රනිල්ට නායකත්වයෙන් ඉවත්වන්න එජාපයට නව ව්‍යවස්ථාවක්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයේ වගකීම්වලින් ඉවත්වීමට තීරණය කොට ඇති නිසා එයට ඉඩ සැලසීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තීරණය කොට තිබේ.

එජාප නායකයා ලෙස නොව සියලු ජනයාගේ නායකයා ලෙස ක්‍රියා කිරීමට ඉඩ ලබා ගනිමින් පක්ෂ නායකත්ව වගකීම් වලින් නිදහස් වීමට කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට දැනුම් දී තිබේ.

තම ක්‍රියා කරන්නේ එජාප නායකයා ලෙස නොව සියලුදෙනාගේ ජනාධිපති ලෙස බව වික්‍රමසිංහ මහතා පසුගිය 8 දා සිය රාජාසන කතාවේ දී ද ප්‍රකාශ කළේය.

රටේ ජනාධිපති ලෙස එජාපයේ කවරෙකු හෝ පත් වුවහොත් ඔහු පක්ෂ නායකයා විය යුතු බවට එම පක්ෂ ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධාන මෙන් ම පක්ෂ නායකයාට ලබා දී ඇති විශාල බලය ද මේ අනුව සංශෝධනය වනු ඇතැයි කියති.

පක්ෂයේ නියෝජ්‍ය නායක, සභාපති,මහා ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලයට වැඩි බලතල බෙදා දීමට ද අපේක්ෂා කෙරෙයි.

ඒ අනුව එක්සත් ජාතික  පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ  (17)  අනුමැතිය ලබා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී  කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන, ජනාධිපති නීතීඥවරුන් වන දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *