මිලියන 157.5ක සී.එස්.එන්. කළු සල්ලි රාජසන්තකයි
සී.එස්.එන්. නාලිකාව පවත්වාගෙන යාම සඳහා නීති විරෝධී ලෙස ආයෝජනය කර තිබූ කලු සල්ලි රුපියල් මිලියන 157.5ක මුදල රාජ සන්තක කෙරේ.
මෙම නීති විරෝධී මුදල් ආයෝජනය පිළිබඳ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනයේදී යෝෂිත රාජපක්ෂ මෙම මුදල් අපයෝජනය කර තිබූ බව අනාවරණය විය.
එම විමර්ශනයේදී සොයා ගන්නා ලද කලු සල්ලි රුපියල් මිලියන 157.5ක මුදල රජය භාරයට ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ කරන ලද ඉල්ලීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අවසර දුන්නේය.
සී.එස්.එන්. නාලිකාව පවත්වාගෙන යාම සඳහා රජයේ මුදල් මිලියන 157.5ක් යෙදවූයේ යැයි මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී තිබූ පැමිණිල්ලක් මත එහි පරීක්ෂණ සිදු කෙරිණි.
අනතුරුව එම නාලිකාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා අදාළ ප්‍රකාශ ලබාගෙන පසුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබිණි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය දිගින් දිගටම එම මුල්‍ය වංචාවට අදාළ පරීක්ෂණ සිදු කරමින් සිටී.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් ද පරීක්ෂාවට භාජනය කිරීමට සිදු විය. සී.එස්.එන්. නාලිකාව ඇරැඹීමට මුදල් යෙදවූයේ කෙසේද යන්න හෙළි කිරීමට එහි අධ්යක්ෂ මණ්ඩලයට නොහැකි වී තිබුණි.
ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම මුදල් රාජ සන්තක කිරීම සඳහා ඊයේ (10) මෙසේ අධිකරණ අවසරය ලබා ගත්තේය.
මෙම ගනුදෙනු වලට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.
විජයානි එදිරිසිංහ – දිනමිණ
