බිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නැහැ – විදුලි ඉන්ජිනේරුවරු

බිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නැහැ - විදුලි ඉන්ජිනේරුවරු

කැබිනට් මණ්ඩලය අනුමත කරමින් තමන් වෙත එවන ලද විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසම එකඟ නොවන බව රජයට දැනුම් දෙන බව එහි සභාපති ජනක රත්නායක මහතා අද දෙරණ “බිග් ෆෝකස්” වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබාදීමේදී නීති උල්ලංඝනය කරමින් මිල ඉහළ දැමීමේ උත්සාහයට ඉඩ නොදෙන බවය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබානොදීමට තීරණය කිරීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ පැවති නැප්තා ප්‍රමාණය අද (13) උදෑසන අවසන්වීමට තිබුණි.

කෙසේ වෙතත් අද දිනට පමණක් අවශ්‍ය නැප්තා ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ හේතුවෙන් අවදානම අදට පහව ගියත් හෙට (14) උදෑසන වන විට කැලණිතිස්ස විදුලි බලාගාරය අක්‍රියවීමේ අවදානමක් පවතී.

යම් හෙයකින් එලෙස කැලණිතිස්ස විදුලි බලාගාරය අක්‍රිය වුවහොත් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන මෙගාවොට් ගණන 165ක් බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නැප්තා මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට අවශ්‍ය මූල්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවය.

මෙවැනි පසුබිමක විදුලි බිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ කැලණිතිස්ස බලාගාරය අද රාත්‍රියේදී අක්‍රීයවීමේ අවදානමක් පවතින බවය.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *