ෆැසිස්ට් තාලයේ දෘෂ්ටිවාදය වෙළඳාම් කළ දයාන් ජයතිලකගේ දේශනාව හා කුමන්ත්‍රණයේ ඇතුල් පැත්ත- ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ප්‍රජාතන්ත්‍රවාදි අරගලය තුළ ගොඩනැගුණු මේ ව්‍යාපාරය තුළම අභියෝගයක් මතුවන බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. අපිව මර්ධනය කළ විශාල මර්ධක බලවේගය ආපසු නීත්‍යානුකූල ක්‍රමයකින් ප්‍රජාත්නත්‍රවාදි ව්‍යාපාරයට ඇතුල්වීම සඳහා වන යෝජනාවක් සමගයි මේ අභියෝගය මතු වන්නේ. මේ වන විට ඒ යෝජනාව අපිට අභියෝගයක් එල්ලකර තිබේ. ජනාධිපතිගේ කාර්යාලයේ එතුමාගේ නායකත්වයෙන් පසුගිය කාල පරිච්ඡේදයේ ම ක්‍රියාත්මක වූ වැඩ පිළිවෙළ තවත් පියවරක් ඉදිරියට තබා ඇත. ෆැසිස්ට් තාලයේ දෘෂ්ටිවාදය මේ රටේ වෙළඳාම් කළ ප්‍රධාන නියමුවෙකු වන දයාන් ජයතිලක කියන කුලියට ගතහැකි ආචාර්යවරයා ඇවිත් ජනාධිපතිට දුන්නු දේශනාව මෙයට හොඳ උදාහරණයකි. මේ දේශනාව එතරම් ප්‍රසිද්ධියට පත්කළේ ද නැත. මම අහලා බැලුවනා කවුද ගියේ කියලා. මම දන්න තරමින් කාටවත් යන්නට ආරාධනාවක් වත් ලැබී නැත.
වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය හා අධිරාජ්‍යවාදයට විරුද්ධ සටන ගැන තමයි මෙහිදි ඔහු මතුකර තියෙන්නේ. අධිරාජ්‍යවාදින් විසින් බලයට පත්කරවා ගන්නට වෙර දරන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ගෝලයෙක් ඇවිල්ලා අධිරාජ්‍යවාදයට විරුද්ධ සටන ගැන, ජනාධිපතිට කියලා දෙනවා. දයාන් ජයතිලක වැනි අය ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට එනකල් බලාගෙන ඉන්නේ. වෙන මොනවටවත් නොව අර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දාළා තියෙන තහංචිය ටික ඩොනල්ඞ් ට්‍රම්ප් ආවොත් අපිට අයින්කරලා දෙනවා කියලා එයා හිතනවා. එහෙම හිතන එක්කෙනෙක් දැන් ජනාධිපතිට කිට්ටුකර තිබේ. මේක බරපතල ප්‍රශ්නයක්.
මේ වෙලාවේ මගෙන් අහනවා රනිල් වික්‍රමසිංහ ගැන. රනිල් වික්‍රමසිංහ නොවෙයි නේ මෙතන දුෂ්ඨයා වෙලා තියෙන්නේ. මට රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙන්න ගියා කියලා කෑ ගැහැව්ට වැඩක් නෑ ඊට වඩා දරුණු ප්‍රතිගාමිත්වය ඔලුව උස්සලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇත්තටම ජාතික ප්‍රශ්නය සම්බන්ධව යම් යම් වැඩ තහවුරු කිරීම් කර ගන්නට උත්සහා කරමින් ඉන්න කෙනෙක් ලෙසයි මට මෙතන දී පෙනෙන්නේ. මෙතනදි ප්‍රජාතන්ත්‍රවාදීන්ට පමණක් නොව වාමාංශිකයින්ට ද වගකීමක් තියෙනවා මේ මතු වි තිබෙන තර්ජනයට අපි අභියෝගයක් එල්ල කරන්නේ කොහොමද කියන එක ගැන.
අපි මහින්ද රාජපක්ෂ එළවන්නට ජනතා අරගලයට බැස්ස එක නිවැරදි ය. සමහර අය ගොඩක් දේවල් කථාකරකර ඉන්නවා. ජනතාවගේ ගමන ගැන ඒ අයට කිසිදු වැටහීමක් නැත. ප්‍රතිගාමි ෆැසිස්ට්වාදින් අපව උස්සාගෙන යනකල් ඒ අය නොදන්නා බව පමණයි කියන්නට තිබෙන්නේ. අපිට දැන් අභියේගයක් තිබෙන බව හඳුනාගනිමින් ක්‍රියාත්මක වියයුතුව ඇත. මක්නිසා ද යත් අපේ විරුද්ධවාදින් දැන් ක්‍රියාත්මකයි. දැන් මහින්ද රාජපක්ෂව අයින් කරලා ඔහු මෙහෙයවපු දුෂ්ඨ බලවේගය දැන් මේක ඇතුලට රිංගාගෙන තිබේ. ඒ වගේ අපූරු අභියෝගයක් ඉදිරියේ අපි ඉන්නේ. අපිට දැන් තියෙන්නේ කවුරු කොතනද ඉන්නේ කියන එක නොවේ. යමෙක් පාර්ලිමේන්තුව තුළ ඉන්නට පුළුවන. පාර්ලිමේන්තුවෙන් පිට ඉන්නට පුලුවන. වෘත්තිය සමිති ව්‍යාපාරයේ ඉන්නට පුලුවන. කාන්තා ව්‍යාපාරයක ඉන්නට පුළුවන. ගෙදර සිට කවි ලියනවා වෙන්නට පුළුවන. මොනවා කළත්, අපි කරන දේ තුලින් ම මේ ප්‍රතිගාමිත්වයට එරෙහි සටනට සහභාගි වියයුතුව තිබේ.
ජනතාවට අපි වගකිව යුතුය. ජනතාවට අපි ආරක්ෂාව සැපයිය යුතුය. ජනතාව මේ එන උවදුරුවලින් බේරාගෙන ඉදිරියට යුතුයි කියන එක ප්‍රජාතන්ත්‍රවාදින්ගේ හා වාමාංශිකයින්ගේ වගකිමකි. මේක මේ බාහුගේ ප්‍රශ්නයක් නොවේ. ඒක හැමෝගෙම ප්‍රශ්නයකි.
මහින්ද රාජපක්ෂ ගේ දූෂිත ජාතිවාදි පාලනය ඉවත් කිරීමට පෙරමුණුගත් අය සියලු දෙනාම නිකන් සිටියේ නැත. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාය ගොඩනැගීම සඳහා ධනපතියන්ට ඔවුහු උදව් වූහ. දැන් නැවතත් මිත්‍යා දෘෂ්ටිය ඒකාධිපතිවාදයට විරුද්ධ සටන වගේම අධිරාජ්‍යවාදින්ගේ මැදිහත්විම පිළිබඳව දයාන් ජයතිලකලාගේ වැරදි අර්ථකථන ගෙනත් ඒ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නට හදනවා නම් අපි ඒකට මුහුණ දීලා ඉදිරියට යන්නට ඕනේ. එකිනෙකාට චෝදනා නැගීමෙන් පමණක් ඒකෙන් බේරෙන්නට බෑ. ජනවාරි 08 ඇති කළ පෙරලිය ඉදිරියට ගෙනියන්නට නැවත නැවත හමුවෙමින් කථාකරමින් අපි අතර ඇති සහයෝගය වැඩිකර ගනිමින් අපි සංවිධානය වියයුතුව තිබේ. මම කළ වැරදි ගනනාවක් තිබෙනවා. ඒකට කමක් නැහැ. සටන ඉදිරියට යා යුතුයි. අපි කවුරුත් ධනපති පංතිය සමග ජීවත්වෙන්න කැමති අය නොවෙයි. අපිට ඕනේ සමාජවාදි ලෝකයක් හදන්නට. නමුත් සමාජවාදි ලෝකයට යන්න තනියම බෑ. අද ඇමෙරිකාවෙත් ෆැසිස්ට්වාදි බලවේග ක්‍රියාත්මක වෙමින් සිටිති. ඒකට විරුද්ධ සාමාන්‍ය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජීවත් වෙන්නට කැමති අයත් ඉන්නවා. ඒ නිසා ඇත්ත හතුරා කවුද යන්න අපි හඳුනාගෙන සටන් කළයුතුව ඇත.
හමුදාව තුළ පමණක් නොව අද රාජ්‍ය යන්ත්‍රණය තුළම ප්‍රතිගාමිත්වය නැගිටලා ඇවිත් තියෙනවා. ඒ අය දන්නවා මේ එන ප්‍රජාතන්ත්‍රවාදි අරගලය නිසා තමන්ට දේවල් නැතිවෙනවා කියලා. ඒ අය ඒක අවබෝධකරගෙන තිබෙන්නේ. මහින්ද රාජපක්ෂගේ කල්ලිය පමණක් නොව අවශේෂ කට්ටිය අතරත් ඒක බෙදී ගොස් තිබේ. ඒ නිසා ඒ අය උපාමාර්ග යොදනවා මේ ප්‍රජාතන්ත්‍රවාදි ගමන නවත්වන්නට. මෙහිදි ධනපති පංතියේ ප්‍රජාතින්ත්‍රවාදය වෙනුවෙන් ස්ථිරවම සිටින අය සමග කථබහ කළයුතු ය. රනිල් වික්‍රමසිංහ දිගටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව යම් දෙයක් කියනවා නම් ඒකේ වැදගත්කමක් තිබෙනවා. මොකද ධනපති පංතියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එංගලන්තයේ සිටි ගැලැස්ටන් කම්කරු පංතිය පැත්තෙන් හැඳින්වූයේ ප්‍රතිගාමියෙක් ලෙසට ය. නමුත් ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය ප්‍රථමයෙන්ම ඉදිරිපත් කළේ අගමැති ගැලස්ටන් ය. ජේ ආර් ජයවර්ධන අමු ප්‍රතිගාමියෙක්. 83 නේ කෝලහලය ඇති කලේ අප යැයි පවසා, අපිට බොරු චෝදනා දමා අපිව හිර කළේ ය. පස්සේ මිනිහා අපිට අඬගහලා කිව්වා පලාත් සභා ක්‍රමය ඇතිකර බලය බෙදනවා එයාට උදව් වෙන්ට කැමති ද කියලා. අන්තිම ප්‍රතිගාමියෙක් වෙලා ජේ. ආර්. පලාත් සභා ක්‍රමයක් ඇති කලා පමණක් නොව උතුරු නැගෙනහිර එකතුකර පලාත් සභාවක් ද නිර්මාණය කළේ ය. භාෂා දෙකටම සමතැන් දුන්නේ ය. සියලුම පුරවැසියන්ට පුරවැසිභාවය දුන්නේ ය. 65 ලංකාවේ සිටියානම් එයා පුරවැසියෙකි. පුරවැසි ප්‍රශ්නය එක වචනයෙන්ම නැතිකර දැමීය. ඊ ළගට පලවෙනි වතාවට කුළ භේදයෙන් තොරව ජනාධිපතිවරයෙක් තොරාගැනීම සඳහා ප්‍රේමදාය ඉදිරිපත් කළේ ය. අපි හිතා හිටියේ සමසමාජයෙන් තමයි කවදාහරි කුළ භේදයෙන් තොරව රටේ නායකයෙක් එන්නේ කියලා. එහෙම නැතිව, අපිට ඉස්සෙල්ලා ජේ. ආර්. ජයවර්ධන ඒක කළා. ප්‍රතිගාමියෙක් වුනත් ජේ ආර් යම් හේතු සාධක නිසා එයාට යන්න ඕනේ ගමන නොවෙයි එයා ගියේ. ඒවා සැලකිල්ලට ගනිමින් අපි කටයුතු කළයුතු ය. එහි දි දයාන් ජයතිලක වැනි කුළියට ගතහැක් පුද්ගලයින්ගේ වැරදි අර්ථකථනයන්ට ඉඩ නොදි දිනාගත් ප්‍රජාතින්ත්‍රවාදි අරගලය ඉදිරියට ගෙන යෑමට ඒ සටනට සහය වූ සියලු දෙනාගෙම වගකීම විය යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *