කොළඹ යන්නෙ මක්කටෙයි ? – අනුර සූරියබණ්ඩාර

සමගි ජන බලවේගය විසින් මේ දිනවල ප්‍රචාරය කෙරෙන දැන්වීමකින් පක්ෂයේ රැළියකට කොළඹට රැස් වන්නට ජනතාවට ආරාධනයක් කෙරේ. කොළඹට ජනතාව රැස් කරන්නේ බලය පෙන්වීමටය. බලය පෙන්වන්නේ ඉදිරි මැතිවරණයකට සූදානම් වන්නටය.එනම් ඊළඟ මැතිවරණයෙන් බලය අල්ලන්නටය. සජබය කියන ආකාරයට වත්මන් ආණ්ඩුවට රටේ ප්‍රශ්න වලට විසඳුම් නැත. ඇත්තකි! රටේ ප්‍රශ්න වලට තමන්ට විසඳුම් නැති බව පමණක් නොව රටේ ප්‍රශ්න දිගින්ට ම අවුල් , සංකීර්ණ , සහ බරපතළ තත්ත්වයට පත් කරමින් සිටින බව ආණ්ඩුව දිනපතා ඔප්පු කරමින් සිටී. සජබය කොළඹට සෙනඟ රැස්කරන්නේ ප්රශ්නය ජනතාවට කියන්නටද , නැතිනම් ප්‍රශ්න වලට පිළිතුරු ඉදිරිපත් කරන්නටද යන්න පැහැදිලි නැත.
ජනතාව ආණ්ඩුව ගැන මහත් කළකිරීමකින් පසුවන බව, ඉන්ධන පෝළිම් වල , කිරිපිටි පෝළිම් වල සිටින තැනැත්තන් පළ කරන අදහස් වලින් පැහැදිලිවේ. සජබය උත්සාහ කරන්නේ එම කළකිරීම උපයෝගී කර ගනිමින් ජනතාව තමන්ගේ පක්ෂයට ආකර්ෂණය කර ගැනීමටය. එහිදී ඔවුන් පවතින ප්‍රශ්න වලට එකම විසඳුම සජබයට බලය ලබාදීම බව ජනතාවට ඒත්තු ගන්වන්නට උත්සාහ කරනු පෙනේ.
සජබයට බලය දීමෙන් සියල්ල හරියාද? රටේ ප්‍රශ්න තිබුණු පලියට කවුරුන් හෝ බලයට පත් කිරීමෙන් ගැටලුව නිරාකරණය වේ යැයි සිතීම මුළාවකි. යහ පාලනය පරදා පොහොට්ටුව බලයට ගෙන ඒමෙන් ජනතාවට සිදුවූයේ මුළාවේ වැටෙන්නටය. යහ පාලනයේ වැරදි කොතෙකුත් තිබුණි.ජනතාව සිතුවේ පොහොට්ටුව, විශේෂයෙන්ම ගෝඨාභය සියල්ල කණපිට හරවා රට සුඛිත මුදිත කරනු ඇති බවය.
එහෙත් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවුණු තැන ජනතාව වෙනස සැපදැයි තමන්ගෙන්ම විමසන තත්ත්වයකට පත්ව සිටිති.ජනතාවට වැරදුණේ පොහොට්ටුවේ නායකයන් ගේ විශේෂයෙන්ම ගෝඨාභය ගේ පෙර වැරදි නොසළකා හැර ඔවුනට බලය ලබාදීම හේතුවෙනි. නිදසුනක් වශයෙන් දූෂණය නැති කිරීම ගැන පොහොට්ටුව කියන විට ජනතාව දිවිනැඟුම, මවුපිය ප්‍රතිමා, සිල් රෙදි මතකයට නඟා ගත්තා නම් අද ඔවුනට වෙනස සැපද කියා තමන්ගෙන්ම අසන්නට සිදු වන්නේ නැත.
වසර දෙකකට ආසන්න කාලයක් ගෙවුණු තැන ජනතාව වෙනස සැපදැයි තමන්ගෙන්ම විමසන තත්ත්වයකට පත්ව සිටිති.ජනතාවට වැරදුණේ පොහොට්ටුවේ නායකයන් ගේ විශේෂයෙන්ම ගෝඨාභය ගේ පෙර වැරදි නොසළකා හැර ඔවුනට බලය ලබාදීම හේතුවෙනි. නිදසුනක් වශයෙන් දූෂණය නැති කිරීම ගැන පොහොට්ටුව කියන විට ජනතාව දිවිනැඟුම, මවුපිය ප්‍රතිමා, සිල් රෙදි මතකයට නඟා ගත්තා නම් අද ඔවුනට වෙනස සැපද කියා තමන්ගෙන්ම අසන්නට සිදු වන්නේ නැත.
සජබ සම්බන්ධයෙන් ගත් කල ද ඔවුනට ඇත්තේ පිවිතුරු අතීතයක් නොවේ. යහ පාලන සමයේ රැකියා සඳහා උස මිටි පිළිවෙලට සම්මුඛ පරීක්ෂණ කළේ සජබ නායකයාය. එතුමාගේ ගම්උදා වැඩසටහන් ගත් කලද ඒවාහි වැඩ වලට වඩා තිබුණේ හඬය. යාපනයේ විවෘත කරන ගමකට කොළඹත් පෝස්ටර් ඇලවීම මගින් එය පැහැදිලි කෙරේ.එය රජයේ සම්පත් උපයෝගී කරගනිමින් සිය ප්‍රතිරූපය නංවා ගැනීමේ වෑයමකි. එවැනි ක්‍රියා ගැනෙන්නේ නාස්තිය සහ දූෂණය සම්පත් අවභාවිතය යන මාතෘකාවටය. සංස්කෘතික අරමුදලේ මුදල් පන්සල්වලට බෙදීමක් ගැනද යහපාලනයේ අවසන් කාලයේ සජබ නායකයාට විරුද්ධව චෝදනාවක් තිබිණ. එය ගත හැකි වන්නේ ද අරමුදල් අවභාවිතයක් වශයෙනි. රාජපක්ෂ පාලනයට නැඟුණු විදුලි සංදේශ නියාමනයේ මුදල් සිල් රෙදි සඳහා වැය කිරීමේ චෝදනාවත් සංස්කෘතික අරමුදලේ මුදල් වෙනත් කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් සජබ නායකයාට නැගෙන චෝදනාත් දෙකම සමානය. දෙතැන දී ම සිදුව ඇත්තේ අරමුදල් නියමිත කටයුත්තෙන් බැහැරව නීත්‍යානුකූල නොවන ආකාරයට භාවිත කිරීමය.
සජබ කණ්ඩායමේ සාමාජිකයන් සම්බන්ධයෙන් ගත් කල ද යහපාලන සමයේ අනුශාසකයන් ලෙස භික්ෂූන් පත්කළ අය, යම් යම් තැන්වල ඉඩම් ගනුදෙනු සම්බන්ධව නම් කියැවුණු අය වැන්නන් සිටිති.
සියල්ලටමත් වඩා සජබයට පවතින තත්ත්වය සම්බන්ධයෙන් විවේචන මිස එයින් ගොඩයන වැඩපිළිවෙළක් ඇති බව පෙනෙන්නට නැත. සජබ නායකයාගේ උත්සාහය තවත් මහින්ද රාජපක්ෂ කෙනකු හෝ ගෝඨාභය කෙනෙකුගේ චරිතයට පණ පෙවීම බව පෙනේ. එනම් සිංහල ජාතිකත්වය අමතා බලය ලබා ගැනීමේ උත්සාහයයි. ඉතිහාසය උගන්වා ඇති පාඩම් අනුව සිංහල ජාතිකවාදී දේශපාලනයෙන් මෙරටට සිදුව ඇත්තේ යහපතට වඩා අයහපතය.
දැන් රටට අවශ්‍යව ඇත්තේ කවර පිරිවැයක් දරා හෝ ජාති, ආගම් බේදයෙන් තොරව ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් ජනතාව එකමුතු කළ හැකි නායකත්වයකි. ජාතිකත්වයට ඇමතීම තරමට ජාතික සමගියට වැඩකිරීම පහසු හෝ ජනප්‍රිය නැති නමුත් මේ මොහොතේ කළ යුතු වන්නේ එයයි. ඊළඟ මැතිවරණයෙන් ජනාධිපති අගමැති වීමේ අපේක්ෂාවෙන් කරන දේශපාලනයකින් ඒ අරමුණ ඉටුකර ගැනීම උගහටය. ඒ සඳහා දුර දැක්මක් දැඩි කැපවීමක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා වැඩ කළ හැක්කේ ද ස්වාර්ථයෙන් තොරව පොදුජන යහපත වෙනුවෙන් කටයුතු කරන නායකයකුටය.
දැන් රටට අවශ්‍යව ඇත්තේ කවර පිරිවැයක් දරා හෝ ජාති, ආගම් බේදයෙන් තොරව ශ්‍රී ලාංකේය ජාතිය වශයෙන් ජනතාව එකමුතු කළ හැකි නායකත්වයකි. ජාතිකත්වයට ඇමතීම තරමට ජාතික සමගියට වැඩකිරීම පහසු හෝ ජනප්‍රිය නැති නමුත් මේ මොහොතේ කළ යුතු වන්නේ එයයි. ඊළඟ මැතිවරණයෙන් ජනාධිපති අගමැති වීමේ අපේක්ෂාවෙන් කරන දේශපාලනයකින් ඒ අරමුණ ඉටුකර ගැනීම උගහටය. ඒ සඳහා දුර දැක්මක් දැඩි කැපවීමක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා වැඩ කළ හැක්කේ ද ස්වාර්ථයෙන් තොරව පොදුජන යහපත වෙනුවෙන් කටයුතු කරන නායකයකුටය.
සජබය උත්සාහ කරන්නේ ප්‍රශ්න පෙන්වා ජනතාව රැස්කර බලය ලබා ගන්නට බවට සැකයක් නැත. හුදු බල හුවමාරුවකින් පමණක් පවතින ප්‍රශ්න වලට විසඳුම් නොලැබෙන බව ජනතාව තේරුම් ගත යුතුය. බලය ඉල්ලා එන ඕනෑම පිරිසකගෙන් රටේ ගැටලු වලට ඔවුන් යෝජනා කරන විසඳුම් මොනවාද යන ප්රශ්නය විමසන්නට ජනතාව උනන්දු විය යුතුය. එපමණක් නොව , ඔවුන් යෝජනා කරන විසඳුම් කොයිතරම් විද්‍යාත්මක ද තාර්කිකද ප්‍රායෝගිකද යන්න ජනතාවගේ දැඩි විමසිල්ලට ලක් විය යුතුය. ඒ සියල්ලටමත් වඩා අදාළ පුද්ගලයන්ගේ අතීත ක්‍රියාකාරකම් ගැන ජනතාව විමසිලිමත් විය යුතුය. එසේ නැතහොත් ජනතාවට සිදුවනු ඇත්තේ යහ පාලනය පරදා වත්මන් පාලනය ගෙන ඒමේ ඊළඟ පාඩම ඉගෙන ගන්නටය.
අනුර සූරියබණ්ඩාර
