ඔහෙත් කළා මමත් කළා – අනුර සූරියබණ්ඩාර

අර්ථසාධක අරමුදල ඇතුළු සේවක සුබසාධක අරමුදල්වලින් 25% අධිභාර බද්දක් අය කිරීමේ තැතට එරෙහිව නැඟුණු විරෝධයේ දී ආණ්ඩුවේ පාර්ශ්ව කීයේ එය යහපාලනයේ හෙවත් පසුගිය ආණ්ඩුවේ වරදක් හේතුවෙන් සිදුවූවක් කියාය. එනම් එකී අරමුදල් සමාගම් ලෙස අර්ථනිරූපණය වී ඇත්තේ යහ පාලනයේ දොසක් නිසාය යන්න ය.
විරුද්ධ පක්ෂ ආණ්ඩුවේ වැරදි විවේචනය කරන විට ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.
මෑත ඉතිහාසය ගත් කල චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සහ රාජපක්ෂ ආණ්ඩුව කාලයක් තිස්සේ බලය පවත්වා ගත්තේ, එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනයට ඇඟිල්ල දිගු කරමිනි. පවතින ආණ්ඩුව යහ පාලනයට ඇඟිල්ල දිගු කරන ආකාරයටමය.
මෙරට ජනතාව වත්මන් ආණ්ඩුව බලයට පත් කරනු ලැබුවේ යහ පාලනයේ වරද නිසාය යන්න අමුතුවෙන් කිය යුතු නැත. ඔවුන් වත්මන් ආණ්ඩුව බලයට පත් කළේ යහ පාලනය කළ වැරදි ඒ ආකාරයෙන්ම හෝ ඊටත් වැඩියෙන් හෝ අඩුවෙන් කරන්නට නොවේ. ඒ වැරදි නිවැරදි කරන්නට සහ වැරදි කළ අයට දඬුවම් පැමිණවීමටය. නමුත් සිදුව ඇත්තේ වෙනකකි. බැඳුම්කර වංචාව ගැන කියා බලයට ආ ආණ්ඩුවට සුදු ලූනු වංචා චෝදනාවකි. බැඳුම්කර වංචාවටත් දඬුවම් නැත , සුදු ලූනු වංචාවේ තත්ත්වය ද එයමය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ ගැටලුව නිරාකරණය වී නැත. ඊට අමතරව තැනින් තැන බෝම්බ හමුවේ. එහෙයින් ම ජාතික ආරක්ෂාව සම්බන්ධව ජනතාවට විශ්වාසයක් නැත. බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බ තැබීම සම්බන්ධ යැයි කියන පුද්ගලයන් අත් අඩංගුවට ගත් ආකාරය අනුව බුද්ධි අංශ දුර්වලයැයි යහ පාලන ආණ්ඩුවට නැඟුණු චෝදනාව වත්මන් ආණ්ඩුවට ද සාධාරණ බව ඔප්පුවේ. මාධ්‍ය වේදීන්ට එල්ලවන තර්ජන සම්බන්ධව ද තත්ත්වය එය මය.
මෙය ඉතිහාසය පුරාම අප අත්විඳින තත්ත්වයකි. නිදසුන් දක්වතොත් 70- 77 කාලයේ තරුණ ඝාතන පෙන්වා බලයට ආ එජාපය පාලනය හමාර කළේ තරුණ ඝාතන චෝදනාවට ලක්වය. රිචඩ් ද සොයිසා පෙන්වා බලයට ආ චන්ද්‍රිකා ගේ ගිණුමේ රෝහණ කුමාරගේ නම සටහන් විය. මහින්දගේ ගිණුමේ ලසන්තගේ නම ලියැවී තිබේ.
එක් ආණ්ඩුවක වැරදි හදන්නට බලයට එන ආණ්ඩු සියල්ලම එදා සිට මෙදා දක්වා කර ඇත්තේ පැරැණි වැරදි ම අලුතින් කිරීම මගින් ජනතා බලාපොරොත්තු සුන් කර දැමීමය. ජනතාවට සිදුව ඇත්තේ රැයෙහි වැටුණු වළෙහි යළි යළිත් දහවලේත් වැටෙන්නටය.
මෙකී තත්ත්වය ඊළඟ මැතිවරණයේදී වත් වෙනස් නොවන්නේ නම් රටේ අනාගතය ප්‍රපාතයට යාම වැලකිය නොහැකිය.
ඉතිහාසය පුරාම ආණ්ඩු බලයට පත්වුයේ පැවති ආණ්ඩු විවේචනය කරමිනි. විවේචනය පහසු නමුත් වරද නිවැරදි කිරීම එතරම් පහසු නැත. වැදගත් වන්නේ විවේචන නොව විසඳුම්ය.
වර්තමානයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් අදහස් සහ විවේචන තිබුණ ද අර්බුදය විසඳිය හැකි මාර්ගය ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත. අර්බුදයක් පවතින බව ජනතාව ජනතාවට වැටහී දැන් බොහෝ කල්ය. සෑම මැතිවරණයකදීම ජනතාව අපේක්ෂා කළේ මේ කණ්ඩායම නැතිනම් ඊළඟ කණ්ඩායම ප්රශ්නය නිරාකරණය කරනු ඇතිය කියා වුව දිගින් දිගටම ආණ්ඩු සිදුකරමින් සිටින්නේ ඒ බලාපොරොත්තු කඩකිරීමය. ආණ්ඩුවේ වැරදි විවේචනය කරන විට , ඔහෙලා බලයේ සිටි කාලයේ කළේ මෙහෙමයි කියමින් විවේචකයා විවේචනය කිරීමය. වත්මන් පාලකයන් මෙන්ම අනාගතයේ පාලනය බාරගන්නට බලාපොරොත්තු වන්නන් ද වටහා ගත යුත්තේ අනුන්ට ඇඟිල්ල දිගු කිරීම යනු තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීම බව සහ එමගින් ප්රශ්නය තාවකාලිකව මඟහැර යා හැකි නමුත් ප්රශ්නය නිරාකරණය නොවන බවය. ඊළඟ මැතිවරයේදී වත් අනුන්ට ඇඟිල්ල දිගුකරනු වෙනුවට තමන්ගේ වගකීම ඉටුකරන පිරිසක් බලයට ගෙන ඒමට ජනතාව බුද්ධිමත් ව්ය යුතු වන්නේ ඒ නිසාය.
අනුර සූරියබණ්ඩාර
