අටුළුගම දැරිය සහ ජනාධිපතිගේ නීතිය – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

 

 

අටුළුගම දැරියගේ මරණය මේ වන විට සමාජයේ මහත් අවධානයට යොමුව තිබේ. ඒ පසුපස ඇති රහස කෙටි කලක් තුළ නිරාවරණය කර ගැනීමට පොලිසිය සමත් වනු ඇති බවට සැකයක් නැත. කවර අපරාධයක් වුව කඩිනමින් හෙළිකර ගන්නට තරමට දක්ෂ නිලධාරින් පිරිසක් පොලිසියේ සිටින බැවිනි. අපේ ප්‍රස්තුතයට අනුව ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයකින් කියා තිබුණේ අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බවට වගකීම බාරගන්නා බවය.

ඒ අනුව ජනාධිපතිවරයා ගේ එම ට්විටර් පණවිඩයෙන් කියැවෙන අතිශය වැදගත් කරුණක් තිබේ. මේ උත්සාහය ඒ ගැන සාකච්ඡා කරන්නටය.

රටක යම් අපරාධයක් හෝ වරදක් සිදුවන්නේ නම් ඒ හා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඒ ගැන වගකීමක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට  ඇති බව අමුතුවෙන් කිය යුතු නැත.

අටුළුගම සිද්ධිය ගැන ජනාධිපතිවරයාට විශේෂයෙන් ප්‍රකාශයක් කරන්නට සිදුවීම පිටුපස ⁣ඛේදවාචකයක් තිබේ. එනම්, එම අපරාධය වෙනුවෙන් නීතිය කවරාකාරයෙන් ක්‍රියාත්මක වනු ඇතිද යන සැකයක් සමාජයේ පවතින බව සහ එවැනි සැකයක් සමාජයේ පවතින බව ජනාධිපතිවරයා පවා පිළිගන්නා බව ට්විටර් සටහන මගින් ප්‍රකාශයට පත්වීමය. සැකයට හේතුව මෙරට නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන ජනතාවට විශ්වාසයක් නොතිබීමය. මෙරට නීතිය යනු තරාතිරම , බල පුළුවන්කාරකම ආදිය අනුව ඒ ඒ පුද්ගලයාට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන්නක්ය යන අවබෝධය  ජනතාවට තිබේ. අටුළුගම දැරියට යුක්තිය ඉටුවන තැනට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට සිදුවන්නේ එකී හේතුව නිසාය.

අටුළුගම සිද්ධිය ගැන ජනාධිපතිවරයාට විශේෂයෙන් ප්‍රකාශයක් කරන්නට සිදුවීම පිටුපස ⁣ඛේදවාචකයක් තිබේ. එනම්, එම අපරාධය වෙනුවෙන් නීතිය කවරාකාරයෙන් ක්‍රියාත්මක වනු ඇතිද යන සැකයක් සමාජයේ පවතින බව සහ එවැනි සැකයක් සමාජයේ පවතින බව ජනාධිපතිවරයා පවා පිළිගන්නා බව ට්විටර් සටහන මගින් ප්‍රකාශයට පත්වීමය. සැකයට හේතුව මෙරට නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන ජනතාවට විශ්වාසයක් නොතිබීමය.

කනගාටුවෙන් වුවත් කියයුතු වන්නේ ජනාධිපතිවරයාගේ ට්විටර් සටහන යනු රටේ ප්‍රධාන පුරවැසියා වශයෙන් ඔහු තම වගකීම නිසි පරිදි ඉටුකර නැතිබව පෙන්නුම් කරන සාක්ෂියක් බවය.

නීතිය සැමට එක ලෙස ජාති ,කුල ,උස් මිටි බේදයකින් තොරව ක්‍රියාත්මක වන පසුබිමක් ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවතිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එය නොවේ. ඇතැම් අපරාධ කල් ගතවී හෝ හෙළිදරව් කර ගන්නට පොලිසිය සමත් වන අතර තවත් සමහර අපරාධයක් කිසි දා හෙළිදරව් නොවී කාලයේ වැලිතලාවෙන් වැසී යන්නේය. ඕනෑනම් කෙනකුට  මෑත කාලීන අද්දැකීම් කිහිපයක් ආශ්‍රයෙන් ඒ බව පැහැදිලි කර ගන්නට පුළුවන. බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සීසීටීවී කැමරා පරීක්ෂා කෙරුණු ආකාරය සහ පුද්ගලයන් අත්අඩංගුවට ගැනුණු ආකාරය ඒ සඳහා එකකි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවෙසට එල්ල කෙරුණු ප්‍රහාරය ඒ ආකාර තවත් එකකි. තාජුදීන්, ලසන්ත ඝාතන පරීක්ෂණ ආදි තම තමන් දන්නා අපරාධ සිදුවීම් ඒ සඳහා උදාහරණ වශයෙන් මතකයට නගා ගන්නට ජනතාවට පුළුවන. එසේ යටපත් වන බොහෝ අපරාධ පසුපස දේශපාලන හස්තයක් පවතින බවද ජනතාව ඉවෙන් නොව අද්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටිති.තවත් සමහර  දැරියකගේ ඝාතන වලදී පොලිසිය වැරදිකරුවන් නොවන තැනැත්තන් අපරාධකරුවන් ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගත් මතකයන් ද සමාජයට තිබේ. එසේම විවිධ අපරාධ සඳහා වැරදි පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා ද අපමණය. ගම්පහ ප්‍රදේශයේ එවැනි අපරාධයක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් ආකාරය නිදසුනකි.

තරාතිරම නොබලා වගකිවයුත්තන්ට දඬුවම් කරන බවට ආණ්ඩුව පොරොන්දු වූ නමුත් එසේ සිදු නොවුණු අවස්ථාද ඉතිහාසයේ කොතෙකුත් තිබේ. පාස්කු ප්‍රහාරයද ඒ අතරින් එකකි.

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ එක් එක් සිද්ධියට තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු වීම නොව,නීතිය සෑම විටෙකම  තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කෙරෙන  ආකාරයට ක්‍රමය නැතිනම් සිස්ටම් එක සකස් කිරීමය. පොලිසිය දේශපාලන සහ වෙනත් බලපෑම් වලින් නිදහස් වන ආකාරයට ප්‍රතිපාදන සැකසීම;  අධිකරණය නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතන බවට තහවුරු කිරීම ආදිය සඳහා අවශ්‍ය  ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වැනි දේ සඳහා ව්‍යවස්ථාදායකය මෙහෙයවීමේ වගකීම එහිදී ජනාධිපතිවරයාට පැවරේ. නමුත් සිදුව ඇත්තේ, පසුගිය යහ පාලන සමයේ නීතියේ,අධිකරණයේ , ස්වාධීනත්වය සඳහා ගෙන තිබුණු සාධනීය පියවර පවා වත්මන් ආණ්ඩුව යටතේ 20වන සංශෝධනය මගින් අහුරා දැමීමය.

අටුළුගම දැරියගේ ඝාතනය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට මැදිහත් වන බවට දෙනු ලබන පොරොන්දුව තුළ කියැවෙන යටි පෙළ වන්නේ අවශ්‍ය නම් එලෙස නීතිය ක්‍රියාත්මක නොකෙරෙන තැනට වගබලා ගන්නටද අදාළ පාර්ශ්ව වලට හැකියාව පවතින්නේය යන්නය. සිදුවිය යුතුව පවතින්නේ ජනාධිපතිවරයාට නොව සක්‍රයාගේ පුතා වයිමාටවත් නීතිය ක්‍රියාත්මක කරන්නට හෝ නොකරන්නට මැදිහත් විය නොහැකි ආකාරයට පොලිසිය සහ අධිකරණය ශක්තිමත් කිරීමය. අටුළුගම දැරිය ඇතුළු සියලු ජනතාවට නීතියේ සාධාරණත්වය ඉටුවනු ඇත්තේ එමඟින් පමණි.

  චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *