වංචා දූෂණ සිදුවූ අමාත්‍යාංශවල විගණන කටයුතු සිදු කර නෑ

රාජපක්ෂ පාලන සමයේදී මහා පරිමාණයේ වංචා දූෂණ සහ අක්‍රමිකතාවලට අදාළව බරපතළ චෝදනා එල්ල වී තිබෙන අමාත්‍යාංශවල විගණන කටයුතු මෙතෙක් සිදු කර නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ.

ඇමැතිවරු අගමැතිවරයාට එම පැමිණිල්ල සිදු කර ඇත්තේ රාජපක්ෂ සමයේ මහජන මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා එල්ල වී ඇති අමාත්‍යාංශවල නාම ලේඛනය ද සමගිනි.

රාජපක්ෂ ර‍ජය සමයේදී මහජන මුදල් අවභාවිත වූ බවට චෝදනා ඇති අමාත්‍යාංශවල විගණන කටයුතු සිදු නොකළ ද 2015න් පසු ඇති කළ අමාත්‍යාංශ රැසක විගණන කටයුතු විගණනකාධිපතිවරයා විසින් කඩිනමින් සිදු කර ඇතැයි ද ඇමැතිවරු අගමැතිවරයාට පෙන්වා දි තිබේ. මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා ඇති 2014 ට පෙර ක්‍රියාත්මක වූ ආර්ථික කටයුතු, නිවාස ඉඳිකිරීම් සහ ඉංජිනේරු සේවා, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ, විදේශ කටයුතු, ප්‍රවාහන, ඉඩම්, විදුලි බල හා බලශක්ති, තරුණ කටයුතු, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන, ක්‍රීඩා, දේශිය‍ වෛද්‍ය අමාත්‍යාංශවල විගණන කටයුතු සම්පූර්ණ කර නැති බව ද ඇමැතිවරු පෙන්වා දී තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පුරුවේ නිල සංචාරය නිමවා මෙරටට පැමිණි පසු එම අමාත්‍යාංශවල විගණන කටයුතු අවසන් නොකිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේන් ඇතුළු ඉහළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට නියමිතය.

චෝදනා පවතින අමාත්‍යාංශවල වංචා දුෂණ පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් පමුණුවන බවට ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ප්‍රතිඥා දී තිබිණි.

 

 ශිරෝමි අබයසිංහ –  දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *