ජනපති රනිල්ගේ නිවෙසට ගිනි තැබීම: හිටපු සජබ මන්ත්‍රී රිමාන්ඩ්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අවස්ථාවේදී ඔහුගේ පුද්ගලික නිවෙසට පසුගිය ජූලි මස 09 වැනිදා ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෝට්ටේ නගර සභාවේ හිටපු විපක්ෂ නායක වීරසූරිය ආරච්චිගේ චන්දිම නයනජිත් යන අය ලබන අප්‍රේල් මස 04 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.

සැකකාර විපක්ෂ නායකවරයා එම සිද්ධිය වූ දිනයේ එම ස්ථානයට පුද්ගලයන් 100ක් ගෙන ගිය බවට වට්ස්ඇප් හරහා ඉතාලියේ වෙසෙන පුද්ගලයකුට නිකුත් කළ හඬපටයකට අදාළව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. එම ගිනි තැබීම සංවිධානාත්මක කණ්ඩායමක් යොදවමින් සිදු කළේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් විමර්ශන අවසන් නැති බැවින් සැකකරු එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරයා හඬපට ඔහුගේ බවට සාක්ෂි තිබේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සැකකරුගේ ජංගම දුරකතනය භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ බවත්ය. සැකකරු එම පුද්ගලයා සමඟ කතා කළ හඬපට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

පොලිසිය පවසන ආකාරයට කටයුතු කළ නොහැකි බවත් සාක්ෂි තිබේ නම් ඉදිරිපත් කරන්න යැයි කියමින් මහේස්ත්‍රාත්වරයා නඩුව මඳ වේලාවකට කල් තබනු ලැබීය.

සැකකාර විපක්ෂ නායකවරයා සිද්ධිය වූ දිනයේ ඉතාලියේ සිටින ඔහුගේ මිතුරකු වන සුරංග ජයලත් යන අයට වට්ස්ඇප් මඟින් යොමු කළ හඬපටයක් අනතුරුව නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ වාදනය කළ අතර, ඉන් සෑහීමකට පත් වූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

තම සේවාදායකයා කතා කළ මුල් පණිවිඩයේ එවැන්නක් සඳහන් නොවන බවත් ඉතාලියේ වෙසෙන අයකු මෙම පුද්ගලයා කොටු කර ගැනීමට දෙවන ඇමතුමක් ලබා දී ඇති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය. එම සිද්ධිය වූ දිනයේ සැකකරු එම ස්ථානයේ නොසිටි බවත් අධිකරණයට දන්වා සිටි නීතිඥ මඬුල්ල මෙය දේශපාලන කෝන්තරයක් හේතුවෙන් ඇති වූ සිද්ධියක් බවත් ඕනෑම කොන්දේසියක් මත සැකකරු ඇප මත මුදාහරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 04 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ රජිත් ලක්මාල්, නිවංක ආටිගල, ගුඩ්වින් සිරිවර්ධන යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.

සුභාෂිණී සේනානායක

දිනමිණ

         

Leave a Reply

Your email address will not be published. Required fields are marked *