බංග්ලාදේශයේ මහ බැංකු වංචා සිද්ධියේ පොලිස් නිලධාරියකුත් !

බංග්ලාදේශයේ මහ බැංකු පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් 20,000,000 මෙරටේ ශාලිකා ෆවුන්ඩේෂන් නම් වූ ගිණුමට බැර කිරීමේ සිද්ධියට අදාළව ිමර්ශන පැවැත්වීමේ දී එම පදනමේ අධ්‍යක්ෂවරයකු ලෙස පොලිස් නිලධාරියකු ද සිටින බවට තොරතුරු අනාවරණය වන බවට රහස් පොලිසිය ඊයේ (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව ශාලිකා ෆවුන්ඩේෂන් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගත් බව පැවසූ රහස් පොලිසිය මෙම මුදල ගිණුමට එවූ ජපන් ජාතික තදාෂි සසාකි යන තැනැත්තා ශාලිකා පදනමට සම්බන්ධීකරණ කටයුතු කළ වීරප්පුලි මුහන්දිරම්ගේ ප්‍රියංකර ජයදේව නැමැත්තා හා ඔහුගේ බිරිය වන නිලුකා ලක්ෂ්මි යන අය සතුව තිබී අත්අඩංගුවට ගනු ලැබූ පරිගණකය හා ජංගම දුරකථන සිම් කාඩ්පත මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණ පීඨාධිපතිවරයා වෙත යොමු කර සවිස්තර වාර්තාවක් කැඳවන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සිද්ධිය ඊයේ (22) නැවත කැඳ වූ අතර වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ තංගල්ල පොලිසියේ දැනට රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු ද මෙම පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටි බව පවසන රහස් පොලිසිය ඔහු 2010 දෙහිවල පොලිසියේ සිටිය දී දෙහිවල මල්වත්තේ පිහිටි ශ්‍රී මේධංකර විහාරයේ වැඩ විසූ දීගල පියදස්සී හිමියන්ගේ දැනුම්දීමකට අනුව ශාලිකා පදනමේ සභාපති හඳුනාගත් බවත් අසරණ අයට පිහිටවීමට පුණ්‍ය ආයතනයක් පිහිටුවන බව සඳහන් කළ බැවින් මෙම පදනමට එක් වූ බවට මැණික්දිවෙල තෙල්දෙණිය පදිංචි ඩී.ඒ.එස්. පී. බණ්ඩාර මහතා රහස් පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇත.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩු භාණ්ඩ මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණ පීඨාධිපති වෙත යොමුකර එහි අන්තර්ගත දත්ත මකා දමා ඇති දත්ත යළි ප්‍රතිඋත්පාදනය කර සවිස්තර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළේය.

සිරන්ජනී කුමාරී – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *