විදුලි කැපීමේ වැඩිවීමක් නැහැ ; ජනවාරි 8 දක්වා ගල් අඟුරු තිබෙනවා ; නැව 4 දා එනවා

නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය වත්මන් තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ජනවාරි 8 දා දක්වා ප්‍රමාණවත් ගල් අඟුරු තොග ඇති බවත්, අලුත් තොග රැගත් නැව ජනවාරි 4 දා මෙරටට ළඟාවීමට නියමිත බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග ප්‍රකාශ කොට ඇත.

මෙම නිවාඩු කාලයේ ඇතැම් කාර්යාල සහ ආයතන නිවාඩු දී තිබීම නිසා ඉල්ලුම අඩු වීමත්, දැවිතෙල් සහ නැප්තා බලාගාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබීමත් නිසා විදුලි කප්පාදුවේ වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව එම ආරංචි මාර්ග කියයි.

රජය අනුමත කළ ගල් අඟුරු මිල දී ගැනීමේ ටෙන්ඩරයකට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වීම නිසා එම ටෙන්ඩරය අවලංගු කිරීමත් සමග ගල් අඟුරු සැපයුමේ අර්බුදයක් ඇතිවිය. එය යම් තාක් දුරකට සමනය වුයේ කලින් අනුමත කළ ටෙන්ඩර මගින් මිල දී ගැනීමට කටයුතු කිරීමේනි. කෙසේ වෙතත්, එම සැපයුමේ ද ප්‍රමාදයක් නිසා නොරච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත කොට ජනන යන්ත්‍ර දෙකක් පමණක් ක්‍රියාත්මක කොට තිබේ.

පසුගිය ගල අඟුරු ටෙන්ඩරයට එරෙහිව උසාවි ගියේ එහි මිල වැඩි බව කියමින් සහ අඩු මිලට ලබා දිය හැකි බව කියමින් වුව ද, අලුතින් කැඳවා ඇති ටෙන්ඩර සඳහා ද එබඳු අඩු ලන්සු ඉදිරිපත් වී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

එම ටෙන්ඩරය අහෝසි කිරීමෙන් සිදුව ඇත්තේ ගල් අඟුරු සැපයුම් අර්බුදයක් ඇතිවීම සහ විදුලිය නිපදවීමට අමතර වියදමක් දැරීමට සිදුවීම යි. එයින් සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි සිය ගණනක් බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *