මහ බැංකුවේ සංචිත ඉහල දැමීම ගණිත විජ්ජාවක් විතරයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

දෙසැම්බර් 31 දා වනවිට ඩොලර් බිලියන 3 ක් විදේශ සංචිත ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කර ඇත්තේ ගණිත විජ්ජාවක් පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
සත්‍ය වශයෙන් ඩොලර් සන්චිත ඇත්නම් වරායේ සිර වී ඇති භාණ්ඩ කන්ටේනර් නිදහස් විය යුතු බවත්, බැංකුවලින් ඩොලර් මිල දී ගැනීමට හැකි විය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.
බැංකුවලින් එකතු කරගත් මුදල් හැරුණු විට චීනයෙන් ලැබුණු බව කියන යුආන් බිලියනයක මුදලත් සංචිතයට ඇතුලත් කොට ඇත්දැයි ප්‍රශ්න කළ ඒ මහතා එම මුදලින් චීනයෙන් මිල දී ගැනීම් කිරීම හැරුණු විට වෙනත් ගෙවීම් කිරීමට හෝ ණය ගෙවීමට හෝ හැකියාවක් ඇත්දැයි මහා බැංකුව හෙළි කළ යුතු බව ද පැවසීය.
ඩොලර් බිලියන තුනක සංචිත ඇත්නම් ඒවා පවතින්නේ කුමන සංයුතියකින්දයි හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් ප්‍රශ්න කළේ ය.
අද පැවති මාධ්‍ය හමුවක් අමතා ඒ මහතා මෙම කරුණු දැක්වීම සිදු කළේ තමන් බිලියන තුනක විදේශ සංචිත ලබාගත් බවට ශ්‍රී ලංකා මහ බැංකුව කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
සංචිත වැඩි වූ බව මහ බැංකුව හදිසියේ ප්‍රකාශ කළ ද එම මුදල් ලැබුණු ආකාරයක් මෙතෙක් ප්‍රකාශ කොට නැත.
