝජිත නව  ව්‍යවස්ථාව කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විරුද්ධ පක්ෂය ඉදිරියේ දී ගැනීමට නියමිත ස්ථාවරය දිනේශ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ කථාවෙන් මොනවට පැහැදිළි විය. ගුණවර්ධන මන්ත‍්‍රිවරයාගේ අදහසට අනුව පලාත් සභාවලට බලතල වැඩිකිරීම තුළ ජනාධිපති ක‍්‍රමය ඉවත් වන්නේ නම් තවත් රටවල් බිහිවිමේ අනනතුරක් මතුවේ. දිනේශ් ගුණවර්ධන මන්ත‍්‍රිවරයා මෙයින් කියන්නට උත්සාහ දරන්නේ පලාත් සභාවලට බලතල වැඩිකරන්නේ නම් ජනාධිපති ක‍්‍රමය තබාගත යුතුබව යැයි සිතිය හැක. ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නේ නම් පලාත් සභා අහෝසිකළ යුතු බවට ගුණවර්ධන මන්ත‍්‍රිවරයා මේ මගින් යෝජනා කරනවාද වෙන්නට පුළුවන.

හිටපු ජනාධිපති මෙන්ම කුරුණැගල පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්ද රාජපක්ෂ මහතා යෝජිත ව්‍යවස්ථාවට මේ වනවිටත් තම විරෝධය පලකර තිබේ. කාලයක් දෙමළ ජනතාවගේ ස්වයංතීරණ අයිතිය පවා පිලිගත් වාසුදේව නානායක්කාර මන්ත‍්‍රිවරයා කියන්නේ යෝජිත ව්‍යවස්ථාව ඇමරිකානු අධිරාජ්‍යවාදින්ගේ උවමනාවට හදන එකක් බව ය. යෝජීත ව්‍යවස්ථාව දෙමළ සංධානය සමග එක්ව දැනටමත් කෙටුම්පත්කර ඇති බවට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන් මුසාබස් දොඩති. මේ අසත්‍ය පදනම්කරගෙන ජාතිවාදය අවුස්සමින්, යෝජිත ව්‍යවස්ථා වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැම් මාධ්‍ය ද සූදානම්වන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.

කිසිදු අන්තවාදයකට ඉඩ නොදෙන බවට අගමැතිතුමා කළ ප‍්‍රකාශය මෙන්ම ජාතිවාදයට උඩගෙඩි දෙන මාධ්‍යට කළ අනතුරු ඇඟවීම ආණ්ඩුවට විරුද්ධ නොවන ඇතැමුන්ගේ ද කණස්සල්ලට හේතුවක්විය හැක. කෙසේ නමුත් සමාජ ප‍්‍රගමණය උදෙසා ගන්නා දේශපාලන ක‍්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට දරණ උත්සහායන් යටපත් කිරීමෙන් තොරව ඒවා සාක්ෂාත් කර ගැනීමට හැකිවන්නේ නැත. මේ සම්බන්ධයෙන් අපිට   ඕනැතරම් අත්දැකීම් ඇත. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට අනුමත කරගැනීමට නොහැකි වූ 2000 ව්‍යවස්ථා කෙටුම්පත දක්වා අපි ඒ අමිහිරි අත්දැකීම් ලබා ඇත්තෙමු. එදා ඒ ජාතිවාදි  හා අවස්ථාවාදි දුෂ්ට බලවේගයන් යටපත් කළේ නම් ශ‍්‍රි ලංකාව මේ වනවිටත් වාසනාවත්ත රටක් වි තිබෙනවාට කිසිදු සැකයක් නැත. කෙසේ නමුත් කඩා කප්පල්කාරි බලවේගයන්ට මුහුණදීම සඳහා දේශපාලනික සූදානමක්  ආණ්ඩුවට නොමැතිවීම බරපතල අඩුපාඩුවක් බව පෙන්වා දියයුතුව තිබේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතු බවට ජනාධිපතිතුමා මේ වනවිට ද තම එකඟතාවය පලකර තිබේ. එතුමා බලයට පත්කිරීමට වෙහෙස වූ ජනතා බලවේගයේ ඡුන්දයෙන් පමණක් වුවද ජනමත විචාරණය ජයගතහැකි බව එතුමා දනී.  එහෙත් පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතාව පිළිනොගත් නමුත් ජයග‍්‍රහණයෙන් අනතුරුව තමන්ගේ නායකයා යැයි උදම් අනන ඇතැම් මැති ඇමතිවරුන්ට ජනමත විචාරණයෙන් ජයගතහැකි බවට වන විශ්වාසයක් නැති බව පෙනේ.  ඔවුන්ගේ තක්සේරුව මත  යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ ඉදිරි ක‍්‍රියාමාර්ග තීන්දු කිරිමට යමෙක් හිතන්නේ නම් ජනවාරි 08 වෙනිදා ජයග‍්‍රහණය ද අපිට අත්පත්කර ගන්නට හැකි වන්නේ නැත. මහින්ද රාජපක්ෂට තවමත් බිය, පක්ෂපාති හා ආත්ම ශක්තියක් නොමැති මොවුන්ගේ පරාජිත මානසිකත්වයට මෙය තීන්දු කිරීමට ඉඩ නොතැබිය යුතු ය. මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැන් රටේ ජනාධිපතිවරයා වන හෙයින් තම පක්ෂයට එයින් ඇති වාසිය සළකා මෙවැනි පරාජිත මතයක් සමාජගත කිරිම ඔවුන්ගේ අරමුණ වනවා වෙන්නට ද පුළුවන. වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට මේ මගින් කිසිදු බලපෑමක් නොවන්නේ ඔහුගේ ධූර කාලය නිමවන තුරු දැනට පවතින බලතල යටතේම ඔහු ජනාධිපතිවරයා වන බැවිනි.

නව ව්‍යවස්ථාවට අනුව පැවැත්්වෙන ඊ ළග මැතිවරණයේ දී ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කළහොත් අගමැතිවරයාවීමට මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බාධාවක් නැත. ඔහු එයට අකැමැති නම්  නව ව්‍යවස්තාව යටතේ ගෞරවනීය ලෙස නාමික ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ හැකියාව ද ඔහුට තිබේ.ඉදිරි වසර කිහිපය තුළ රට ගමන් කරන්නේ කුමන දිසාවට ද යන්න මත ජනතාව එම තීන්දුව ගන්නවාට කිසිදු සැකයක් නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ දැනට ඇති යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි පරිසරය ආරක්ෂා කර ගැනීම පමණි.

කුමන අඩුපාඩු තිබුනත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා එක්ව යහපත් පරිසරයක් මේ වන විට නිර්මානයකර තිබේ. ඒ සම්බන්ධයෙන් නායකයින් දෙදෙනාටම මේ රටේ නීති ගරුක පුරවැසියන්ගේ ප‍්‍රණාමය හිමිවිය යුතු අතරම මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කරගත යුතුව තිබේ. ඒ සඳහා නායකයින් දෙදෙනාගේ අනොන්‍ය සහයෝගය වැදගත් වන අතර පසුගිය කාලයේ මෙන් වැරදි අවබෝධයන් ඇතිවීම වළක්වාගත යුතුව තිබේ.

රටේ අනාගතය පසෙක තිබිය දී පක්ෂ දේශපාලනයේ න්‍යාය පත‍්‍රවලට වැඩකරණ පිරිසක් සැම පක්ෂයකම සිටිති. රටේ දේශපාලනය තුළ තම පක්ෂය බලවත් වන තරමට තමන්ගේ බලය ද වර්ධනය කරුනීම ඒ පිරිසගේ අරමුණ ය. එහි ඇති වරදක් නැති නමුත් එක් පක්ෂයකට පමණක් තනියම විසඳීමට නොහැකි බරපතල ප‍්‍රශ්න  ඕනෑම රටකට තිබේ. රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ එකගතාවයක් අවශ්‍ය වන්නේ එවැනි ප‍්‍රශ්න විසඳීමට ය. දිනෙන් දින වලපල්ලට යමින් තිබූ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්න මෙන්ම ජාතික ප‍්‍රශ්නය මේ අතර ප‍්‍රධානය. මෙයට අමතරව රට සංවර්ධනය කරුනීමේ නව ආර්ථික මූලෝපායක් සකස්කර ගත යුතුව තිබේ. නිරඅවි යුධ සමයේ සංකල්පගත කළ සංවර්ධන මාදිලිය අදට වලංගු වන්නේ නැත. එසේ නම් වත්මනට  ඕබින සංවර්ධන මූලෝපාය පිළිබඳ ප‍්‍රධාන පක්ෂ දෙකේ මූලික එකගතාවයක් තිබිය යුතු ය.

මේ ජාතික ආණ්ඩුව සකස්කරගෙන තිබෙන්නේ රටේ තවමත් නොවිසඳුනු එම කර්තව්‍යවයන් සාක්ෂාත් කරගනු පිණිසය.  රාජ්‍ය බලය ලබාගැනීමේ අරමුණ ඇතිව සාම්ප‍්‍රධායික ලෙස පිල් බෙදීම තීවුර කිරීම පහසුය. එහෙත් බලය ලබාගැනීමෙන් පසුව ඔවුන්ට කළහැකි දෙයක් අද ඉතුරු වී නැත.  එසේ කළ හැකි දෙයක් ඇති නම් කිහිප වාරයක්ම  රාජ්‍ය බලය දරා ඇති එම පක්ෂ එය ඉටුකර තිබිය යුතු ය.  අගමැතිතුමා ප‍්‍රකාශ කළ ආකාරයට පාර්ලිමේන්තුරවේ බහුතරයක් කිසිවෙකුටත් නැති මේ අවස්ථාව සහයෝගයෙන් ප‍්‍රශ්න විසඳාගැනිමට වෙස්වලාගත් ආශීර්වාදයක් ලෙස සැළකිය හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *