අසීරු මොහොතේ රනිල් අගමැති ධුරය ගැනීම අගය කළ යුතුයි – අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමි

 

 

ආර්ථික වශයෙන් අසීරු තත්ත්වයකට රට පත්ව තිබෙන අවස්ථාවක අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම අගය කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

දේශපාලන ස්ථාවරභාවය මඟින් ආර්ථික ගැටලු නිරාකරණය කර ගනිමින් ජන ජීවිතය නඟාසිටුවීමට නව රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කරන බව ද උන් වහන්සේ කීහ.

මහනුවර ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත පිරිසක් පෙරේදා (16) අස්ගිරි මහ විහාරයට ගොස් උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී ධම්මානන්ද නාහිමියෝ මේ බව පැවසූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය සුමේධ වීරවර්ධන, ආචාර්ය සමන් කරුණාතිලක, වෛද්‍ය ජීවක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක රට වෙනුවෙන් ඉදිරිපත් වී නව අග්‍රාමාත්‍යවරයා දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් මෙවැනි අසීරු අවස්ථාවකදී භේදභින්න ඇති වීමට හේතු වන වෛරී ප්‍රකාශ සිදු නොකර රට දියුණු කළ හැකි ක්‍රමවේද ගැන සැවොම කල්පනා කළ යුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

විදේශ ණය, විදේශ ආධාර ගැනීම මෙන්ම දේශපාලන වශයෙන් රට ස්ථාවර කිරීමේදී අන්තවාදි මත දරන ඇතැම් පක්ෂ විවිධ කොන්දේසි ඉදිරිපත් කරන බැව් දැනටමත් දැකිය හැකි යැයි ද ලේඛකාධිකාරි හිමියෝ අවධාරණය කළහ.

මේ හේතුවෙන් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී රට සුබවාදී දිශානතියක් කරා යොමු කළ හැකි මහජන නියෝජිතයන් සම්බන්ධ කරගත යුතු යැයි ද උන්වහන්සේ පැවසූහ.

ව්‍යවස්ථා සංශෝධනවලදී රට බෙදී වෙන් වී යන ක්‍රියාදාමයක් පවතින්නේ නම් එය වළක්වා ගැනීමට හැකි කැබිනට් මණ්ඩලයක් පත් විය යුතු යැයි පෙන්වා දුන් උන්වහන්සේ ඒ සඳහා සුදුස්සන් කඩිනමින් පත් විය යුතු බවත් කීහ. එසේ නැතිව පසුව තැන තැන හඬ නැඟීම සාර්ථක විසඳුමක් නොවන බව ද ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කළහ.

අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනීමේදී බෙදුම්වාදයට නැඹුරු වන පුද්ගලයන් මෙන්ම දූෂණ වංචා චෝදනා එල්ල වූ පුද්ගලයන් ඊට ඇතුළත් කර නොගත යුතු බවත් ජනතාව මේ පිළිබඳ විමසිල්ලෙන් පසු වන බව තේරුම් ගැනීම වැදගත් බවත් උන්වහන්සේ පැවසූහ.

අසේල කුරුළුවංශ

දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *