ජනාධිපතිට සමීප කල්ලිය, අගමැති රනිල්ට එරෙහි කුමන්ත්‍රන මෙහෙයුම පුළුල් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ජනාධිපතිට සමීප කල්ලිය දියත් කර ඇති කුමන්ත්‍රනකාරි මෙහෙයුම තවත් පුළුල් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වලින් යුක්තියට දැන්ගන්නට ලැබී ඇත. වාර්තාවන ආකාරයට මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා දූෂිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රභලයින්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව පසුගිය දා පැවති පුරවැසි රෑස්වීම අගමැතිවරයාට එරෙහි මෙහෙයුම පුළුල් කිරීමට හේතු වී ඇති බව කියැ වේ.
පරීක්ෂණයකට ඉඩ දී මහ බැංකු අධිපතිවරයාට ඉවත් වන ලෙස දැණුම් දෙනමෙන් පුරවැසි සංවිධාන අගමැතිවරයාගෙන් කළ ඉල්ලීම අගමැතිවරයා සමග සැළසුම් කරන ලද්දක් බව ප්‍රචාරය කිරීම මෙම මෙහෙයුමේ පළමු පියවර බව දැනගන්නට ඇත. මේ මගින් ඔවුන් අපේක්ෂා කරන්නේ උක්ත පාර්ශව දෙකටම අයත් නැති ස්වාධීන පුරවැසි සංවිධානට වලට ජනතාවගේ ඇති ආකර්ෂණය දුබල කිරීම ය. ඒ අවසරයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විකල්ප සිවිල් සංවිධාන එකතුවක් ගොඩනැගීම එහි ඊ ළග පියවර බව ද වාර්තා වේ. අතරමැදි විසඳුමක් ලෙස පරීක්ෂණයකට ඉඩ දී මහබැංකු අධිපතිවරයාට ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම පිළිගෙන තිබිය දී ත්, අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන ලෙස ඉල්ලා නඩුවක් ගොණුකර ඇත්තේ ද එම සැළසුමේ කොටසක් ලෙස යැයි දැනගන්නට ඇත. මේ පිළිබඳව පුරවැසි බලයේ ප්‍රභලයෙකුගෙන් විමසු විට ඔහු කියා සිටියේ බැරි වෙලාවත් නඩුව විභාගයට ගෙන අර්ජුන් මහේන්ද්‍රට වාසිවන ආකාරයේ තීන්දුවක් ලැබුණොත් ඔහුව ඉවත්කර ගැනීමට ඇති ඉඩකඩ ඇහිරී යන්නට ඉඩ ඇති බව ය. අර්ජුන් මහේන්ද්‍රව මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත පත්කිරීම හෝ නොකිරීම ජනාධිපතිවරයා අත තිබිය දී ඒ සම්බන්ධයෙන් ජනාධිපති තීරණයක් නොගැනීම පිළිබඳව මේ කුමන්ත්‍රණකරුවන් නිහඬ බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය

කලක් එක්සත් ජාතික පක්ෂයේ සිටි, රනිල් විරෝධි මේ පිරිස මෙහෙයවන්නේ දැන් ජනපතිට ලං වී සිටින පුද්ගලයෙක් ඇතුළු කල්ලියක් විසින් යැයි වාර්තාවන අතර ජී. එල්. පීරිස් සමග එකතු වී එක් කාලයක රට පුරා ෆෙඩරල් මතවාදය ව්‍යාප්ත කළ මේ පුද්ගලයා අද බලය බෙදීමට ද විරුද්ධය. ඒ අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ද අවුල් කිරීමට මොවුන් සැළසුම් කරමින් සිටින බව ද දැනගන්නට ඇත. විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව දයාන් ජයතිලකගේ ටියුෂන් පංතිය සංවිධානයකර ජනාධිපතිවරයාව දක්කාගෙන යෑම ද සැළසුම් කර ඇත්තේ මේ පුද්ගලයා ය. මේ පුද්ගලයා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන්, උලපනේ සුමංගල ඇතුළු පිරිසකට රනිල් විරෝධි සිවිල් සංවිධාන එකතුව ගොඩනැගීමේ කොන්ත්‍රාත්තුව බාර දී ඇති බව දැනගන්නට ඇත. ලැබී ඇති තොරතුරුවලට අනුව ශිරාල් ලක්තිලක, මලික් ජයතිලක මේ කූමන්ත්‍රනකාරි සැළසුමේ ප්‍රධානීන් ලෙස සැළකිය හැකි යැයි ඇතැමෙක් කියති. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට මෑතක දී අනුයුක්ත කළ පුද්ගලයෙකු ද මෙයට අලුතින් එක් වී සිටින බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *