මහ බැංකුව කියන දේ ආණ්ඩුව කරන්නේ නැහැ ; මට ඩොලර් මවන්න බෑ – කබ්රාල් දැන් කියයි

ඩොලර් අර්බුදයට හේතුව මහ බැංකුව කියන දේ ආණ්ඩුව නොකිරීම බවත්, තමන්ට ඩොලර් මැවිය නොහැකි බවත් , මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත.
ඛනිජ තෙල් මිල වැඩි කිරීම, ආනයනික භාණ්ඩ 700 ක තීරු බදු වැඩි කිරීම, උපාය මාර්ගික නොවන රාජ්‍ය ආයතන විකුණා මුදල් ගැනීම, ඩොලර්වලින් ගෙවීම් කර වාහන ආනයනයට අවසර දීම ඇතුළු මහ බැංකුවේ යෝජනා රජයට ඉදිරිපත් කොට මාස හයක් ගත වී ඇති බව ද ඒ කිසිවක් ක්‍රියාත්මක නොවූ බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.
වත්මන් අර්බුදය පිලිබඳ දිනපතා පුවත්පතකට අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කොට තිබේ.
මහ බැංකු අධිපතිවරයා මීට පෙර දිගින් දිගටම කීවේ විවිධ මාර්ගවලින් රටට ඩොලර් ලැබෙමින් පවතින බව සහ එම මුදල් ලැබුණු විට මුදල් තත්ත්වය යහපත් වන බව යි.
ඩොලරයට කෘතීම මිලක් නියම කිරීම රටට ඩොලර් ලැබීම වලක්වන බවට ආර්ථික විද්‍යාඥයින් කළ අනතුරු ඇඟවීම් නොතකා එම ප්‍රතිපත්තිය දිගට ම ගෙන යාමට මහ බැංකුව කටයුතු කළේ ය.
මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාගේ ඉල්ලීම ද මහ බැංකු අධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බව පසුගිය දා වාර්තා වී ය.
ඒ කිසිවක් වෙනස් නොකළ මහ බැංකු අධිපතිවරයා දැන් කියන්නේ තමන් කියන දේ ආණ්ඩුව නොකළ බව යි.
මහ බැංකුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ සම්ප්රදායයක් මෙතෙක් කලක් නොතිබිණි. ඒ වෙනුවට මහ බැංකුවේ කාර්යභාරය වුයේ රජයේ ප්‍රතිපත්ති අනුව මුල්‍ය ක්රමයේ ස්ථාවරභාවය පවත්වා ගැනීම යි.
මහ බැංකු අධිපති තනතුර දේශපාලනයෙන් තොර ස්වාධින තනතුරක් විය යුතු වුව ද මේ වන විට එම තත්ත්වය ද වෙනස් වී තිබේ.
