ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා අනාථයි ; අගෝස්තු 9 උද්ඝෝෂණයට අරගලකරුවන් නැහැ !

ආණ්ඩුව ගෙදර යවා අරගලය අවසන් කරන්නට අගෝස්තු 9 දා කොළඹට එන්නැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ සිට සියලු ජනතාවට ආරාධනා කළ ද , එදිනට එබඳු උද්ඝෝෂණයක් කැඳවීමට කටයුතු නොකිරීමට අරගල නායකයින් තීරණය කිරීම නිසා ෆොන්සේකා මහතාගේ සටන පුස්සක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තුවේ දී ෆොන්සේකා මහතා ඉල්ලා සිටියේ අරගලය ජයග්‍රාහීව අවසන් කරන්නට අගෝස්තු 9 දා කොළඹට රැස් වන ලෙසයි. එදින සිදුවීම්වලට අත දැමීමෙන් වලකින ලෙස ඒ මහතා පොලිසියෙන් සහ හමුදාවෙන් ද ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත්, තවදුරටත් අරගලය එලෙස ඇදගෙන යාමට අරගලකරුවන් අතරින් ම විරෝධයක් එල්ලවීම නිසා තවත් මහා උද්ඝෝෂණයක අදහස මේ වනවිට අරගලකරුවන් විසින් ම අත්හැර දමා ඇත. කෙසේ වෙතත්, මර්දනයට එරෙහි උද්ඝෝෂණ දිගට ම ක්‍රියාත්මක කිරීමට තීරණය කොට  ඇති බව අරගල භුමියේ ආරංචි මාර්ග කියයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා මාධ්‍ය හමුවක් අමතා ඊයේ ප්‍රකාශ කළේ මර්දනය මගින් සටන පරාජය කිරීමට ඉඩ නොතබන නමුත් ප්‍රශ්න විසඳීමට රනිල්ට යම් කාලයක් දීමට තමන් තීන්දු කළ බවයි.

ඒ අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අරගලයට නායකත්වය දෙමින් අගෝස්තු 9 දා කැඳ වූ අවසන් අරගලය ලත් තැන ම ලොප් වී ඇති බව පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *