සුසිල් කියූ ‘වෙනත් කණ්ඩායම’ බලය ගන්න සුදානමින් ; බුද්ධි තොරතුරකින් ජනපති කැළඹෙයි !

ප්‍රශ්න විසඳීමට මේ අයට තිබුණු කාලය ඉවරයි – දැන් ඉඩ තියෙන්නේ වෙනත් කණ්ඩායමකට යැයි හිටපු රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා කළ කතාව සැලසුම් කළ එකක් බවත්, ඒ අනුව රජය පෙරළා වෙනත් කණ්ඩායමක් ලෙස බලය ගැනීමට ආණ්ඩුව තුළ ම පිරිසක් සැලසුම් කොට ඇති බවත්, සඳහන් කරමින් ලැබුණු බුද්ධි වාර්තා නිසා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කැළඹීමට පත්ව ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

එම සැලසුමේ පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ බහුතර බලය අහිමි වන ලෙස විශාල පිරිසක් ඉවත්වනු ඇති බව ද කියති. ඉන් පසුව පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි කණ්ඩායමක් ලෙස ආණ්ඩුවක් පිහිටුවා පවත්වාගෙන යාමට මෙම පිරිස සැලසුම් කොට ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුවේ සුළුතර පක්ෂවල මෙන් ම විපක්ෂයේ ද සහය මෙම වැඩ පිළිවෙළට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

සුසිල් ප්‍රේමජයන්ත හිටපු රාජ්‍ය ඇමතිවරයා පසුගිය දා කළ ප්‍රකාශයත්, ඒ මහතා දෙල්කඳ පොළට යාම සහ මාධ්‍යවේදියකු එම ස්ථානයට පැමිණීමත් ආදී සියල්ල අහඹු සිදුවීමක් නොව කලින් කළ සැලසුමකට අනුව සිදු වී ඇති බවට ජනාධිපතිතුමාට වාර්තා ලැබී ඇති බව ද දැනගන්නට ඇත.

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා තනතුරින් ඉවත් කළේ ඔහුගේ කතාව නිසා නොව බුද්ධි වාර්තා අනුව බව තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පසුගිය දා ප්‍රකාශ කළේ මේ නිසා බව අපේ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය අහෝසි කොට 19 සංශෝධනය හෝ එහි සංශෝධිත නීතියක්  යලි ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කිරීම සහ ඉහත කී සැලසුම අතර ද සම්බන්ධයක් ඇතැයි ආණ්ඩුවේ ප්‍රබල කණ්ඩායමේ විශ්වාසය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *