පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවට මෙවරත් රනිල් නැහැ

පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය ඇතුළු බොහෝ කටයුතු තීරණය කරන ප්‍රධාන ව්‍යුහයවන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (20) පත් කරනු ලැබූ අතර පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සියල්ල එහි නියෝජනය වුව ද එකසත ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එයට පත් කොට නොතිබීම විශේෂතවයකි.
පාර්ලිමේන්තුවේ සැසිවාරය ජනාධිපතිවරයා විසින් පසුගිය දෙසැම්බර 12 දා අවසන් කරනු ලැබීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ එවකට පැවතී කාරක සභාවද අහෝසි වී ගියේය. එම කමිටුව පත්කරන අවස්ථාවේ එජාප මන්තීවරයකු පාර්ලිමේන්තුවේ නොසිටි නිසා ඒ තුළ එජාපයට නියෝජනයක් ලැබී නොතිබුණි.
නිල බලයෙන් කතානායකවරයා සභාපතිත්වය උසුලන මෙම කාරක සභාවට නියෝජ්‍ය කතානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක , විරුද්ධ පක්ෂයේ නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ආදීන් නිල බලයෙන් පත්වන අතර තවත් සාමාජික මන්ත්‍රීවරු විසි එක් දෙනෙක් පත් කරනු ලබති. එම පත් කිරීම්වල දී පාර්ලිමේන්තුවේ නියෝජනය වන සියලු පක්ෂ සඳහා නියෝජනයක් ලබා දීම සාමාන්‍ය සම්ප්රදායකි.
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරු 20 දෙනෙක් අද (20) පත් කරනු ලැබූ අතර එජාපය හැර සෙසු පක්ෂ සියල්ලට ම පාහේ එහි නියෝජනයක් ලැබී තිබේ.
එසේ අද පත්කරන ලද කමිටු සාමාජිකයින් මෙසේ ය.
චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, ඩග්ලස් දේවානන්ද , විමල් වීරවංශ , ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර ප්‍රසන්න රණතුංග, අලි සබ්රි , ගයන්ත කරුණාතිලක , රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුමබණ්ඩාර මනෝ ගනේෂන් ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් සහ එම්.ඒ සුමන්දිරන්.
